අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙරට 34 වැනි පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතාගේ නම නිර්දේශ කර තිබේ.
1960 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව, මූකලන්යාය, බෝගමුව ගම්මානයේදී උපත ලැබූ පූජිත් ජයසුන්දර මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකුද වන ජයසුන්දර මහතා 1985 මැයි මස 20 වැනිදා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා පියවරෙන් පියවර ඉහළට පැමිණි අයෙකි.
පොලිස් සේවයකට එක් වී වසර හයක් සපිරුණු දා , එනම් 1991 මැයි මස 20 වැනිදා පොලිස් අධිකාරිවරයෙකු ලෙසට උසස්වීම් ලැබූ පූජිත් ජයසුන්දර මහතා ඉන් වසර පහකට පසුව එළැඹි 1996 මැයි මස 02 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලැබීය. 2005 මැයි මස 11 වැනිදා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස්වීම් ලැබූ හෙතෙම 2010 ජූනි මස 10 වැනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් උසස්කරනු ලැබීය.
සිය සේවා කාලය තුළදී උතුර නැගෙනහිර ඇතුලුව දිවයිනේ විවිධ ස්ථානයන්හි සේවය කර ඇති පූජිත් ජයසුන්දර මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් , මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මෙන්ම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් සේවය කර තිබේ.
මහජනතාව සහ පොලිසිය වඩාත් සමීපවිය යුතු බවට දැඩි ලෙස විශ්වාස කරන පූජිත් ජයසුන්දර මහතා සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේ ලා සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළ නිලධාරියෙකි. පොලිසිය පිළිබදව පැමිණිලි ඇත්නම් සෘජුවම තමන් අමතන ලෙසට දන්වමින් තමන්ගේ ජංගම දුරකථන අංකය ප්‍රසිද්ධියේ මහජනතාව වෙත ලබා දුන් පූජිත් ජයසුන්දර මහතාගේ සේවා කාලය තුලදී අල්ලස් ගැනීම වැනි නීතිවිරෝධී ක්‍රියාවන්හි යෙදුණු පොලිස් නිලධාරීන් ගණනාවක් අතටම අල්ලා ගැනීමෙන් පසුව දඩුවමට ලක් කරනු ලැබීය.
චතුර කථිකයෙකු ලෙස නම් දරා සිටින පූජිත් ජයසුන්දර මහතා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළ කාලවකවානුවේදී සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින් දැනුවත් කිරීම පිණිස ඒ ඒ පොලිස් කොට්ඨාශ මට්ටමින් පවත්වන්නට යෙදුණු පැය හයකට වැඩි දේශණය පිළිබදව පළාතේ ජනතාව අදටත් සිහිකරති. සිය මවට මහත් සෙනෙහසක් දැක් වූ පුතෙකු ලෙසද ප්‍රචලිත පූජිත් ජයසුන්දර මහතා සිය රාජකාරි දිවියේ බොහෝ කටයුතු සදහා සිය මවද කැදවාගෙන ඒම සුලබ දසුනක් විය. (ජයසුන්දර මෑණියන් මීට තෙවසරකට පෙර අභාවප්‍රාප්ත වූවාය.)
දෙදරු පියෙකු වන පූජිත් ජයසුන්දර මහතා මේ වන විට 56 වැනි වියෙහි පසුවෙයි. ලංකා ඉතිහාසය තුළ මෙන්ම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළද සුවිශේෂි කඩඉමක් සළකුණු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හරහා නම් කරනු ලැබූ මෙරට පළමු පොලිස්පතිවරයා ලෙසද පූජිත් ජයසුන්දර මහතාගේ නම ඉතිහාස ගතවීමට නියමිතය.
පොලිස්පතිධූරයට පත් වූ වයඹ පුත්‍රයාණෙනි, ඔබට වයඹ ටුඩේ වෙබ් අඩවියේ උණුසුම් සුබපැතුම් !