කුරුණෑගල අංගංගල රජමහා විහාරාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත පූජ්‍ය නිල්වක්කේ සිරිසුමන නාහිමියන් හදිසි අනතුරක් හේතුවෙන් ඊයේ (17 දා) රාත්රියේදී අපවත් වූ බව වයඹ ටුඩේ වෙබ් අඩවිය සාතිශය සංවේගයෙන් යුතුව වාර්තා කරයි.
1940 සැප්තැම්බර් මස 22 වැනිදා කෑගල්ල නිල්වක්ක ගම්මානයේදී මොලොව එළිය දුටු උන් උන්වහන්සේගේ ගිහි නාමය වූයේ යූ.බී.සේනාරත්න දිසානායකය. නිල්වක්ක කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව වයස අවු 12 දී , එනම් 1952 වසරේදී එවකට අංගංගල විහාරාධිපතිව වැඩ විසූ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මාවතගම විමලඥාන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි දිවියට පිවිසියේය.
කුරුණෑගල මලියදේව විද්යාරක්ෂක පිරිවෙනෙක් භික්ෂූ අධ්‍යාපනය ලැබූ නිල්වක්කේ සිරිසුමන හිමියන් රාජකීය පණ්ඩිත උපාධියද දිනාගනු ලැබීය. 1959 ජූලි මස 12 වැනිදා මල්වතු විහාරයේ උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූ සිරිසුමන හිමියන් කැළණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුලත් වී එහිදී ඉහළම ලකුණු දිනාගත් ශිෂ්‍යයින් වෙත පිරිනැමෙන ශිෂ්‍යත්වයක්ද දිනාගත්හ. ඉන්දියානු මහාචාර්ය ශාන්ති ශාස්ත්‍රී පඩිවරයාගෙන් අධ්‍යාපනය ලබා පන්ති සාමාර්ථයක් සමග උපාධිය දිනාගත් උන්වහන්සේ ඒ හේතුවෙන් කැළණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ධූරයකින්ද පිදුම් ලැබීය. අංගංගල සිරි සිද්ධාර්ථ පිරිවෙනේ පරිවේනාධිපති තනතුරද කලක් හෙබ වූ උන්වහන්සේ ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත අධ්‍යාපනය ලබාගැනීමෙන් පසුව රජයේ ගුරු පත්වීමක් ලබා විද්‍යාල කිහිපයකම ධර්මාචාර්යවරයෙකු ලෙසද කටයුතු කළහ.
මාවතගම විමලඥාන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව අංගංගල රජමහා විහාරයේ විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ අපවත් වන තෙක්ම එම තනතුර හෙබවූහ. පසුගිය 08 වැනිදා සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි සිරිසුමන නාහිමියෝ ඊයේ රාත්‍රියේ අපවත් වූහ.
නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය ලබන 20 වැනිදා පස්වරු 2.30 ට අංගංගල විහාරස්ථ ආදාහන මලුවේදී සිදුකිරීමට නියමිතය.