Wednesday, November 27, 2024

සමනලී – ඉන්ද්‍රචාපාට එරෙහි වරෙන්තු ඉවතට.

Must read

samanaliඅධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ලබා දුන් නියෝගයක් පැහැරහැරීමේ චෝදනාව මත රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැදවන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය අද (01 දා ) නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය විසින් මෙලෙස වරෙන්තු ආපසු කැදවනු ලැබුවේ රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා මෙනවිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ මහතා විසින් නීතිඥයෙකු මාර්ගයෙන් අද දහවල් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මෝසමක් සලකා බලමිනි.

‘මුලාවෙන් මිදෙමු’යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප‍්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුලු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැද වූ අතර එම නඩු විභාගයේ පැමිණිල්ලේ දෙවැනි සහ පස්වැනි සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටි සමනලී ෆොන්සේකා මෙනවිය සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ මහතා එදින අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය ඔවුන් දෙපළ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළාය.

මෝසම ඉදිරිපත් කරමින් විත්තිකාර කලාකරුවන් දෙපළ වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥ ගිහාන් කුලරත්න මහතා තම සේවාදායකයින් දෙදෙනා මෙම නඩු විභාගයට පෙනී සිටීම සදහා ඊයේ උදෑසන කොළඹ සිට කුරුණෑගල බලා එමින් සිටියදී ඔවුන් ගමන් ගත් මෝටර් රථයෙහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම ගමන ප්‍රමාද වූ බව පැවසීය. එම කාර්මික දෝෂය පිළිසකර කරවාගෙන අධිකරණය වෙත පැමිණි නමුත් ඒ වනවිට නඩු විභාගය අවසන් වී තිබූ බවත්, තම සේවාදායකයින් දෙදෙනා මින් පෙර සෑම නඩු දිනයකදීමඅධිකරණය හමුවේ පෙනී සිටීම පිළිබදවත් සලකා බලා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් නිකුත් කර ඇති වරෙන්තු ආපසු කැදවන ලෙසට ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඉදිරි නඩු දිනයන්හිදී නොවරදවාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කරමින් විත්තිකාර කලාකරුවන් දෙපළ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් පොලිසිය වෙත නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැදවන ලෙසට නියෝග කළාය.

නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැදවීමට නියමිතය.

ඡායාරූපය – දිණමින 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article