නාරම්මල , බිහල්පොල රජමහා විහාරයෙන් සොරා ගත් සධාතුක කරඩුවක්, ඇත් දළ යුවළක් හා පෞරාණික බුදු පිළිම වහන්සේ ඇතුඵ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පූජා භාණ්ඩ තොගයක් තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සූදානමින් සිටි බව කියන පල් හොරුන් දෙදෙනකු එම පූජා භාණ්ඩද සමග කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන එකකය විසින් අත්අඩංගුවට ගෙන සිටිති.
ඇබිත්තයින් දෙදෙනෙකු බව අගවා මීට දින කිහිපයකට පෙර බිහල්පොල රජමහා විහාරස්ථානයේ ආවතේව කටයුතු සදහා බව කියමින් පැමිණ එහි නැවතී ඇති මෙම පල් හොරුන් දෙදෙනා පසුගිය දිනෙක විහාරයේ ධාතු මන්දිරය කඩා එහි තැන්පත් කර තිබූ ධාතු කරඩුව, අඩි 4 ක් පමණ දිගින් යුත් ඇත් දළ යුවලක්, ඉපැරණි බුදු පිළිම 07ක්, නයි පෙන 01ක් සහ හක් ගෙඩි දෙකක්ද සොරාගෙන පලා ගොස් තිබේ. සොරාගත් භාණ්ඩ තඹුත්තේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට සූදානම් වන බවට පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය විසින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව කංකානියමුල්ල රක්ෂිතයේ සගවා තිබූ පූජා භාණ්ඩ සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පිටිය හා තඹුත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වන අතර එක් සැකකරුවෙකු ගිනි අවි පෙන්වා නිවෙස් මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණ ගණනාවකින් වරෙන්තු නිකුත් කර සිටින අයෙකු බව පොලිසිය කියයි.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර