Saturday, November 23, 2024

මාධ්‍යවේදීන් පතුරු ගහද්දී පළාත් සභාවේ පුටුත් කඩා වැටෙයි !

Must read

alu_yata_gini_feb_18සභාපති ටිකිරි බණ්ඩා පරල වෙයි !

දේශපාලන හැලහැප්පීම්වලින් තොරව සාමාකාමී ලෙස ගෙවී යමින් තිබූ සතියක් හදිසියේම උඩු යටිකුරු වී ගියේ අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදී වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි බණ්ඩා අධිකාරි විසින් නටන්නට යෙදුණු කැකිල්ලේ නාඩගම හේතුවෙනි. කාලකන්නි යැයි කියමින් අවමන් සහගත අයුරින් මාධ්‍යවේදීන් ආමන්ත‍්‍රණය කළ සභාපති ටිකිරි බණ්ඩා මුලසුනෙහි සිට නියෝග කළේ ඒ වන විට සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට වහාම දොට්ට බසින ලෙසටය. සභාපති ටිකිරි බණ්ඩාගේ නින්දා සහගත වදන්වලින් මෙන්ම දොට්ට බසින ලෙසට කළ නියෝගයෙන් පසුව එතැන මොහොතක් හෝ රුදී නොසිටි මාධ්‍යවේදීන් සභා රැස්වීමෙන් පමණක් නොව පළාත් සභා භූමියෙන්ද පිටවී ගියහ. මාධ්‍යවේදීන් විසින් පළාත් සභාව පිළිබද අසත්‍ය ප‍්‍රවෘත්ති පළකරන බවට චෝදනා කරමින් සභාපති ටිකිරි බණ්ඩා විසින් එලෙස මාධ්‍යවේදීන් එළවා දමද්දී එදින චෝදනාවට ලක් වූ ප‍්‍රවෘත්ති ලියූ මාධ්‍යවේදීන් කිසිවෙකුත් ඒ අතර නොසිටීම විශේෂත්වයක් විය. වයඹට පමණක් නොව සමස්ත පළාත් සභා ඉතිහාසයටම කිසිදාක මකා දැමිය නොහැකි කඵ පැල්ලමක් එක් කිරීමට සමත් වූ සභාපති ටිකිරි බණ්ඩාගේ සැහැසි හැසිරීම එක් අතකින් පළාත් සභාව තුළ ජ්‍යෙෂ්ඨයින් යැයි කියාගන්නා අයවලූන්ගේ නිරුවත ලොවට හෙළි කළ අවස්ථාවක්ද විය. මීට මාස කිහිපයකට පෙර හදිසියේ පුරප්පාඩු වූ වයඹ පළාත් සභාවේ සභාපති තනතුර දිනාගැනීම උදෙසා එවකට නියෝජ්‍ය සභාපති පුටුවේ සිට මහත් අරගලයක යෙදී සිටි ටිකිරි බණ්ඩා අධිකාරි විසින් වැඩියෙන්ම මාකට් කරනු ලැබුවේ ‘තමන් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයෙකු ’බවය. එලෙස ජ්‍යෙෂ්ඨත්වයේ වෙස් මුහුණු පැළදගෙන, ඒ අනුහසින් සභාපති පුටුවේ වාඩි වූ ටිකිරි බණ්ඩා අධිකාරි අද වන විට පෙන්නුම් කරමින් සිටින්නේ කෙතරම් කණිෂ්ඨ හැසිරීමක්දැයි පසුගිය අගහරුවාදා ඇස් පනාපිටම දැක ගත හැකි විය. ප‍්‍රශ්නයක් විසදාගත හැකි මාර්ග කප්පරක් තිබියදී ප‍්‍රශ්නයක් හොද හැටි අනාගන්නේ කෙසේදැයි සභාපති ටිකිරි බණ්ඩා විසින් එදින උදාහරණ සහිතවම පෙන්වාදීමට සමත් වූයේය.

දෙහිගමට පාරේ බැහැලා යන්න බැරිවෙයි.

අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් මාධ්‍යට අවලාද නැගීම සුපුරුදු පරිදිම ආරම්භ කළේ සමූපකාර අමාත්‍ය ගුණදාස දෙහිගම විසිනි. අමාත්‍යවරුන්ගේ ප‍්‍රකාශ අවස්ථාවේදී නැගී සිටි ඇමැති දෙහිගම මන්ත‍්‍රීවරුන් ජනාධිපති බලන්නට යාමෙන් පළාත් සභාව කොට උඩ ගිය බවට පළ වී තිබූ පුවත්පත් වාර්තාවක් පෙන්වමින් එය ලියූ මාධ්‍යවේදියාට දෙහි කපන්නට විය. ‘‘බලන්න පළාත් සභාවට මොනතරම් අගෞරවයක් වෙන විදිහටද හෙඞ් ලයින් එකේම මේ මහා අකුරෙන් දාලා තියෙන්නේ මේ පච පත්තරකාරෙයෝ. මේවද මහජනයාට ගෙනියන තොරතුරු. මේ විදිහට ගියොත් අපිට පළාත් සභාවට තියා පාරකවත් යන්න හම්බවෙන්නේ නැහැනේ මේ පච පත්තරකාරයෝ ලියන එව්වගේ හැටියට. මේවා අසත්‍ය දේවල්නේ.’’දෙහිගම වාඩිවෙනවාත් සමග නැගී සිටියේ මහ ඇමැති ධර්මසිරිය. ‘‘මාධ්‍යකරුවන් මේ සභාව පිළිබදව වැරදි සහගත තොරතුරු පිට පිටම පළකරනවා. ඒ නිසා මේ අයව ගෙන්නලා, පුවත්පත් මණ්ඩලයටත් දැනුම්දීලා, පත්තරවල කර්තෘවරුන්ට දැනුම්දීලා මේ වගේ වැරදි තොරතුරු පළවෙන බව දැනුම් දුන්නොත් හොදයි.’’කී ධර්මසිරි තමන්ට මෙන්ම සෙසු අමාත්‍යවරුන්ටද පෙර සභා දිනයට සහභාගීවීමට නොහැකිවීම සාධාරණීකරණය කරමින් කරුණු දක්වන්නට විය. ධර්මසිරි කතාකරමින් සිටින අතර විපක්ෂය පැත්තෙන් යම් කලබලයක ලකුණු ඇසෙන්නට පෙනෙන්නට විය. විපක්ෂය පැත්තේ අසුන්ගෙන සිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ මන්ත‍්‍රී අජිත් දබරේරා බිම වැටී දගලමින් සිටින අයුරුද ඒ අතරවාරයේ දැකගත හැකි විය. අනෙක් මන්ත‍්‍රීවරුන් වහා ක‍්‍රියාත්මක වී මන්ත‍්‍රී දබරේරා අල්ලාගෙන නැගිට්ට වූ අතර තමාට කරදරයක් නැති බව මන්ත‍්‍රී දබරේරා විසින් පවසන අකාරයද පෙණිනි. සභා සේවකයෙකු විසින් කැඩුණු පුටුව ඉවත් කර අඵත් පුටුවක්ද ගෙනැවිත් දුන් අතර මාධ්‍ය පතුරු අරින අතරේ පුටුව කඩාගෙන බිමට වැටුණු අජිත් දබරේරා ඒ වන විට සභාගැබේ මෙන්ම සභා ගැලරියේද සිටි අයගේ මුහුණුවලද සිනහවක් නංවන්නට සමත් විය. අනතුරුව වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මෙන්ම විපක්ෂ නායක ශමල් සෙනරත්ද දෙහිගම සහ ධර්මසිරි විසින් දැක් වූ අදහස්වලට තෙල් , පොහොර පමණක් නොව වතුරත් එකතු කර හොද සාත්තුවක් ලබාදීමට වගබලා ගත්හ. මුලසුනේ සිටි සභාපති ටිකිරි බණ්ඩා පරලවෙන්නට පටන්ගත්තේ ඉන් පසුවය. ඔහුගේ චෝදනාව වූයේ හිටපු ඇමැති බැසිල්ගේද සහභාගිත්වයෙන් මහින්දගේ නව දේශපාලන පක්ෂය පිළිබද සාකච්ඡාවක් වයඹ පළාත් සභාවේ සභාපති කාමරයේ පැවැත්වුණු බවට බවට අසත්‍ය වාර්තාවක් පුවත්පතක පළ කර ඇති බවත්, ඒ හේතුවෙන් තම දේශපාලන ජීවිතයට විශාල කැළලක් සිදු වී ඇති බවත්ය. ‘‘මේක අමූලික බොරුවක්. ඔය කියන දවසේ මම සභාවට ආවෙත් නැහැ. ඒ වගේම ඔය කියන කිසි කිසිකෙනෙක් එතැනට ඇවිල්ලා නැහැ. මම මේ රටේ ජනාධිපතිවරයා සභාපතිත්වය දරණ පක්ෂයේ පොල්ගහවෙල ආසනයේ ප‍්‍රධාන සංවිධායකවරයා. අපේ පක්ෂයේ යම් කිසි ප‍්‍රශ්නයක් තියෙන වෙලාවක මේ වගේ ප‍්‍රවෘත්තියක් පළකිරීම මගේ දේශපාලන ජීවිතයට විශාල හානියක් වෙනවා. ’’සභාපති ටිකිරි බණ්ඩා පැවැසීය. ටිකිරි බණ්ඩාගේ මුවින් මාධ්‍යවේදීන් පිළිබද අවලාද ගලා එන්නට වූයේ ඉන් අනතුරුවය. ‘‘සමහර අය බත් පැකට් එකක් දීලා, අරක්කු වීදුරුවක් දීලා තමන් ගැන හොද ප‍්‍රවෘත්ති ලියාගන්නවා. එවැනි තත්වයකට පත්වෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. පුවත්පත් කලාව කියන්නේ වැදගත් රාජකාරියක්. නමුත් අපි කණගාටු වෙනවා මේ වගේ ප‍්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වලට කාලකන්නි පුවත්පත් වාර්තාකරුවන් ප‍්‍රාදේශීය මට්ටමින් පත්කරලා මේ වගේ කුණුහරුප ලියන්න අවස්ථාව ලබාදීලා තිබීම ගැන.’’යැයි මාධ්‍යවේදීන් ඉදිරිපිටදීම ඔවුන්ට අවලාද නගමින් සිටි සභාපති ටිකිරි බණ්ඩාට සිය කතාව මදකට නවතන්නට සිදු වූයේ අතර ආණ්ඩු පක්ෂය පැත්තෙන් නැගුණු හදිසි සිනාහඩක් හේතුවෙනි. සිනාහඩ නැගුණු දෙස විමසිලිමත් වූ මාධ්‍යවේදීන්ට යළිත් දැක ගත හැකි වූයේ මන්ත‍්‍රී පියුමාල් හේරත්ගේ අසුනත් බිමට කඩා වැටී ඇති බවය. ‘‘සභාපතිතුමනි, මේ සභාවේ පුටුවල පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. අද අපි මේ කතාකරන ඒවා බර වැඩිද මන්දා මන්ත‍්‍රීවරු පුටු කඩාගෙන බිමට වැටෙනවා. මේ දෙවැනි එක. කරුණාකරලා මේ සභාවේ පුටු ගැන ආපහු බලන්න වෙයි. ’’පියුමාල් කියද්දී සභා ගැබ සිනා හඩින් පිරී ගියේය. කලබලය දැක එතැනට පැමිණි සභා සේවකයෙකු විසින් කැඩුණු පුටුව එතැනින් ඉවත් කර තවත් පුටුවක් පියුමාල් වෙත පිරිනැමීය. අනතුරුව සිය කතාව යළිත් ආරම්භ කළ සභාපති ටිකිරි බණ්ඩා සිය කතාව අවසන් කළේ මාධ්‍යවේදීන්ට පළාත් සභාව පැත්ත පළාතේ පස් පෑගීම පවා තහනම් කරමිනි. සභාපතිවරයා විසින් හිතුවක්කාරී ලෙස ගත් එම තීරණයට විරෝධය පළකරමින් නැගී සිටි මන්ත‍්‍රී පියුමාල් එම තීරණය යළි සලකා බලන්නැයි ඉල්ලා සිටි නමුත් සභාපති ටිකිරි බණ්ඩා සිය මතය වෙනස් නොකළේය. පියුමාල්ගේ විරෝධය හේතුවෙන්දෝ සභාපති ටිකිරි බණ්ඩාගේ තීරණයට පොහොර දාන්නට තවත් අයෙක් ස්වේච්ඡාවෙන්ම නැගී සිටිනු පෙණුනු අතර ඒ වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකරය. සභාපති ටිකිරි බණ්ඩාගේ ක‍්‍රියාව මහත් සේ අගය කරමින් අදහස් දැක් වූ ගුණසේකර පෙරට තැබූ පය ආපස්සට නොගන්නා ලෙස කියමින් සභාපතිවරයා දිරිමත් කළේය. මන්ත‍්‍රී ගුණසේකර පොහොර ගෝනිය බිම තියනවාත් සමග යළිත් වතාවක් සංහිදියාවකට උත්සහා දරමින් මන්ත‍්‍රී පියුමාල් නැගී සිටියේය. ‘‘ජනමාධ්‍ය නිසා දේශපාලනයේ යෙදිලා ඉන්න අපිට බොහෝ දේවල් සිදුවෙනවා. ඒකෙන් සීයට අනූවක්ම අපිට අවාසිදායක දේවල්. හැබැයි අපිට ඒ පිළිබදව ගත හැකි නීතිමය ක‍්‍රියාමාර්ගත් තියෙනවා. ප‍්‍රවෘත්තියකින් යම් කිසි හානියක් වෙලා තියෙනවා නම් අපිට එන්තරවාසියක් යවන්න පුලූවන්. නඩුවක් දාන්න පුලූවන්. දැන් අපි තේ විවේකයටත් යන නිසා මේ කරුණු කාරණා ගැන එතැනදී විවේකීව සලකලා බලමු කියලා මම යළිත් ඉල්ලා සිටිනවා. තේ විවේකයෙන් පසුව අපි මේ ගැන තීරණයක් ගනිමු.’’ පියුමාල් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම පවා තුට්ටුවකට මායිම් නොකළ සභාපති ටිකිරි බණ්ඩා යළි කීවේ තමන් විසින් ගත් තීන්දුව කිසිසේත් වෙනස් නොකරන බවකි. තමන්ට තහනම් කෙරුණු භූමියක තවදුරටත් රැදී සිටීම අකැප බව වටහා ගත් සභා රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීහු සිය සටහන් පොත් අකුලාගෙන සභාගැබෙන් පිටතට පැමිණියහ.

ශමල් විපක්ෂයේ කටවලුත් වහයි.

සභාපති ටිකිරි බණ්ඩාගේ කැකිල්ලේ තීන්දුවට එරෙහිව මන්ත‍්‍රී පියුමාල් හුදෙකලා සටනක නිරතවෙද්දී ඊට සහය පිණිස තවත් එක මන්ත‍්‍රීවරයෙකු හෝ නැගී සිටිනු ඇතැයි මාධ්‍යවේදීන් බලාපොරොත්තු වූ නමුත් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගල් පිළිම සේ සිය අසුන්වල වාඩි වී සිටියා විනා හෙළවුනේවත් නැති. බලා ඉන්නට බැරිම තැන විපක්ෂ මන්ත‍්‍රී මොහාන් පෙරේරා සිය අසුනෙන් නැගී සිට විපක්ෂනායක ශමල් සෙනරත්ගේ පුටුව අසලට කිට්ටු කළේය. ‘‘මේ කරන වැඬේ වැරදිනේ. අපි මේක ගැන බලා නොඉද කතා කරමු නේද ?’’මොහාන් ශමල්ගෙන් ඇසීය. ‘‘මේකට අපි මැදිහත්වෙන්න ඕනෑ නෑ. ඒ ගොල්ලෝ , ඒ ගොල්ලෝ ඒක ගැන බලාගනියි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.’’ශමල් දුන්නේ එවැනි උත්තරයකි. ශමල්ගේ උත්තරයෙන් පසු බා ගිය මන්ත‍්‍රී මොහාන් සිය අසුනට ගොස් කරබා ගත්තේය

පළාත් සභාවේ පුටු මාරුවක් ?

මාධ්‍යවේදීන් පළාත් සභාවෙන් දොට්ට වැටෙන අතරේ වයඹ පළාත් සභාවේ මුල් පුටුවල වෙනස්වීමක් පිළිබද කතාබහක්ද මේ වන විට කරළියට පැමිණ තිබේ. මුල් පුටු යැයි කීවාට එම පුටු මාරුව සිදුවන්නේ දේශපාලන පුටු සම්බන්ධයෙන් නොව පරිපාලන තනතුරු හොබවන මුල් පුටුවකට අදාළව බවද ‘අඵ යට ගිනි ’වෙත වාර්තා වෙයි. ඒ අනුව දැනට වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුර හොබවමින් සිටින ජයන්ත විජේරත්නට අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙසට උසස්වීමක් ලැබීමට නියමිතව ඇති අතර ඔහු බොහෝදුරට නාගරික සංවර්ධන සහ ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉදිරි සතිවලදී පත්වී යාමට නියමිතව තිබේ. ඔහුගෙන් පුරප්පාඩු වන වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් තනතුරට පත්වන්නේ කවුරුන්දැයි කසු කුසුවක් නිර්මාණය වී ඇති අතර කලක් කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් තනතුරද හෙබවූ, දැනට මහනුවර දිස්ත‍්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින එච්. එම්. පී. හිටිසේකර වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පත් වී ඒමට නියමිත බවද කියැවෙයි. වයඹ පළාත් සභාවේ මුල් පුටුවට කවුරුන් පත් වී එන නමුත් ඒ එන නිලධාරියා රාජකාරිය පමණක් නොව ඔලූව බේරාගෙන වැඩ කිරීමේ කලාවත් හොද හැටි ප‍්‍රගුණ කර තිබිය යුතු අයෙක් විය යුතු බව වයඹ පළාත් සභාව තුළ දැන් දැන් සිදුවන දේවල් දෙස බලද්දී පෙනී යයි.

ඉන්දියාවේදී දිනූ දයාසිරි උඩුබද්දාවෙන් පරදී !

කලක් තිස්සේ එහාට මෙහාට ඇදි ඇදි තිබූ උඩුබද්දාව සමූපකාර නිලවරණය පසුගියදා අවසන් වූයේ ඇමැති දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායමට පරාජය අත්කරදෙමිනි. මන්ත‍්‍රී නලින් බණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් එම නිලවරණයෙන් ජයග‍්‍රහණය කිරීමෙන් පසුව උඩුබද්දාව සමූපකාරයේ බලය මේ වන විට එජාප හිතවාදී කණ්ඩායමක් අතට පත් වී තිබේ. දයාසිරි වයඹ මහ ඇමැති තනතුර හොබවමින් සිටි කාලයේදී උඩුබද්දාව සමූපකාරයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය කැබිනට් තීරණයක් මගින් දෙවරක්ම දීර්ඝ කිරීමට පියවර ගෙන තිබිණි. වෙනකක් තබා දයාසිරි වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය තනතුරෙන් නික්මී යාමට පැය කිහිපයකට මත්තෙන් පැවැති අවසන් කැබිනට් රැස්වීමේදීත් උඩුබද්දාව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබිණි. නිලවරණයක් නොපවත්වා කැබිනට් තීරණ හරහා කාලය දීර්ඝ කරගනිමින් බලයේ රැදී සිටින අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබදව මෙන්ම සමූපකාරය තුළ සිදු වී ඇතැයි කියන වංචා සහ දූෂණ පිළිබදවත් කලකිරීමට පත් උඩුබද්දාව සමූපකාර සමිතියේ සාමාජිකයින් පිරිසක් විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකළ අතර අදාළ නඩුව මේ වන විට වාර කිහිපයක්ම විභාගයට ගෙන තිබේ. පසුගිය සතියේ උඩුබද්දාව සමූපකාර නිලවරණය පැවැත්වෙන්නේ මෙවැනි අවුල් සහගත වටපිටාවක් තුළය. අදාළ නිලවරණය සදහා නාමයෝජනා ලබාදීමේ අවස්ථාවට ඇමැති දයාසිරි පුද්ගලිකව සහභාගී තිබූ නමුත් නිලවරණය පැවැත්වෙන විට දයාසිරි සිටියේ සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගීවීම සදහා ඉන්දියාවට ගොසිනි. ඒ නිසාම දයාසිරි වෙනුවෙන් නිලවරණයේ බර ඇදීම දයාසිරිගේ ලේකම්වරුන් වෙත පැවැරී තිබූ අතර දයාසිරිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන පාලිත පෙරේරා සහ චන්දන පුෂ්පකුමාර මෙන්ම පුද්ගලික ලේකම් සම්පත් දිසානායකද එදින නිලවරණය පැවැති අවස්ථාවට සහභාගී වී සිටියහ. වසර ගණනක් තිස්සේ ශ‍්‍රී ල නි ප බලකොටුවක්ව පවතින උඩුබද්දාව සමූපකාර සමිතියේ බලය ඇල්ලීම සදහා බිංගිරියේ යූ ඇන් පී කාරයින්ද වාද භේද අමතක කර දමා එකට එකතු වී සිටි බවක් එදින දක්නට ලැබිණි. එජාපය පැත්තෙන් නිලවරණයට ඉදිරිපත් කර සිටි අපේක්ෂක කණ්ඩායමේ ජයග‍්‍රහණය පතා බර අදිනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලගේ සම්බන්ධීකරණ ලේකම් ගාමිණී සෝමසිරි ඇතුඵ පිරිසකි. කෙස්වෙතත් නලින් බණ්ඩාර ඇතුලූ පිරිසගේ උත්සාහය මල් ඵල ගන්වමින් මහ සභා නියෝජිතයින් 68 ට 31 ක් වශයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට එජාප කණ්ඩායම සමත් වී තිබිණි. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ නිලට බර වී තිබූ උඩුබද්දාව සමූපකාරය කොළට හරවා ගැනීමට මෙන්ම දයාසිරි ශ‍්‍රී ල නි ප සංවිධායක ධූරය දරනු ලබන බිංගිරියේදීම දයාසිරිව පරාජයට පත්කිරීමට නලින් බණ්ඩාර ඇතු`ඵ කණ්ඩායම සමත් වී තිබිණි. ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමග සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගිවෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් පසුගිය දින කිහිපය පුරාම ඉන්දියාවේදී ජය පැන් බිව් දයාසිරිට උඩුබද්දාවේදී අත් වී තිබුණේ පරාජයයි.

ඇමැති නවීන්ගෙන් කුරුණෑගල මන්ත‍්‍රීවරුන්ට පාටියක්.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පසුගිය සතියේදී නිකවැරටිය, රස්නායකපුරට ආවේ කප්රුකට අරුණලූ වැඩසටහනේ සමාරම්භක උත්සවය සහභාගීවීමටය. උත්සවය යෙදී තිබුණේ පසුගිය සෙනසුරාදාට නමුත් තවත් සුවිශේෂි කටයුත්තක් හේතුවෙන් සිකුරාදා පස්වරුවේම ඇමැති නවීන් නිකවැරටියට පැමිණ තිබිණි. ඒ කටයුත්ත වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක හිටපු මන්ත‍්‍රීවරුන් සමග එදින පස්වරුවේ සංවිධානය වී තිබූ සුහද හමුවකි. ඇමැති නවීන්ගේ අමාත්‍යංශය විසින් ක‍්‍රියාත්මක කෙරෙන ‘වැවිලි සවිය ගමට’වැඩසටහන එම මන්ත‍්‍රීවරුන් වෙත හදුන්වාදීම මෙම සුහද හමුවේ අරමුණ වී තිබිණි. හමුව සංවිධානය වී තිබුණේ නිකවැරටිය බුද්ධි සමුද්‍රා හෝටලයේදීය. මෙම හමුව සදහා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ හයක පළාත් පාලන ආයතන නියෝජනය කරන සියලූ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් කැදවා තිබිණි. ඇමැති නවීන්ට අමතරව ඇමැති ජයවික‍්‍රම පෙරේරා සහ මන්ත‍්‍රී නලින් බණ්ඩාරද මෙම හමුවට එක් වී සිටියහ. පළාත් සභා මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු මෙන්ම නිකවැරටිය එජාප සංවිධායක එච්. බී. තෙන්නකෝන් සහ හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපාද ඊට එක් වී සිටියහ. නවීන්, ජයවික‍්‍රම, තෙන්නකෝන් ඇතුලූ පිරිස විසින් මන්ත‍්‍රීවරුන් අමතා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමෙන් පසුව සුහද හමුව ආරම්භ කෙරිණි. රස මසවුලෙන් මෙන්ම සංගීතයෙන්ද අඩුවක් නොවූ සාදය ගලායද්දී මන්ත‍්‍රීවරුන්ද ගී ගැයීමට එක් වූහ. සුපුරුදු පරිදිම පළාත් සභා මන්ත‍්‍රී අජිත් රෝහණ විසින් ගී ගැයීමට මුල පිරූ අතර අජිත් රෝහණ අනුගමනය කළ පළාත් පාලන මන්ත‍්‍රීවරුන් කිහිපපොළක්ම ගී ගයන්නට එක් වූහ. සාදය මධ්‍යම රාත‍්‍රිය පසුවන තෙක්ම ඇදී ගියේය.

නාවින්න සල්ලි බෙදයි.

වයඹ සංවර්ධන ඇමැති එස්. බී. නාවින්නද පසුගිය ඉරිදා වාරියපොළ පිහිටි ඔහුගේ නිවසට කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන සියලූ එජාප ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන ආයතන කිහිපයක හිටපු මන්ත‍්‍රීවරුන් පිරිසක්ද කැදවා තිබිණි. නාවින්න යටතේ ඇති වයඹ සංවර්ධන අමාත්‍යංශයට වෙන් වී ඇති මුදල් යොදවා සංවර්ධනය කිරීම සදහා ඒ ඒ මැතිවරණ කොට්ඨාශවලින් සංවර්ධන යෝජනා ලබාගැනීම මෙම රැස්වීමේ අරමුණ වී තිබිණි. සංවර්ධන යෝජනා ලබාගැනීමේ අරමුණින් කැදවා තිබූ නමුත් බොහෝ ආසන සංවිධායකවරුන් ඒ පිළිබදව නිවැරදි අවබෝධයකින් සිටින බවක් නොපෙණිනි. මන්ද එතැනට රැස් වී සිටි ආසන සංවිධායකවරුන් බොහෝ දෙනෙකු විසින් සිය අදහස් දැක්වීම්වලදී මහින්ද පාලනය විවේචනය කිරීම සහ ඡන්දපොළ කමිටු හැදීම වැනි මාතෘකා පිළිබදව කතා කිරීමට කාලය වැය කළා විනා සංවර්ධන යෝජනා ඉදිරිපත් නොකළ බැවිනි. කෙසේ වෙතත් ආසන සංවිධායකවරුන් වෙතින් ධනාත්මක මට්ටමේ සංවර්ධන යෝජනාවන් කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා විසින් හිරියාල ආසනය වෙනුවෙන් සකස් කර ඇති වැඩපිළිවෙල මනා ලෙස විස්තර කළේය. සිය විස්තරය අවසන් කළ ජගත් යාපා නාවින්නගෙන් ඉල්ලා සිටියේ හිරියාලේ ඇති කැඞී බිදී ගිය වැව් අමුණු පිළිසකර කිරීම වෙනුවෙන් මුදල් වෙන්කර දෙන ලෙසටය. ජගත් යාපාට අමතරව ගල්ගමුවේ මොහාන් පෙරේරා, පොල්ගහවෙල එච්. එම්. ජයරත්න ඇතුලූ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකුද හොද අදහස් දැක්වීම් කළහ.

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 පෙබරවාරි 18 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article