කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක්කෙරුණු තම බිරිද වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බවත්, ඒ පිළිබද සාධාරණ පරීක්ෂණයක් සිදුකර තමන්ට යුක්තිය ඉටුකරදෙන ලෙසටත් ඉල්ලා සිටිමින් පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයෙකු විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර තිබේ.
මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කරන පෙත්සමක් හරහා මෙම පැමිණිල්ල කර ඇත්තේ පොල්පිතිගම, මාඑළිය මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති ඩබ්ලිව්. පී. ඩී. අජිත් රූපසිංහ මහතා විසිනි.
තම බිරිද වන, මාඑළිය මහා විද්‍යාලයේම සේවය කළ උපාධිධාරි ගුරුවරියකද වන එම්. පී. පී. සංජීවනී මහත්මිය තෙවැනි දරු ප්‍රසූතිය සදහා 2016 මාර්තු මස 06 වැනිදා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත්, 2016 මාර්තු මස 14 වැනි දින එහිදී සිසේරියන් සැත්කමකට සහ එල්. ආර්. ටී. සැත්කමකට භාජනය කිරීමෙන් පසුව 2016 මාර්තු මස 15 වැනිදා අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත් වූ බවද අජිත් රූපසිංහ මහතාගේ පෙත්සමෙහි දැක්වෙයි.
රෝහලට ඇතුළත් කරන විට කිසිදු රෝගී තත්වයක් නොපෙන්වූ තම බිරිද වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම නිසා ඇය විසින් බිහි කළ සිගිති දියණියත්, වයස අවුරුදු දෙක හමාරක් වන අනෙක් දියණිය සහ වයස අවුරුදු පහක් වන තම වැඩිමහල් පුතුද සමග තනිවී සිටින තමා ඉතා අසරණ තත්වයට පත් වී සිටින බවත් අජිත් රූපසිංහ මහතා කියයි. එබැවින් තම බිරිදගේ අකල් මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වා තමන්ට සහ දරු තිදෙනාට යුක්තිය ඉටුකරදෙන ලෙසට ද අජිත් රූපසිංහ මහතා සිය පෙත්සමෙන් ඉල්ලා සිටී.
මේ පිළිබදව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ අදාළ මරණය පිළිබදව තමන් වෙත පැමිණිල්ලක් ලැබී නැති බවයි. එවැනි පැමිණිල්ලක් ලැබී තිබුණේ නම් ඕනෑම මරණයක් පිළිබදව විමර්ශනයක් කරන බවත් අවිධිමත් ලෙස ලැබෙන ආරංචි සම්බන්ධයෙන් විමර්ශණ සිදු කළ නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.