Saturday, November 23, 2024

අලි- වලි- බලි- පිරි සතියක වයඹ අඵ යට ගිනි !

Must read

alu_yata_gini_ jan14_2

ඉන්දික බණ්ඩාරනායකට කැපිල්ලක් !

ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති නම් වූ නව තනතුරක් හරහා වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙහි අමාත්‍යධූර දරමින් සිටින කුරුණෑගල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් අතරේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා පිහිටුවා ඇති ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපති තනතුරු බෙදා හැරීමට ජනපති මෛත‍්‍රී විසින් කටයුතු කළ බව පසුගිය සතියේදී අඵ යට ගිනි ඔස්සේ හෙළි කෙරිණි. ඒ අනුව ටී. බී. ඒකනායක, අනුර යාපා, දයාසිරි ජයසේකර සහ තාරනාත් බස්නායක යන ඇමැතිවරුන් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරුන් ලෙස පත් කරනු ලැබ ඇති බවට එහිදී වැඩිදුරටත් හෙළිකෙරිණි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් සියඵ දෙනාටම ඒ අයුරින් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිකම් ලැබෙද්දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම නියෝජනය කරන එක් ඇමැතිවරයෙකුට පමණක් කැපිල්ලක් වැටී බව දැකගත හැකි විය. කැපිල්ලට ලක් වී තිබුණේ නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකය. ජනාධිපති ලේකම් කාර්යායෙන් පසුගියදා නිකුත් කෙරුණු සම සභාපති තනතුරු ලැයිස්තුවට අනුව කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කිසිදු ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවක සම සභාපතිකම ඉදිරියේ ඉන්දික බණ්ඩාරනායකගේ නම ලියැ වී නැත. ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිකම්වලින් ඉන්දික බණ්ඩාරනායකගේ නම කැපී ගියේ ඉන්දික විසින් තනතුරු ලබාගැනීම ප‍්‍රතික්ෂේප කළා නිසාදැයි , එසේත් නැත්නම් මහින්ද පිලේ ප‍්‍රබලයෙකු වන මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ සමීප මිතුරෙකු ලෙසට ඉන්දික ලේබල් වී සිටීම නිසාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් සම සභාපතිකම්වලින් ඉන්දිකගේ නම පමණක් කැපී යාම අහම්බයක් හෝ අත්වැරදීමක් වීමට නම් ඇත්තේ අඩු ඉඩකඩක් බව පෙනෙයි. කිඹුලා කනවා මදිවාට කොහිල කටුත් ඇනෙනවා කියන්නා සේ ඉන්දික බණ්ඩාරනායක ශ‍්‍රීලනිප ආසන සංවිධායක ලෙස කටයුතු කරන පඩුවස්නුවර ආසනයේ මුල්කරගනිමින් පිහිටුවා ඇති සම්බන්ධීකරණ කමිටු දෙකෙහිම සම සභාපතිත්වය පවරා ඇත්තේද ඇමැති දයාසිරි වෙතය. ඒ අනුව තමන් සංවිධායකත්වය දරණ මැතිවරණ කොට්ඨාශයේදී පවා ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ මුල් පුටුව දයාසිරිට ලබා දී වෙනත් පුටුවක හිදගෙන බලාසිටීමට සිදුවන අභාග්‍ය සම්පන්න ඉරණම මේ වන විට නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායකගේ ඉරණමෙහි ලියැවී තිබේ. මේ පිළිබදව විමසීම් කළ සිය හිතවතුන්ට ඉන්දික විසින් කියා තිබුණේ අදාළ සංවර්ධන කමිටු සම සභාපතිකම් පිරිනැමීමේදී යම් වරදක් සිදු වී ඇති බවටත්, අදාළ වරද වහාම නිවැරදි කර තමන්වද ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයෙකු ලෙසට නම් කරන්නැයි ජනපති මෛත‍්‍රී විසින් මේ වන විට නිලධාරීන් වෙත උපදෙස් දී ඇති බවකි.

පුදනකොටම කාපි යකා !

ඉහත කී සෑම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවක් සදහාම සම සභාපතිවරුන් ලෙස පත්කෙරෙන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ද පසුගිය සතියේදී එජාප මහ ලේකම් කබීර් හෂීම් විසින් නම් කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාගැනීම සදහා අගමැති රනිල් වෙත යොමුකර ඇති බව කියැවෙයි. ඒ ඒ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරුන් ලෙස පත් කෙරෙන එජාප මැති ඇමැතිවරුන් කවුරුන්දැයි ඉදිරි සතියේදී සහසුද්දෙන්ම කුරුණෑගල ජනතාවට දැනගැනීමට ලැබෙනු ඇත. පුදනකොටම කාපි යකා කියන්නා සේ එජාප – ශ‍්‍රීලනිප සම සභාපතිවරුන් එකට හිදුවා රැස්කරවන්නට යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සහජීවන ආදර්ශය ආරම්භයේදීම දෙදරා යන ආකාරයේ සිදුවීමක් පසුගිය සතියේදී කුරුණෑගල පැත්තෙන් වාර්තා විය. ඒ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ විසින් පසුගිය සතියේ දින දෙකකදී කුරුණෑගල මැතිවරණ කොට්ඨාශය යටතේ ඇති කුරුණෑගල සහ මාස්පොත යන ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු දෙක තනිවම රැස් කරවීම නිසාය. එම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහිම සම සභාපතිත්වය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් පත් කර සිටින්නේ ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපාය. අදාළ ප‍්‍රාදේශීය කමිටු දෙකෙහි සම සභාපතිවරයෙකු ලෙස මේ වන විට නිල වශයෙන්ම පත්වීම් ලබා සිටින ඇමැති අනුර යාපාට අදාළ සංවර්ධන කමිටු දෙක රැස්කරන බවට අශෝක් විසින් කිසිදු දැනුම්දීමක් කර නැති බවද කියැවෙයි. අනෙක් අතින් බැලූ කල නියෝජ්‍ය ඇමැති අශෝක් විසින් මෙලෙස කඩිමුඩියේ ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු කැදවමින් සිටින්නේ එජාපය විසින් ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවල සම සභාපතිවරුන් මෙතෙක් නිල වශයෙන් නම් කර නොමැති තත්වයක් තුළ වීමද විශේෂත්වයකි. ඇමැති යාපා නැති අඩුව මැකෙන්නටදෝ අශෝක් විසින් කුරුණෑගල ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙම ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු දෙකෙහි රැස්වීම්වලට සහභාගී කරවාගෙන තිබිණි. ඒ අනුව කුරුණෑගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂනායක අජිත් ප‍්‍රියලාල් සහ මන්ත‍්‍රීවරුන් වන චමින්ද සෝමරත්න සහ මොහොමඞ් කියාස් ඇතුඵ මන්ත‍්‍රීවරු පිරිසක්ද මෙම සංවර්ධන කමිටු රැුස්වීම්වලදී අශෝක් සමග මුලසුන්වල අසුන්ගෙන සිටියහ. කෙසේ වෙතත් අශෝක්ගේ මේ හදිසි සංවර්ධන කමිටු කැදවිල්ල හේතුවෙන් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් ලෙස නම් කර සිටින එජාප – ශ‍්‍රීලනිප මැති ඇමැතිවරුන් ඉදිරියේදී එම තනතුරුවල කෙසේ කටයුතු කරනු ඇති දැයි වයඹ දේශපාලනය තුළ වැඩි වශයෙන් කතාබහකට ලක්වන මාතෘකාවක්ද නිර්මාණය කරන්නට සමත් වී තිබේ.

වේඩරුව ආතුර වෙයි.

ජනපති මෛත‍්‍රීගේ පළමු පදවි ප‍්‍රාප්තිය වෙනුවෙන් රාජ්‍ය සහ පුද්ගලික ආයතන විසින් සංවිධානය කළ වැඩසටහන් රාශියක් පසුගිය සති අන්තයේදී වයඹ පළාත පුරාම පැවැත්විණි. ජනපති මෛත‍්‍රීට සෙත්පැතීමේ අරමුණින් සංවිධානය කෙරුණු වැඩසටහන් ගණනාවක්ද ඒ අතර දැකගත හැකි වූ අතර වයඹ පළාත් සභාව විසින් ජනපතිට සෙත්පතන්නට තෝරාගෙන තිබුණේ වෙනස් මගක් ගත් වැඩසටහනකි. ඒ අනුව වයඹ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පසුගිය බ‍්‍රහස්පතින්දා පළාත් සභා සංකීර්ණ භූමියේදී සංවිධානය කර තිබුණේ සාම්ප‍්‍රදායික නවග‍්‍රහ පූජා බලි ශාන්තිකර්මයකි. පළාත් සභාවේ නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලෙහි බිම් මහලේ පිහිටි වාහන නැවතුමේදී මෙම බලි ශාන්ති කර්මය සූදානම් කර තිබිණි. කලෙකින් දැකගත නොහැකි දුලබ සංස්කෘතික සහ ආගමික අංගයක් වන මෙම බලි ශාන්තිකර්මයට යොදාගනු ලබන බලි රූප පහක් මැටියෙන් ඇඹීමේ කටයුත්ත බලි ශාන්තිකර්ම ශිල්පීන් එදින උදෑසන අට වන විට පළාත් සභා භූමියේදීම ආරම්භ කළහ. පිළිම ඇඹීම පියවරෙන් පියවර ඉදිරියට යද්දී එදින පළාත් සභාවේ සියලූ දෙනාගේ අවධානය දිනාගත් සුවිශේෂි කටයුත්ත බවටද පත් විය. බලි රූප ඇඹීමේ කටයුත්ත පස්වරු තුන පමණ වන විට අවසන් කළ බලි ඇදුරන් පිරිස අනතුරුව ඒවා වර්ණ ගැන්වීම ආරම්භ කළේ පළාත් සභාවේ විවිධ තරාතිරම්වල සේවක සේවිකාවන්ට ඊට සම්මාදම්වීමේ අවස්ථාවද ලබාදෙමිනි. තම තමන්ගේ සියලූ වස් දොස් දුරුවේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් පළාත් සභාවේ සුඵ සේවකයාගේ සිට අමාත්‍යංශ ලේකම්වරුන් දක්වා වූ සියලූ සේවක සේවිකාවෝ බලි රූප වර්ණ ගැන්වීමට එක් වී සිටියහ. මහාමාර්ග හා සමූපකාර අමාත්‍යංශයේ ලේකම් ඒ. ඩී. අමරසිරිද සෙනසුරු ඒරාෂ්ඨක බලිය පාට කිරීමට එක් වී සිටිනු දැක ගත හැකි විය. වර්ණ ගැන්වීම හමාර වූ පසු බලි රූප ඔසවා ශාන්ති කර්ම භූමිය සකස් කිරීමෙන් අනතුරුව බලි ඇදුරන් පිරිස බලි යාගය ආරම්භ කිරීමට සූදානම් වූහ. රාත‍්‍රී අටට බලි යාගය ඇරඹෙන බව කී නමුත් යාගය ඇරඹෙන විට රාත‍්‍රී නවයද පසු වූ අතර කලෙකින් දැකගත නොහැකි බලියක් දැකබලා ගැනීම සදහා සංස්කෘතික සහ වයඹ සංවර්ධන ඇමැති එස්.බී. නාවින්නද පළාත් සභාවට පැමිණ සිටියේය. බලිය ආරම්භවීමට ටික වේලාවකට පෙර එහි පැමිණි ඇමැති වේඩරුව සහ ඇමැති සන්ධ්‍ය බලි ශාන්ති කර්මයේ සූදානම දෙස බලා සිටියහ. යාගය සදහා සූදානම් කර තිබූ බලි රූපයක් පෙන් වූ ඇමැති සන්ධ්‍ය ‘‘අන්න අරක නම් ඔයා වගේම හදලා තියෙනවා ලක්ෂ්මන් ’’ යැයි කියමින් ඇමැති වේඩරුවට හීන් කැපිල්ලක් දැම්මේය. ‘‘හ්ම් , හ්ම්. මට වඩා ටිකයි තමා වෙනස් ’’ සන්ධ්‍යගේ කැපිල්ල එතරම් ඇගට ගත් බවක් නොපෙන්වූ ඇමැති වේඩරුව පෙරළා කීය. බලිය ආරම්භ වූයේ නාවින්න, ධර්මසිරි, වේඩරුව සහ සන්ධ්‍ය ආතුර පැදුරේ වාඩිකරවමිනි. පැයක් හමාරක් ගත වන විට ඇමැති නාවින්න බලියෙන් නැගිට ගිය අතර අනතුරුව ධර්මසිරිත්, සන්ධ්‍යත් නැගිටීම නිසා අන්තිමට වේඩරුව පැදුරේ තනි විය. ආතුර භූමිකාවට පැය කිහිපයක් තිස්සේ පණ දුන් ඇමැති වේඩරුව පැදුරෙන් නැගිට්ටේ රාත‍්‍රී දොළහට ආසන්න වෙමින් තිබියදීය. මහ ඇමැති ධර්මසිරිද පැදුරෙන් නැගිට ගිය නමුත් අලුයම එක පමණ වන තෙක්ම පළාත් සභා භූමියෙහි රැු`දී සිටිනු පෙනිණි. කෙසේ වෙතත් පසුදිනට එළිය වැටෙද්දී ඉතා අලංකාරවත් ලෙස පැවැත්වුණු බලි යාගය නිමා වූ අතර එය පළාත් සභාව පැත්තෙන් කලකට පසු සිදු කරුණු වටිනා කියන කටයුත්තක් සහ හොද වැඩක් ලෙසට සැමගේ පැසසුමට ලක් වී තිබිණි.

සන්ධ්‍යගේ ෆේස් බුක් ගිණුමේ කලු කොඩි දෙපැයක් !

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල විසින් ගෙන ගිය ජනවාරි අට වැනිදා කඵ කොඩි ප‍්‍රදර්ශණය කිරීමේ ව්‍යාපාරය එහෙම් පිටින්ම අසාර්ථක ව්‍යාපාරයක් බවට පත් වූයේ ඊට හිතූ තරමේ ප‍්‍රතිචාරයක් මහින්ද හිතවාදී පිරිස්වලින් පවා පලනොවීම හේතුවෙනි. වාහනවල, ගොඩනැගිලිවල පමණක් නොව ෆේස්බුක් ගිණුම්වල පවා කඵ කොඩි ප‍්‍රදර්ශණය කරන්නැයි ගම්මන්පිල විසින් ඉල්ලා සිටි නමුත් කඵ කොඩියක් දකින්නට ලැබුණු බව කියැවුණේ ගම්මන්පිලගේ වාහනයේ පමණකි. කඵ කොඩියක් සහිත ෆේස්බුක් ගිණුමක් දැකගත හැකි වූයේද එහෙමත් වෙලාවකය. ජනාධිපති පදවි ප‍්‍රාප්තිය යෙදුණු පසුගිය අට වැනිදා පස්වරුවේ ඇමැති සන්ධ්‍ය රාජපක්ෂගේ ෆේස්බුක් ගිණුමෙහි කඵ කොඩියක් ප‍්‍රදර්ශණය වන්නට පටන්ගෙන තිබුණේ මේ අල්ල පනල්ලේය. හිටපු ජනපති මහින්ද වෙනුවෙන් පෙනී සිටින කිසිදු මන්ත‍්‍රීවරයෙකු කඵ කොඩි විරෝධයට එක් නොවූ නමුත් අදටත් මහින්දවාදියෙකු ලෙස නම් දරා සිටින ඇමැති සන්ධ්‍ය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි කඵ කොඩියක් ප‍්‍රදර්ශණය කර තිබීම මහින්ද හිතවාදීන්ගේ උද්දාමයට හේතු වී තිබූ අතර ඒ නිසාම පැයක් ගෙවෙන්නටත් මත්තෙන් සන්ධ්‍යගේ ගිණුමේ තිබූ කඵ කොඩියට ෆේස් බුක් ප‍්‍රතිචාර ගලා එමින් තිබිණි. සන්ධ්‍යගේ නමින් ඇතුළත් වී තිබූ කඵ කොඩියට කැමැත්ත පළකරමින් 35 කට වැඩි පිරිසක් ලයික් හෙවත් කැමැත්ත සලකුණු කර තිබූ අතර , කඵ කොඩියට ප‍්‍රතිචාර දක්වමින් තිදෙනෙකු විසින් අදහස් දැක්වීම්ද,තවත් තිදෙනෙකු එය බෙදාහැරීමද සිදු කර තිබිණි. කඵ කොඩියට ලැබෙමින් තිබූ උණුසුම් ප‍්‍රතිචාරයන් හේතුවෙන්දෝ කඵ කොඩිය වැඩි වේලාවක් මුහුණු පොතෙහි රැදී තිබුණේ නැති අතර එය සන්ධ්‍යගේ ගිණුමට ඇතුළත් කර දෙපැයකට ගතවෙන්නටත් පෙර එය එම ගිණුමෙන් ඉවත් කරගෙන තිබිණි. මේ දෙපැයේ කඵ කොඩි දැමිල්ල ගැන වැඩිදුර සොයාබැලීමක් කරන්නට ‘අඵ යට ගිනි’ යොමුවන්නේ එහි ඇති කුතුහලය දනවන කරුණු කාරණා ගණනාවක් නිසාවෙනි. ඒ ජනපති මෛත‍්‍රී විසින්ම පිළිගැන්වූ ඇමැතිකමක් දරමින් සිටින ඇමැති සන්ධ්‍ය ජනපති පදවිප‍්‍රාප්තිය දිනයේදී කඵ කොඩි ඔසවන්නට ඉදිරිපත්වෙයිද යන සාධාරණ සැකය මෙන්ම සන්ධ්‍ය අමාරුවේ දැමීමේ අරමුණින් කිසිවෙකු විසින් සැලසුම් සහගතව මේ කඵ කොඩි දැමිල්ල සිදු කළාදැයි තවත් අතකින් සාධාරණ සැකයක් මතුවීම නිසාවෙනි. ඒ නිසාම අදාළ ගිණුම ඇමැති සන්ධ්‍යගේ නමින් පවත්වාගෙන යන ව්‍යාජ එකක් දැයි ‘අඵ යට ගිනි’ විසින් කළ වැඩිදුර සොයාබැලීමකදී තහවුරු වූයේ එය ව්‍යාජ ගිණුමකට වඩා ඇමැති සන්ධ්‍ය විසින් හෝ ඔහුගේ අනුදැනුම ඇතිව පවත්වාගෙන යන එකක් වීමට ඉඩකඩ ඇති බවයි. මන්ද ඇමැති සන්ධ්‍ය සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ආදියේ ඡායාරූප මෙන්ම නව වසරට , නත්තලට සුබ පතමින් සන්ධ්‍යගේ නමින් එහි තබා ඇති සටහන් බොහෝ ප‍්‍රමාණයක් එම ගිණුමෙහි ඇතුළත් වී තිබීම හේතුවෙනි. කෙසේ වෙතත් සන්ධ්‍යගේ ගිණුමේ කඵ කොඩි එසවීම සහ ක්ෂණිකව එම කොඩිය ඉවත්වී සම්බන්ධයෙන් සිදු වෙන්නට ඇති බවට අනුමාන කළ හැකි තත්වය වන්නේ තෙවැනි පාර්ශ්වයක් විසින් අදාළ කඵ කොඩි එසවීම කරන්නට ඇති බවකි. එය ඇමැති සන්ධ්‍යාගේ ගිණුම හැක් කිරීමක් හෙවත් අනවසර ඇතුඵවීමක් වැනි බරපතල ගණයේ තත්වයක් නොවීමට වැඩි ඉඩකඩක් ඇති අතර ඇමැති සන්ධ්‍යගේ ෆේස් බුක් ගිණුම මෙහෙයවන අයෙකුගේ අතින් සිදු වූ අතපසුවීමක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

කුරුණෑගල නාගරික මන්ත‍්‍රීවරු පදවිප‍්‍රාප්ති උත්සව වර්ජනය කරති.

ජනපති පදවිප‍්‍රාප්තිය වෙනුවෙන් සංවිධානය කුරුණෑගල මහ නගර සභාවේ මෙහයවීමෙන් සංවිධානය කර තිබූ ප‍්‍රධානම උත්සවය වූයේ රුක් රෝපණ වැඩසටහනකි. ප‍්‍රධාන වැඩසටහන කීවාට ඒ හැර ජනපති පදවිප‍්‍රාප්තිය වෙනුවෙන් වෙනත් සුවිශේෂී වැඩසටහනක් නගර සභාව මගින් සංවිධානය කෙරුණු බවකුත් දැනගන්නට නැත. සිකුරාදා උදෑසනින්ම පැළ සිටුවීමට නියමිතව තිබූ චතුරස‍්‍ර මාවතේ පිහිටි නගර සභා සෞඛ්‍ය ඩිපෝ භූමිය වෙත ගිය විපක්ෂ නායක වරුණ පේ‍්‍රමරත්නගේ ඇස් උඩ ගියේ මන්ත‍්‍රීවරයෙකු ලෙස එම ස්ථානයට පැමිණ සිටියේ තමන් පමණක් බව දැකීම හේතුවෙනි. වරුණ හැර කුරුණෑගල මහ නගර සභාව නියෝජනය කරන අනෙක් සියඵ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් පදවිප‍්‍රාප්ති සැමරුම් පැළ සිටුවීම වර්ජනය කර ඇති බවක් පෙනෙන්නට තිබිණි. වෙනකක් තබා කුරුණෑගල නගරයේ පළමු පුරවැසියා සහ නගර සභාවේ ප‍්‍රධානියාද වන නගරාධිපති ගාමිණී පෙරමුණගේ පවා රුක් රෝපණ වැඩසටහන මග හැර ගිය බවක් පෙනෙන්ට තිබිණි. කෙසේවෙතත් පැළ සිටුවීමට පැමිණ සිටි නගර සභාවේ රාජ්‍ය නිලධාරීන් සමග එක්ව පැල රෝපණය කළ විපක්ෂ නායක වරුණ ඊළගට සිය ජංගම දුරකථනයෙන් ඇමැතුමක් ගත්තේ නගරාධිපති ගාමිණී පෙරමුණගේටය. ‘‘මොකද නගරාධිපතිතුමා මේ රුක් රෝපණ වැඩසටහනට ආවේ නැත්තේ ? ’’ වරුණ ඇසීය. අනේ මට ඕවා වැඩක් නෑ. ඔයිට වඩා වැදගත් වැඩ වගයකට යන්න තිබුණා. මම ඒ වැඩ ටික කරගත්තා.’’ යැයි නගරාධිපති ගාමිණී කීය.

අශෝක් ලංගමේට නගී.

අලව්ව, යන්තල්ගොඩ ප‍්‍රදේශයේ තාර දමා නවීකරණය කරන ලද මාර්ගයක් විවෘත කිරීම සහ නව බස් රථයක් ධාවනයට යෙදවීම වෙනුවෙන් පැවැති උත්සවයකට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහභාගී වූයේ පසුගිය ඉරිදාය. කුරුණෑගල ආසනය නියෝජනය කරන අශෝක් දඹදෙණියේ පාරවල් විවෘත කරන්නට යාම පිටුපස ඇත්තේද අපූරු කතාවකි. දින සියයේ වැඩසටහන යටතේ සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා පසුගිය වසරේ අග භාගයේදී සෑම මැතිවරණ කොට්ඨාශයකටම රුපියල් මිලියන තිහක මුදලක් රජයෙන් ලබා දුන් අතර ඉකුත් නොවැම්බර් මාසයේදී පමණ අශෝක්ට දැනගත හැකි වී ඇත්තේ දඹදෙණිය මැතිවරණ කොට්ඨාශයෙන් එම මුදල සදහා කිසිදු සංවර්ධන කටයුත්තක් නම් කර නැති බවකි. එසැනින් මග නැගුම අධ්‍යක්ෂවරයා අමතා එවකට දැඩි අබලන් තත්වයක පැවැති මාරගහ සිට රත්තරන්හේන දක්වා දිවෙන මෙම මාර්ගය නවීකරණය කිරීම පිණිස අදාළ මුදල කරවාගැනීමට අශෝක් සමත් විය. අශෝක් අතින් පසුගිය ඉරිදා විවෘත කෙරුණේ 2015 වසර නිමවෙන්නට පෙර මාස එක හමාරක් වැනි කෙටි කාලයකදී කඩි මුඩියේ ඉදිකිරීම් නිමකරන ලද ලද එම මාර්ගයයි. දඹදෙණියේ දේශපාලඥයින් යහපාලන සිහිනයේ ගිලී නින්දට වැටී සිටියදී කිසිදු ප‍්‍රයෝජනයකට නොගෙන වසර අගදී ආපසු භාණ්ඩාගාරය වෙත යන්නට තිබූ මුදලකින් ඇග තලාගන්නේ නැතිව ගමන් කළ හැකි පාරක් ජනතාවට හදාදීමට මෙන්ම ඉදිරි මැතිවරණයකදී සිය මනාප මල්ලද තව ටිකක් තරකර ගැනීම පිණිසද අශෝක් විසින් සූක්ෂ්ම ලෙස කටයුතු කර තිබුණේ එලෙසිනි. මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව යන්තල්ගොඩ සිට අලව්ව දක්වා ධාවනය කෙරෙන බස් රථයක් ධාවනයට යෙදවීමටද අශෝක් එක්විය. අලූත් ගමන් වාරය ඇරඹීම වෙනුවෙන් ලංගම බස් රථයක් අලව්ව ඩිපෝවෙන් ලබා දී තිබූ අතර එහි මංගල ගමන ආරම්භ කිරීම සදහා නියෝජ්‍ය ඇමැති අශෝක් ඊට ගොඩ විය. අලව්ව ප‍්‍රාදේශිය සභාවේ හිටපු මන්ත‍්‍රී මෙන්ම අශෝක්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන සමන්ත යන්තල්ගොඩද තමා අසලින්ම හිදුවාගනිමින් බස් රථයේ අසුනක වාඩි වූ නියෝජ්‍ය ඇමැති අශෝක් විසින් පළමු ටිකට්පතද මිලදී ගත්තේය. යන්තල්ගොඩ සිට අලව්ව දක්වා බස් රථයක් ධාවනයට යෙදවීම සමන්ත යන්තල්ගොඩගේ සිහිනයක් වී තිබූ අතර ඔහුට එම සිහිනය සැබෑ කරගැනීම සදහා අශෝක් ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති පුටුවේ වාඩිවෙන තුරුම බලා සිටීමට සිදු විය. කෙසේ වෙතත් සිය සිහිනය සැබෑ කරදීම වෙනුවෙන් සමන්ත යන්තල්ගොඩ විසින් උත්සව වේදිකාවේදීම අශෝක්ට ගෞරව දැක් වූයේ අශෝක් ඉදිරියේ දණ ගසා වැදීමෙනි.

කැටවලගෙදර දෙගිඩියාවෙන්

කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර පසුගිය සෙනසුරාදා වයඹ පළාතේ මාධ්‍යවේදීන් මුණගැසුනේ කුලියාපිටියේදීය. වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ මාසික රැස්වීම නිමවීමෙන් පසුව මාධ්‍යවේදීන් සමග සුහද හමුවකට එක් වූ කැටවලගෙදර හිටපු සභාපතිවරයාට මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න වැළක්ම එල්ල විය. ‘‘ඔබතුමා ඉදිරි මැතිවරණයට තරග කරන්න හිතාගෙන ඉන්නේ කොයි පැත්තෙන්ද ? ’’ එක් මාධ්‍යවේදියෙකු කැටවලගෙදරගෙන් සෘජුවම ප‍්‍රශ්න කළේය . පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ශ‍්‍රීලනිපයට ආයුබෝවන් කියා එජාපයට එක් වූ කැටවලගෙදරගෙන් ‘මම යු ඇන් පී එකෙන් ඉල්ලනවා’ යැයි කියන පිළිතුර මාධ්‍යවේදීන් විසින් හැරෙන තැපෑලෙන් බලාපොරොත්තු වූ නමුත් කැටවලගෙදරගේ මුවින් පැන්නේ ඊට හාත්පසින්ම වෙනස් පිළිතුරකි. ‘‘මම පහුගිය මැතිවරණ කාලයේදී එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වුණේ මහින්ද රාජපක්ෂ ඇතුඵ රාජපක්ෂවරුන් පරාජය කරලා මේ රට විනාශය දක්වා යන එක එක වළක්වන්න ඕන නිසයි. ඒ වගේම කුලියාපිටියේ ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා ඇමැතිවරුන්ගෙන් මට එල්ල වෙච්ච හිරිහැර සහ කරදරත් මට මේ වගේ තීන්දුවක් ගන්න හේතු වුණා. ඒ නිසා මට ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය එක්ක එකතුවෙන්න ඇරෙන්න වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට මහින්ද රාජපක්ෂ පරාජය කරලා ගෙදර යවලත් ඉවරයි. ඒ වගේම මට තිබුණු හිරිහැර සහ කරදරත් යම් තරමකින් අඩුවෙලා තියෙනවා. ඒ නිසා මමත් එක්ක ඉන්න මිනිස්සු විශේෂයෙන් මට උදව් කරන මිනිස්සු මම එදා ගත්තු තීරණය ගැන ආයෙම සලකලා බලන්න කියලා මේ වෙද්දී මට කියනවා. ඒ නිසා මම ඡන්දය ඉල්ලන්නේ කොයි පක්ෂයෙන්ද කියන එක නම් මට දැන්ම කියන්න බැහැ. නමුත් මට එක දෙයක් කියන්න පුලූවන්. මිනිස්සු මට ඉල්ලන්න කියන්නේ කොහෙන්ද, මම ඒ පක්ෂයෙන් ඉදිරි ඡන්දෙට ඉදිරිපත් වෙනවා. ’’ කැටවලගෙදර කීය. ඒ අනුව පසුගිය මැතිවරණ සමයේදී ඇමැති අකිලගේ කපුකමක ප‍්‍රතිඵලයක් ලෙස එජාපය පැත්තට කරණමක් ගැසූ නමුත් කැටවලගෙදර සිය ඉදිරි දේශපාලන ගමන එජාපය සමගම යයිදැයි සැක සහිතය.alu_yata_gini_ jan14_1

උපුටාගැනීම – මව්බිම පුවත්පත , 2016 ජනවාරි 14 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article