කුලියාපිටිය, ගොමුගොමුව විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණිය සදහා ගුරුවරයෙකු නොමැතිවීමෙන් තම දරුවන්ට හය මසක් තිස්සේ පාසලට ගොස් අකුරක් හෝ ඉගෙන නොගෙන හිස් අතින් ආපසු ඒමට සිදුවී ඇති බව කියමින් මව්පියන් පිරිසක් අද (25 දා ) දහවල් කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
මව්පියන්ගේ මෙම විරෝධතාවයට ගොමුගොමුව විද්‍යාලයේ 3 වැනි ශ්‍රේණිය ඉගෙනුම ලබමින් සිටින බව කියන කුඩා දරු දැරියන් පිරිසක්ද එක්කරගෙන සිටිනු පෙණිනි.
තම දරුවන් මෙම වසර ආරම්භයේදී තුන්වැනි ශ්‍රේණියට සමත් වූ දා සිට පාසලට ගොස් සිදුකරන්නේ නිවසින් රැගෙන යන දිවා ආහාරය අනුභව කිරීම පමණක් බවත්, ඇතැම් දිනවලදී පන්ති කාමරයේ නාමලේඛණය පවා ලකුණු නොකෙරෙන බවත් විරෝධතාවයේ යෙදී සිටි දෙමව්පියෝ ‘වයඹ ටුඩේ ’වෙත පැවසූහ. මාස 6ක පමණ කාලයක් පුරාවට තම දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් ලැබී නැති බවත් , ගොමුගොමුව විදුහල සදහා විදුහල්පතිවරයෙක්ද මෙන්ම 2 වැනි ශ්‍රේණිය භාර ගුරුවරයෙකු නැතිවීමෙන් තත්වය වඩාත් බරපතල වී ඇති බවද ඔවුහු වැඩිදුරටත් කීහ.
වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා පදිංචිව සිටින්නේද ගොමුගොමුව ප්‍රදේශයේම වන නමුත් තමන්ගේ ගමේ පාසලට ගුරුවරයෙකු ලබාදීමට දසනායක මහතාට මේ වනතෙක් නොහැකි වී ඇති බව කී ගොමුගොමුව ගම්වාසීහු ගමේ පාසලට ගුරුවරයෙකු ලබාදීමට බැරි මහ ඇමැතිකම් කුමකටදැයි දසනායක මහතාගෙන් ප්‍රශ්න කරති.
මව්පියන්ගේ මෙම විරෝධතාවය පිළිබදව කළ විමසීමකදී කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අංශයේ අධ්යක්ෂ සී. පී. පී. හේමකුමාර මහතා පැවසුවේ ගොමුගොමුව විදුහලේ සේවය කරමින් සිටි ගුරුවරයෙකු හදිසියේ සේවය අතහැරයාම හේතුවෙන් මෙම ගැටලුව ඇතිවූ බවය. ඒ වෙනුවට වෙනත් පාසලක ගුරුවරියක් ගොමුගොමුව විද්‍යාලයට අනුයුක්ත කර සිටින බව කී හේමකුමාර මහතා තවත් ගුරුවරුන් දෙදෙනෙකු අනුයුක්ත කළ බවට දන්වමින් පසුගිය 23 වැනිදා වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් එම විද්‍යාලය වෙත තැපෑලෙන් ලිපියක් එවා ඇති බවද කීය. ඇතැම් විට දෙමාපියන් උද්ඝෝෂණයට කරන අතරවාරයේ එම ලිපිය පාසලට ලැබී තිබිය හැකි බවත්, ඒ අනුව නිකවැරටිය කලාපයෙන් පැමිණෙන ගුරුවරුන් දෙදෙනෙකු වැඩභාරගැනීමත් සමග ගොමුගොමුව විද්‍යාලයේ පවතින මෙම ගැටලුව විසදෙනු ඇති බවත් හේමකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.