Saturday, November 23, 2024

පැය තුනක් පාර වැහුණු තෙලියගොන්න උද්ඝෝෂණයේ නොදුටු පින්තූර.

Must read

කුරුණෑගල, තෙලියගොන්න හිස්බුල්ලා මධ්‍ය මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා එම තනතුරින් ඉවත්නොකරන ලෙසට බලකරමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ දෙමව්පියන් පිරිසක් කුරුණෑගල – මහනුවර මාර්ගය තෙලියගොන්න ප‍්‍ර‍දේශයේදී අවහිර කරමින් විරෝධතාවයක යෙදීම නිසා ඊයේ (19 දා) උදෑසන පැය තුනකට අධික කාලයක් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටියේය.

ඊයේ උදෑසන 7.30 ට පමණ කුරුණෑගල – මහනුවර මාර්ගයේ තෙලියගොන්න මුස්ලිම් පල්ලිය ඉදිරිපිටට රැස් වූ හිස්බුල්ලා මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් බව කියන පන්සියයකට අධික පිරිසක් එම විද්‍යාලයේ වත්මන් වැඩබලන විදුහල්පති එච්. ඒ.එල්. අබුසාලි මහතා එම තනතුරින් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයෙකු පත්කිරීමට විරෝධය පළකරමින් මාර්ගය අවහිර කර උද්ඝෝෂනයක යෙදුණහ. පසුව මෙම ස්ථානයට පැමිණි කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරින්ගේ මැදිහත්වීම මත කුරුණෑගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සිරිමෙවන් පොඩිනිලමේ මහතා උද්ඝෝෂණය පැවැති ස්ථානයට පැමිණ ගැටලුව පිළිබදව සාකච්ඡා කිරීමට උත්සාහ කළ නමුත් මව්පියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැඩි ලෙස විරෝධය පළකිරීම හේතුවෙන් එය අසාර්ථක විය. උද්ඝෝෂණය අතරතුරදී පොලිසිය විසින් මාර්ගය විවෘත කරගැනීම සදහා අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ නමුත් සිසු සිසුවියන් මාර්ගය මත වාඩි වී සිටීම හේතුවෙන් එයද අසාර්ථක වූ අතර එම අවස්ථාවන්වලදී පොලිසිය සහ සිසුන් අතර මෙන්ම පොලිසිය සහ දෙමව්පියන් අතරද උණුසුම් තත්වයක්ද ඇති විය.

උද්ඝෝෂකයින් විසින් කුරුණෑගල – මහනුවර මාර්ගය අවහිර කිරීම හේතුවෙන් එම මාර්ගයෙහි දැඩි වාහන තදබදයක් ඇති වූ අතර ඒ හේතුවෙන් දිගු වාහන පෝලිමක්ද ඇති විය. තෙලියගොන්න ප‍්‍ර‍දේශය මගහැර විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට පොලිසිය විසින් පියවර ගත් නමුත් ඒ හේතුවෙන් කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයෙහිද වාහන තදබදයක් ඇති විය.උදෑසන කාර්යාල වේලාවේදී ඇති වූ මෙම අනපේක්ෂිත මාර්ග තදබදය හේතුවෙන් පුද්ගලික සහ පොදු ප්‍රවාහන සේවා වාහනවලින් කුරුණෑගල නගරයේ පිහිටි රාජකාරී ස්ථානයන්ට පැමිණෙමින් සිටි රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් මෙන්ම පාසැල් සිසුන්ද දැඩි දුෂ්කරතාවයට පත් වූහ. එලෙස අපහසුතාවයට පත් වී සිටි පිරිස් ඔවුන් පැමිණි වාහනවලින් බැස තෙලියගොන්නේ සිට කුරුණෑගල නගරය දක්වා වූ කිලෝමීටර් දෙකකට අධික දුරක් පා ගමනින්ම පැමිණ නගරය වෙත පැමිණෙනු දැක ගත හැකි විය.

කෙසේ වෙතත් මෙම පිරිස පැය තුන හමාරකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ යෙදී සිටි අතර පසුව එම ස්ථානයට පැමිණි තෙලියගොන්න ප‍්‍ර‍දේශයේම වෙනත් ප‍්‍ර‍දේශවාසීන් පිරිසක් ගමට අවනම්බු වන ආකාරයට මෙවැනි උද්ඝෝෂණ නොකරන්නැයි කියමින් විරෝධතාවයේ යෙදී සිටි සිසු සිසුවියන් සහ දෙමව්පියන් පලවාහරින්නට වූ අතර ඒ සමගම එතෙක් වේලාවක් පොලිසියට ඉවත්කරගත නොහැකි වූ පිරිස මාර්ගයෙන් ඉවත් වී යනු දැක ගත හැකි විය. විරෝධතාකරුවන් පිරිස මාර්ගයෙන් ඉවත්වීමත් සමග එතෙක් අවහිර වී තිබූ කුරුණෑගල – මහනුවර මාර්ගය මාර්ගය ගමනාගමනය සදහා යළි විවෘත වූ අතර මාර්ග තදබදයද අවසන් විය.

හිස්බුල්ලා මධ්‍ය මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා එම තනතුරින් ඉවත්නොකරන ලෙසට බලකරමින් මව්පියන් පිරිසක් පසුගිය 05 වැනිදා වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව අවහිර කරමින් මේ අයුරින් විරෝධතාවයක යෙදීම නිසා එදින පැවැති පළාත් සභා රැස්වීමට සහභාගීවීමට පැමිණි මන්ත‍්‍රීවරුන්ටද දැඩි අපහසුතාවයකට පත්වීමට සිදු විය.

theliyagonna_1 theliyagonna_2 theliyagonna_3 theliyagonna_4 theliyagonna_5 theliyagonna_6 theliyagonna_7 theliyagonna_8 theliyagonna_9 theliyagonna_10 theliyagonna_11 theliyagonna_12 theliyagonna_13 theliyagonna_14 theliyagonna_15 theliyagonna_16

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article