තමන්ට නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූයේ කොළඹ සිට කුරුණෑගල දක්වා එමින් සිටි වාහනයේ ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් බවත්,
විත්තිකාර පාර්ශ්වය කුමක් කීවත් අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු සටන දිගටම කරගෙන යන බවත් රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා මෙනවිය කියන්නීය.
අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ලබා දුන් නියෝගයක් පැහැරහැරීමේ චෝදනාව මත රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැදවන ලෙසට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය විසින් පසුගිය 01 දා ලබා දුන් නියෝගයෙන් පසුව ඒ පිළිබදව කළ විමසීමකදී ඕ මෙසේ කීවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමනලී ෆොන්සේකා මෙනවිය මෙසේද කීවාය.
‘‘කොළඹ ඉදලා කුරුණෑගල එන අතරේ අපි ආපු වාහනේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නිසා තමයි ඊයේ අපිට නියමිත වෙලාවට අපිට උසාවියට එන්න බැරි වුණා. අපි අධිකරණයට එනකොට නඩුව විභාගකරලා අවසන් වෙලා තිබුණා. ඒ නිසා අද මමත්, ඉන්ද්රචාපාත් ආයෙම කුරුණෑගල ඇවිත් මෝසමක් ඉදිරිපත් කරලා අපිට එරෙහිව නිකුත් කරලා තිබුණු වරෙන්තු ඉවත් කර ගත්තා. මේ නඩුව විභාග වුණු හැම දවසකම අපි කුරුණෑගලට ඇවිත් නඩු විභාගයට පෙනී සිටියා. පළමු වතාවට තමයි අපිට අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න බැරි වුණේ. නමුත් මේ නඩුවේ විත්තිකාර පාර්ශ්වයේ අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා කිහිප වතාවක්ම ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් වුණා. විත්තිකාර පාර්ශ්වයේ අය ඊයේ කියලා තිබුණා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණයට පැමිණීම මගහරිනවා කියලා. නමුත් අපි මේ නඩු විභාගය කිසිම අයුරකින් මගඇරීමක් කරන්නේ නැහැ. අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබෙන තුරු අපි මේ සටන දිගටම කරගෙන යනවා කියන එකත් මම මතක් කරන්න කැමැතියි. ‘‘යැයි කීවාය.