ස්වයං රැකියා උපකරණ බෙදාදීමේදී දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පිරිස් තෝරාගෙන ඇති බවට චෝදනා කරමින් සමෘද්ධිලාභීන් පිරිසක් වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදීම හේතුවෙන්, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (21 දා ) එම කාර්යාලයේදී සංවිධානය කර තිබූ සමෘද්ධිලාභීන් සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීමේ වැඩසටහනකදී මහත් කලබගෑනියක් ඇති විය.
වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ වෙසෙන සමෘද්ධිලාභීන් 106 දෙනෙකු වෙනුවෙන් රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වැයකරමින් මහන මැෂින්, වතුර පොම්ප, තණකොල කපන යන්ත්‍ර ඇතුලූ ස්වයං රැකියා උපකරණ බෙදාදීමක් අද දහවල් වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී සංවිධානය කර තිබිණි. වීරඹුගෙදර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ අතින් ඒවා ප්‍රතිලාභීන් වෙත බෙදාදීමට සැරසුණු අවස්ථාවේදී එහි කඩාවැදුණු සමෘද්ධි ප්‍රතිලාභීන් බව කියන සියයකට අධික පිරිසක් ඊට බාධාකරමින් කෑකෝ ගසන්නට වූහ. ස්වයං රැකියා උපකරණ බෙදාදීම සදහා තෝරාගෙන ඇති පිරිස දේශපාලන හිතවත්කම් මත තෝරාගෙන ඇති බවටත්, ඔවුන් මීට පෙරද සමෘද්ධි ව්‍යාපාරය හරහා විවිධ ප්රතිලාභ ලබාගෙනඇති බවටත් මෙම පිරිස විසින් චෝදනා කරන්නටවීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති එහිදී ඇති විය.
දෙපාර්ශ්වය අතර ගැටුම සමථයකට පත්කිරීමට මැදිහත් වූ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා , මෙම උපකරණ බෙදාදෙනු ලබන්නේ 2015 වසරේ ලැබුණු ප්‍රතිපාදනවලින් බවද, 2016 වසරේ ලැබෙන ප්‍රතිපාදනවලට අනුව ස්වයං රැකියා උපකරණ ලබාදීම සදහා අනෙක් පිරිසද ඇතුලත් කරගන්නා බවට පොරාන්දුවීමත් සමග විරෝධතාවයේ යෙදුණු පිරිස සන්සුන් වූහ. මෙහිදී රාජ්‍ය නිලධාරින් අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරුන් දෙපළ රජය විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලදී නිලධාරීන් මධ්‍යස්ථව සහ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවටත්, ගම්වලට ගොස් ප්රතිලාභ ලැබිය යුතු ජනතාව නිසියාකාරයෙන් හදුනාගැනීමෙන් පසුව පක්ෂ බේදයකින් තොරව එම ප්රතිලාභ ජනතාව වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බවටද අවධාරණය කළහ.
කලබලය සංසිදවීමෙන් පසුව අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ අතින් අදාල ස්වයං රැකියා උපකරණ ප්‍රතිලාභීන් වෙත බෙදාදෙනු ලැබීය.
කුරුණෑගල ගුණරත්න ලියනආරච්චි