කුරුණෑගල, ඇතුගල පාමුල ආසන්නයේ අද (02 දා) පස්වරුවේ හටගත් හදිසි ගින්නක් ඒ අවට පිහිටි රජයේ කාර්යාලවල සේවක සේවිකාවන් සහ කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය එක්ව නිවා දමනු ලැබූහ.
අද පස්වරු 2.30 පමණ ඇතුගල ප්රවේශ මාර්ගය ආසන්නයේ ඇති වූ මෙම හදිසි ගින්න ඉන් මද වේලාවකට පසුව ඒ ආසන්නයේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාල භූමිය සහ රෙජිස්ට්රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු කාර්යාල භූමිය දක්වාම පැතිරී ගියේය. මෙම අවස්ථාවේදී එම කාර්යාලවල සේවයේ නියුතු සේවිකාවන් විසින් වතුර ගසමින් ගින්න නිවා දැමීමට උත්සහ කළ නමුත් වියළී ගිය කැළෑරොදවල් සහ සුළග හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී ගිය අයුරු දැකගත හැකි විය. මේ අවස්ථාවේදී එහි පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් සේවක සේවිකාවන්ගේ පරිශ්රමයෙන් ඒ වනවිට යම් තරමකට පාලනය කර තිබූ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමීමට සමත් වූහ.
ඇතුගල ප්රවේශ මාර්ගය ආසන්නයේ තාවකාලික වෙළදසැලක් පවත්වාගෙන යන අයෙකු විසින් කසල දැවීම සදහා අවුලන ලද ගිනි මැලයක් පැතිරීයාම හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැකකෙරෙන අතර ගින්න හේතුවෙන් දේපළ හෝ ජීවිත හානියක් සිදු වී නොමැත.