Friday, November 22, 2024

මිනිස්කම ගැන සිහිපත් කරමින් විනිසුරු අසුනට ආයුබෝවන් කී විනිසුරු සුනන්ද කළ සම්පූර්ණ කතාව.

Must read

judge_sunaanda_2විනිසුරු වෘත්තියට පැමිණි දා පටන් විශ්‍රාම යනතෙක්ම සියලු දෙනා මනුෂ්‍යයින් බව තම සිතෙහි පැළපදියම් වී තිබූ බවත්, නඩු ඇසීමට එන අය මෙන්ම නඩු කීමට එන අය දෙසත් යහපත් ඇසකින් බලා ඔවුන්ගේ ප්‍රශ්න හැකිතරමින් විසදාදීම තම බලාපොරොත්තුව වූ බව කී කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ප්‍රායෝගික ගැටලු හේතුවෙන් මිස සිතාමතා නඩු කල්දැමීමට තමන් කිසිදිනෙක ක්‍රියා නොකළ බව සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට පෙර අවසන්වරට විනිශ්චාසනයේ අසුන්ගනිමින් පසුගියදා (30 දා) විවෘත අධිකරණය අමතමින් පැවසීය.

කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිටි සුනන්ද කුමාර රත්නායක මහතා පසුගිය 01 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගිය අතර ඔහුගේ විශ්‍රාමයාම නිමිත්තෙන් සංවිධානය කර තිබූ අධිකරණ සම්ප්‍රදායානුකූල සමුගැනීමේ අවස්ථාවක් පසුගිය 30 වැනිදා උදෑසන අධිකරණ කටයුතු ආරම්භවීමට පෙර කුරුණෑගල මහාධිකරණ ශාලාවේදී පැවැත්වුණු අතර එම අවස්ථාවේ විවෘත අධිකරණය අමතමින් මහාධිකරණ විනිසුරුවරයා එලෙස පැවසීය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් අදහස් දැක් වූ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා මෙසේ පැවසීය.

‘‘මගේ සේවාකාලය තුළදී විවෘත අධිකරණයේ සහ මගේ කාර්යාලයේ සේවය කරපු නිලධාරී මහත්ම මහත්මීන් ලබා දුන් සහයෝගය පිළිබදව මම ස්තූතිවන්ත වෙනවා . විවෘත අධිකරණයේ සේවය කරපු භාෂා පරිවර්තක, ඝෝෂක, ආරච්චිල, උසාවි මාතාවන් මේ හැම කෙනෙකුගෙන්ම මනා සහයෝගයක් මට ලැබුණා. මම කියන හැම දෙයක්ම ඒ අය අකුරටම පිළිපැද්දා. ඒ විතරක් නෙවෙයි මගේ කාර්යාලයේ නිලධාරීන් මට දුන්නු සහයෝගයත් මා ඉතාම අගය කරනවා. ඔවුන්ගේ සහයෝගය නොලැබුණා නම් ඒ රාජකාරි මට මේ ආකාරයෙන් කරගන්න බැරිවෙනවා. සැමවිටම මා විනිශ්චාසනයේ ඉන්න කාලයේදී පමණ විනිශ්චයකාරවරයෙකුගේ රගපෑම නැත්නම් විනිශ්චයකාරවරයෙකු විදිහට කටයුතු කළේ. මගේ නිල කාමරයට ගියාට පසුව මම සාමාන්‍ය පරිපාලකයෙක් විදිහටයි වැඩ කළේ. මගේ ගම මේ ප්‍රදේශය. මම පාසල මෙහේ. මගේ යාලුවෝ ඉන්නේ මෙහේ. මම උසාවියෙන් බැහැලා එළියට ගියාම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට තමයි හැම කෙනෙක් එක්කම ආශ්‍රය කළේ. මම හිතන්නේ මා ලබපු ජයග්‍රහණවල රහස මෙයයි. කාර්යාලවල වැඩකරන සේවකයින් අපේම සහෝදර සහෝදරියන්. මේ අය බලාගැනීම අපේ වගකීමක් සහ යුතුකමක්. අපි විවිධ ආකාරයෙන් විවිධ රැකියාවල යෙදෙනවා. අපේම සහෝදරයින් සමහරවිට කාර්යාල කාර්ය සහායකයින්, ලිපිකරුවන් ආදි විවිධ ආකාරයේ රැකියාවල යෙදෙනවා. හැබැයි අපි සියලුම දෙනා එකම මනුෂ්‍ය කණ්ඩායමක් කියන එක කිසිදාක අමතක කරන්න එපා. මම වෘත්තියට පැමිණි දා පටන් අද වනතෙක් මගේ හිතේ පැළපදියම්වෙලා තිබුණු ලොකුම කරුණ තමයි අපි සියලු දෙනාම මනුෂයෝ කියන එක. නඩු අහන්න එන අයත්, නඩු කියන්න එන අයත් මනුෂ්‍යයෝ. ඒ අය දිහා යහපත් ඇහින් බලලා ඒ අයගේ ප්‍රශ්න පුලුවන් තරම් විසදලා දෙන්න ඕනෑ කියන එකයි මගේ බලාපොරොත්තුව වුණේ. හැම දිනකම මට පුලුවන් තරම් මම උත්සාහ කළේ උසාවියට එන අය ආපහු නොයවා ඔවුන්ගේ කටයුතු අවසාන කරලා දෙන්න. ප්‍රායෝගික ගැටලු නිසා සමහරවිට නඩු කල්දාන්න සිදුවුණා. නමුත් මා හදවතින් හිතාමතා නඩු කල්දාන්න මම කවදාවත් ක්‍රියා කළේ නැහැ. ඒ නිසා මගේ මේ සේවාකාලය දිහා ආපසු හැරිලා බලනකොට මට සතුටින් ගෙදර යන්න පුලුවන්. මා ලබන හැම ජයග්‍රහණයක්ම, මා ලබන හැම ගෞරවයක්ම මගේ දෙමව්පියන්ට අත්විය යුතුයි. ඔවුන් විදුහල්පතිවරුන් වශයෙන් සේවය කරලා, ඉතාම මහන්සියෙන් මට අධ්‍යාපනය ලබාදීලා, මා මෙවැනි තත්වයකට පත්කරන්න ඔවුන් ගත්තු උත්සාහය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් මා හැමවෙලාවකම ඉහළම තත්වයේ ලා සලකනවා. හෙට දිනයේදී මට සතුටින් ගෙදර යාමට ඔබතුමන්ලා සියලුදෙනාම අවස්ථාව ලබාදීම පිළිබදව මම හදපත්ලෙන්ම ස්තූතිවන්ත වෙනවා. “

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article