වයඹ පළාතේ පිහිටි පාසල්වල පළමු වාර විභාගය පැවැත්වීම සදහා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සකස්කරනු ලැබූ ප්‍රශ්නපත්‍ර තුන් වැනි පාර්ශ්වයක් විසින් විභාගයට පෙර සිසුන් අතට පත් කර ඇති බව වයඹ ටුඩේ සාක්ෂි සහිතව මෙලෙස අනාවරණය කර සිටී.
වයඹ පළාතේ පිහිටි පාසල්වල පළමු වාර පරීක්ෂණය පසුගිය 23 වැනිදා ආරම්භ වූ අතර ඊට අදාළ ප්‍රශ්නපත්‍ර වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සකස් කිරීමෙන් අනතුරුව පාසල් වෙත යවනු ලැබීය.
ඒ අනුව පසුගිය 29 වැනිදා සිසුන් වෙත ලබා දුන් 9 ශ්‍රේණිය විද්‍යාව ප්‍රශ්නපත්‍රයට සියයට සියයක්ම සමාන අයුරින් සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විභාගය ආරම්භවීමට පෙර සිසුන්
සන්තකයේ තිබී ගුරුවරුන් විසින් සොයාගෙන තිබේ. අදාළ ප්‍රශ්න පත්‍ර දෙක පහතින් දක්වා ඇති අතර ඒවා සංසන්දනය කර බලන කිරි දරුවෙකුට වුවද එම ප්‍රශ්න පත්‍ර දෙකෙහි ඉස්පිල්ලක, පාපිල්ලක හෝ ඇලපිල්ලක හෝ නැති බව පෙනී යයි.
ප්‍රශ්න අංක අනු පිළිවෙල, ආකෘතිය පමණක් නොව සිසුන්ට පිළිතුරු සැපයීම සදහා ලබා දී ඇති බහුවරණ පිළිතුරුද මෙම ප්‍රශ්න පත්‍ර දෙකෙහිම එක සමානවීම විශේත්වයක් වන අතර අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍රය පිළිබදව ගුරුවරුන් විසින් කළ වැඩිදුර විමසීම්වලදී සිසුන් ප්‍රකාශ කර ඇත්තේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු විසින් ඊට දින කිහිපයකට පෙර මෙම ප්‍රශ්න පත්‍රය තමන්ට ලබා දුන් බවය.
ප්‍රශ්න පත්‍ර රටාවන් වෙනස් කිරීම, විෂය නිර්දේශයට අයත් නොවන කොටස්වලින් ප්‍රශ්න නිර්මාණය කර තිබීම, නිර්දේශිත කෘතිවලින් ප්‍රශ්න නිර්මාණය කර නොතිබීම, නියමිත ප්‍රමාණයට වඩා අඩු ප්‍රශ්න ප්‍රමාණයක් සහිතව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර තිබීම, ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට පාසල්වලට නොලැබීම ඇතුලු දෝෂ ගණනාවක් හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන වාර විභාගයන්ට මුහුණදෙන වයඹ පළාතේ සිසු සිසුවියන් දැඩි දුෂ්කරතාවයකට සිටිති. එවැනි අවුල් ජාලාවක් බවට පත් වී ඇති වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රමවේදයේ රහස්‍යභාවය සහ විශ්වාසනීයභාවයද මෙම සිදුවීම හරහා යළි ප්‍රශ්න කරන්නට සිදු ව තිබේ.