Friday, November 22, 2024

සාලින්ද මරුටියට බහී ! ‍

Must read

alu_yata_gini_nov11B

අශෝක්ගෙන් හයේ පහරක් !

දේශපාලන පොර පිටියේදී නොනවතින තරගයක යෙදී සිටින දේශපාලනඥයින් ඉන් මොහොතකට මිදී සැබෑ ජීවිතයට පා තබන අවස්ථා කලාතුරකින් වුවත් දැකගත හැකි වෙයි.ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහටද පසුගිය සෙනසුරාදා එවැනි අවස්ථාවක් උදා වී තිබිණි.නාරම්මල මයුරපාද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් එදින සංවිධානය කර තිබූ ක‍්‍රිකට් තරගාවලියක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ඇරයුම් ලබා සිටියේ මයුරපාද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන නියෝජ්‍ය ඇමැති අශෝක්ය.එදින උදෑසනින්ම මයුරපාද පිටිය වෙත ගිය අශෝක්ගේ ප‍්‍රධානත්වයෙන් ජාතික සහ පාසල් ධජ එසවීමෙන් පසුව උත්සවය ආරම්භ කෙරිණි.තම කතාවේදී අතීත මතකයන්ද අවදි කළ අශෝක් තමන්ගේ අතීත ක‍්‍රීඩා හැකියාවන් ගැනද සිහිපත් කළේය.1976 වසරේ වයඹ පළාත් කඩුඵ පැනීමේ ශූරයා බවට පත් වූයේ තමන් බවටත්,මයුරපාද විද්‍යාලයේ චන්ද්‍ර නිවාසයේ ක‍්‍රීඩා නායකයා වූයේද තමන් බවත් අශෝක් එහිදී කීය.සංඛේතාත්මක ලෙස පන්දුවකට පහර දී ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරන්නැයි අනතුරුව සංවිධායකයින් විසින් කළ ආරාධනාව පිළිගත් අශෝක් තමන් වෙත ලැබුණු ක‍්‍රිකට් පිත්තද හරවා බලමින් විකට්ටුව අසලට ආවේය.එහා විකට්ටුවේ සිට ක‍්‍රීඩකයෙකු එවූ පළමු පන්දුව අශෝක්ට මග හැරී ගිය අතර,දෙවැනි පන්දුවට තට්ටුවක් දමමින් අශෝක් විසින් ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේය.පන්දු එවූ ක‍්‍රීඩකයා විසින් එවූ තුන් වැනි පන්දුවේදී හුරුපුරුදු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු මෙන් අඩි දෙක තුනක් ඉදිරියට පැන ආ නියෝජ්‍ය ඇමැති අශෝක විසින් දැවැන්ත හයේ පහරක් එල්ල කළේ රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් මධ්‍යයේය.

ඇමැති වේඩරුව හොදම නැට්ටුවා වෙයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමක් පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේදී පැවැත්වුණේ කුරුණෑගල නගර මධ්‍යයේ පැවැති හෝටලයකදීය.පළාත් සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වේඩරුවද ඊට සහභාගී වී සිටියේ මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර මේ වන විට දරමින් සිටින්නේ වේඩරුව විසින් වන බැවිනි.කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සංවිධායක මණ්ඩලය විසින් සූදානම් කර තිබූ වාර්ෂික සුහද සාදය ඇරඹිණි.සංගීත කණ්ඩායමක් සහ නර්තන කණ්ඩායමක් විසින් රස ගැන්වුණු සාදය සතුටු සිනා මැද ඉදිරියට ඇදී යද්දී ‘බෙස්ට් ඩාන්සර්’හෙවත් හොදම නැට්ටුවා තේරීමේ තරගයක් ආරම්භ කරන බව එහි සංවිධායකයින් විසින් නිවේදනය කළහ. ඒ අනුව සංගීත කණ්ඩායමෙන් සැපයුණු සංගීතයට අනුව සාදයේ සිටි සියලු දෙනා නර්තනයේ යෙදෙන්නට වූහ.තමා පැළැද සිටි කබාය ගලවා පසෙකින් තැබූ ඇමැති වේඩරුවද නර්තනයේ යෙදුණු පිරිස අතරට එක් වූයේ ඔය අතරවාරයේදීය.ටික වේලාවක් ගලා ගිය නර්තනය අතරවාරයේ හොදම නර්තකයින් පස් දෙනෙකු තෝරාගැණුනු අතර ඇමැති වේඩරුවද ඒ අතර විය.අනතුරුව එම නර්තකයින් පස් දෙනාට සංවිධායක මණ්ඩලයෙන් පැවැරුණු අභියෝගය වූයේ යුගළ නර්තනයක යෙදීමයි.අභියෝගය භාරගත් පිරිස ඔවුන්ට සහයවීම පිණිස ලබා දුන් නර්තන කණ්ඩායමේ ශිල්පිනියන් පස් දෙනාද සමග යුගළ නර්තනයක් ආරම්භ කළ අතර තමන් දේශපාලනයේ පමණක් නොව නර්තනයෙහිද වැඩකාරයෙකු බව රැස්ව සිටි පිරිසගේ ඇස් පනාපිටම ඔප්පු කරවීමට ඇමැති වේඩරුව එහිදී සමත් විය.කෙසේ වෙතත් සැලකිය යුතු වේලාවක් තිස්සේ ඇදී ගිය නර්තනය නැවතුණේ ජයග‍්‍රාහකයින් තෝරාගත් බවට සංවිධායකයින් විසින් කළ දැනුම්දීම අනුවය.අනතුරුව සංවිධායකයින් විසින් ජයග‍්‍රාහකයින් නිවේදනය කළ අතර බොහෝදෙනෙකු සිතූ පරිදිම හොදම නැට්ටුවා ලෙස ජයග‍්‍රහණය කර තිබුණේ ඇමති වේඩරුවය.හොදම නැට්ටුවාට හිමි ත්‍යාගය ඇමති වේඩරුවට පිරිනැමුණේ මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති චන්දන ගුරුගේ අතිනි. හොදම නැට්ටුවා ලෙස ඇගයීමට ලක් වූ ඇමැති වේඩරුවට සාදයේ සිටි සෙසු පිරිසගෙන් ලැබුණු ප‍්‍රතිචාර බොහෝ ඉහළ විය.”දේශපාලනය කරනවාට වැඩිය හොදට ඔයාට නටන්න පුලූවන්නේ ලක්ෂ්මන් අයියේ !. ” සාදයේ සිටි බොහෝ දෙනෙකු වේඩරුවට කීහ.

සාලින්ද මරුටියට බහී.

මහින්ද පිලේ මුල් කණු ලෙස සැලකෙන මන්ත‍්‍රීවරුන් ගණනාවක් නුදුරේදීම එම පිළෙන් ගැළ වී රජයට එක්වනු ඇති බවට ආරංචි පැතිරයන පසුබිමක ප‍්‍රබල මහින්දවාදියෙකු ලෙස නම් දරා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක තමන් අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශකරන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළේ තමන් තවදුරටත් මහින්ද සමග බව රටටම අගවන්නට මෙනි.මීට මාස කිහිපයකට පෙර කැබිනට් ඇමැතිවරයෙකු ලෙස සිටියදී ලෑන්ඞ් රෝවර් රථයකින් සිය ගමන් පහසුව සලසාගත් සාලින්ද මේ වන විට සිය ගමන් බිමින් සදහා පාවිච්චි කරමින් සිටින්නේ සරල ,අඩු මිල මෝටර් රථයක් වන මරුටි වර්ගයේ රථයකි.බොහෝ විට මන්ත‍්‍රී සාලින්ද විසින්ම තමන්ට අවශ්‍ය තැනට පදවාගෙන යනු ලබන මෙම මරුටි රථයෙන් මන්ත‍්‍රී සාලින්දගේ පාර්ලිමේන්තු ගමන පිරිමැසෙයි.ඒ නිසාම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් පවා සාලින්දගේ මරුටිය දුර තියාම හදුනාගැනීමට මේ වනවිට සමත් වී ඇති බව කියැවෙයි.”අපේ ලොක්කා ඇමැතිකම් කරන කාලේදීත් තනි වාහනේ ආව ගිය මිනිහනේ. ලොක්කට මරුටියත් එකයි. බෙන්ස් එකත් එකයි. ” මරුටිය ගැන ඇදුණු කතාවකදී සාලින්දගේ සමීපතමයෙකු කීය.සාලින්දගේ මරුටිය සමග බැදුණු අපූරු සිදුවීමක් පසුගිය සතියේදී සිදුවිය.ගනේවත්ත ප‍්‍රදේශයේ පැවැති සිය හිතවතෙකුගේ අවමගුලකට සහභාගීවීම පිණිස පසුගිය දිනෙක සාලින්ද ගොස් තිබුණේද මෙම මරුටි රථයෙනි.මළ ගෙදර තරමක වේලාවක් ගත කළ සාලින්ද සිය මරුටියේම නැගී මළගෙදරින් පිටත් විය.සාලින්ද පිටත් වී ගොස් ටික වේලාවකට පසුව මිල අධික ෂැවලට් වර්ගයේ රථයක් පෙරටුකරගත් රථ පෙළක් එම මළගෙදර ඉදිරිපිට නතර විය.ෂැවලට් රථයෙන් බැස මළගෙදරට පා තැබුවේ සාලින්දගේ දේශපාලන ප‍්‍රතිවාදියෙකු වන හිරියාල එජාප සංවිධායක ජගත් යාපාය.

ශාන්ත බණ්ඩාරටත් පිදුරු ගහක් !

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරට ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක යනුවෙන් වූ නව තනතුරක් පිරිනැමුණේ පසුගිය සතියේදීය.අගෝස්තු මාසයේදී පැවැති මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ශාන්ත බණ්ඩාරට සන්ධාන මනාප ලැයිස්තුවේ හිමි වූයේ 09 වැනි ස්ථානයයි.පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමන් හා එක්වන්නැයි ජනාධිපති අපේක්ෂක මෛත‍්‍රී විසින් අලව්වේදී කළ ප‍්‍රසිද්ධ ආරාධනාව පවා නොතැකූ ශාන්ත බණ්ඩාර මහින්ද රාජපක්ෂ පාලනය වෙනුවෙන් අඛණ්ඩවම පෙනී සිටියේය.ඒ කෙසේ වෙතත් ජනපති මෛත‍්‍රී එම ධූරයට පත්වීමෙන් පසුව පිහිටුවා ගැණුනු ජාතික ආණ්ඩුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිකමට කර ගැසූ ශාන්ත බණ්ඩාරට ඒ අනුහසින්ම මහින්ද පාක්ෂිකයින්ගේ දැඩි විරෝධය ලක්වන්නට සිදු විය.මහ මැතිවරණයේදී ශාන්ත බණ්ඩාරගේ පරාජයට පාර කැපුණේද මේ හේතුවෙන් බව බොහෝ දෙනෙකුගේ අදහස වෙයි.පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් තරග කළ හිටපු ජනාධිපති මහින්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරය භාරගැනීම ප‍්‍රතික්ෂේප කළේ නම් මනාප ලැයිස්තුව අනුව ශාන්ත බණ්ඩාර මහතාට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලැබීමට තිබිණි. නමුත් මහින්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමත් සමග ශාන්ත බණ්ඩාරට එම බලාපොරොත්තුවද අත්හැර ගැනීමට සිදු විය. මැතිවරණ පරාජයෙන් පසුව පසුගිය කාලයේදී දේශපාලනය තුළ වැඩිපුර දැක ගත නොහැකි වූ ශාන්ත බණ්ඩාරට ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂක යනුවෙන් ලැබී ඇති නව තනතුරින් ,ජනාධිපතිවරයා යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමේ වගකීම පැවැරී ඇති බවක් කියැවෙයි.නමුත් ජනාධිපතිවරයා යටතේ සෘජුව ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති මහ ගණනක් කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ නැති බැවින් අදාළ තනතුර නාමමාත‍්‍රික තනතුරක් බවට මේ වන විටම පත් වී තිබේ.එමෙන්ම ශාන්ත බණ්ඩාර ඇතුඵ පිරිසකට ලබා දුන් මෙම ව්‍යාපෘති අධ්‍යක්ෂක පත්වීම් හරහා යළිත් වරක් පරාජිතයින්ට තනතුරු ලබාදී ඇති බවට ෆේස් බුක් ඇතුඵ වෙබ් අඩවි හරහා මේ වන විට දැඩි ලෙස විවේචනය වෙමින් පවතී.

මහින්ද කැපෙයි. අලවතුවලයි, දයාසිරියි පුටුව බෙදා ගනී.

මීට සති කිහිපයකට පෙරදී මහත් කසුකුසුවක් ඇති කරවන්නට සමත් වූ තනතුරක් පිළිබද පත්කිරීමක් පසුගිය සතියේදී වැඩි සද්ද බද්දයක් නැතිවම සිදු වී තිබේ.ඒ කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුර පිළිබද පත්කිරීමය. මහමැතිවරණය නිම වී නව රජය පිහිටුවීමෙන් පසුව අදාළ දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කළ පක්ෂයේ වැඩිම මනාපලාභියාට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කටිටුවේ සභාපති ධූරය පිරිනැමෙන බවටත්,එම තනතුර වෙනුවෙන් වෙනම කාර්යාලයක්, නිල වාහනයක් සහ කාර්ය මණ්ඩලයක් ඇතුඵව කැබිනට් අමාත්‍ය තනතුරකට සමාන බලතල ලබාදීමට නියමිත බවටත් රජය විසින් නිවේදනය කිරීමත් සමගම මුඵ ලංකාවේම ඇස් යළිත් වතාවක් කුරුණෑගල පැත්තට හැරවිණි.ඒ පසුගිය මැතිවරණයේදී දිස්ත‍්‍රික්කය ජයග‍්‍රහණය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයවීමත්,එහි වැඩිම මනාපලාභියා වූයේ හිටපු ජනපති මහින්ද වීමත් නිසාවෙනි.නමුත් මහින්ද පමණක් නොව,වෙනත් දිස්ත‍්‍රික්කවල මුල්තැන්වලට පැමිණ සිටි මහින්දට හිතවත් මන්ත‍්‍රීවරුන් පවා දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම් එකහෙළා ප‍්‍රතික්ෂේප කිරීම තුළ මනාප ලැයිස්තුවේ ඊළගට සිටි මනාපලාභීන් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුරු පිළිබදව බලාපොරොත්තු වඩවන්නට වූහ.එයිනුත් හොද හොද සෙල්ලම් දැකගත හැකි වූයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුර වෙනුවෙනි.මහින්ද විසින් සභාපති ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ඒ පිළිබදව වැඩිපුරම බලාපොරොත්තු ඇතිකරගෙන සිටියේ ක‍්‍රීඩා ඇමැති දයාසිරි විසිනි.තමන්ට දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම ලැබුණහොත් එය භාරගන්නා බවට ඇමැති දයාසිරි විසින් මාධ්‍ය ආවරණයක් නොලැබුණු රැස්වීම් කිහිපයකදීම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබිණි.අනික් අතින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ්ද දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුර පිළිබදව ඇහැගසාගෙන සිටින බව කියැවුණේ මහින්ද ළගට දිස්ත‍්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් මෙන්ම එජාපයේ වැඩිම මනාපලාභියා වූයේද තමන්ය සටන් පාඨය පෙරදැරි කරගනිමිනි.මේ දෙදෙනාටම වඩා කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුර දිනාගැනීම උදෙසා ප‍්‍රබල සටනකට බැස සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලය. මනාප ලක්ෂයකට වඩා ලබාගත් නමුත්,ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීත් තමාගේ ආසනය ඉහළින්ම ජයග‍්‍රහණය කරවා දුන් නමුත්,අලුත් ආණ්ඩුවේ කිසිදු තනතුරක් තමන්ට නොලැබීමෙන් වැඩිම අසාධාරණයකට ලක් වූයේ තමන් බවට අලවතුවල විසින් ප‍්‍රසිද්ධියේම කීවේය.එබැවින් කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තනතුර ලැබීමට හොදම සුදුස්සා තමන් බව කී අලවතුවල ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගත්තේය.කෙසේ වෙතත් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු සම්බන්ධයෙන් බොහෝ දිස්ත‍්‍රික්කයන් තුළ පැවැති වියවුල් හේතුවෙන් එම තනතුර සම සභාපති තනතුරක් ලෙස පිහිටුවීමටත්,අදාළ දිස්ත‍්‍රික්කයේ මහ මැතිවරණයේදී පළමු සහ දෙවැනි තැන දිනාගත් පක්ෂවල මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු සම සභාපතිවරුන් ලෙස නම්කිරීමටත් ජනාධිපතිවරයා අගමැතිවරයා එකගත්වයකට පැමිණි බවට වාර්තා විය.ඒ අනුව එම දෙපළගේ අනුමැතියද සහිතව කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් පසුගිය සතියේදී නම් කරනු ලැබූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පැත්තෙන් සම සභාපති පත්වීම ලැබුවේ ක‍්‍රීඩා ඇමැති දයාසිරිය.එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් සම සභාපති තනතුර සදහා නම් කරනු ලැබුවේ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවලය. ඒ අනුව එක් අතකින් ඇමැති දයාසිරිගේ යටි හිතේ තිබූ බලාපොරොත්තුවක් ඉටු වී ඇති අතර අනෙක් අතින් මන්ත‍්‍රී මන්ත‍්‍රී අලවතුවලගේ මාස ගණනක සටනද මල්ඵල දරා ඇති බවත් පෙනෙයි.අදාළ පත්වීම් පිළිබදව එළැඹෙන සතියේදී නිල නිවේදනයක් නිකුත්වීමට නියමිත අතර ඒ අනුව අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවත්වා නොමැති කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව එම අලවතුවල සහ දයාසිරිගේ සම සභාපතිත්වය යටතේ නුදුරු දිනයකදීම යළි රැස් වෙනු ඇත. ඒ අනුව පළාත් සභාවේ සිටින කාලයේදී මහ ඇමැති සහ විපක්ෂ නායක වශයෙන් දෙපිළ බෙදී ගැටුම් ඇතිකරගත් ප‍්‍රතිවාදී චරිත දෙකක් ලෙස නම් දරා සිටින අලවතුවල සහ දයාසිරි දෙපළට දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් එක් මතයක පිහිටා තීන්දු තීරණ ගැනීමට සිදුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව සම සභාපතිත්වය දයාසිරිට අඵත් අත්දැකීමක් නොවන්නේ මීට පෙර පැවැති සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිත්වයක් එවකට ඇමැති ජොන්ස්ටන් සමග එක්ව දයාසිරි විසින් හොබවනු ලැබ තිබීම නිසාය.ඒ අර්ථයෙන් බැලූවහොත් ඇමැති දයාසිරිට හැමැදාමත් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිත්වය හොබවන්නට සිදු වී ඇත්තේ තමන්ගේ ප‍්‍රතිවාදියෙකු සමගමය.

එජාප මන්ත‍්‍රී සාදයේදී වයඹ මන්ත‍්‍රීවරු වැඩ පෙන්වති.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ වැඩමුඵවක් පසුගිය සති අන්තයේදී පැවැත්වුණේ බෙන්තොට තාජ් හෝටලයේදීය.වැඩමුඵවට සහභාගී වී සිටි මන්ත‍්‍රීවරුන් එක් පිරිසකට පමණක් නවාතැන් සූදානම් කර තිබුණේ ඊට නුදුරින් පිහිටි බෙන්තොට ක්ලබ් හෝටලයේය.මුහුද මැද පිහිටා ඇති බෙන්තොට ක්ලබ් හෝටලය වෙත මන්ත‍්‍රීවරුන්ට යාම් ඊම් කිරීමට සිදු වූයේ බෝට්ටුවක නැගීගෙනය.නාවික හමුදාවේ මුර යාත‍්‍රා දෙකක් මගින් ආරක්ෂාව සැපයුණු බෝට්ටුවකින් නැංවුණු එජාප මන්ත‍්‍රීවරුන් පිරිස බෙන්තොට ක්ලබ් හෝටලය දක්වා සුරක්ෂිතව ප‍්‍රවාහනය කිරීම සිදුවිය.කෙසේවෙතත් වැඩමුඵවට පෙර දිනයේදී ඊට සහභාගීවීමට පැමිණ සිටි මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් කොක්ටේල් සාදයක් සංවිධානය කර තිබූණේ බෙන්තොට තාජ් හෝටලයේදීය.බෙන්තොට ක්ලබ් හෝටලයේ නවාතැන්ගෙන සිටි මන්ත‍්‍රීවරුන් පිරිසද බෙන්තොට තාජ් හෝටලය වෙත පැමිණීමෙන් අනතුරුව හරියටම රාත‍්‍රී 8 වෙද්දී සාදය ආරම්භ විය.ආරම්භයේදී සන්සුන් ලෙස ඉදිරියට ගිය සාදය රාත‍්‍රී නවය පසුවන විට තමන්ගේ පාලනයටගත් මන්ත‍්‍රීවරු සිය ගායන සහ නර්තන හැකියාවන් ප‍්‍රදර්ශණය කරන්නට වූහ.ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ලෙස සිය හැකියාවන් දක්වමින් ,සාදය පුරා සිය අණසක පතුරවන්නට වයඹ පළාත නියෝජනය කරන එජාප මන්ත‍්‍රීවරුන් සමත් වූහ.ඈලි මෑලි ලෙස ඇදී ගිය සාදය පිබිදී ආවේ මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් හා පුරා කියා ගැයූ ගීතයෙනි.හෙක්ටර්ගේ ගීතයට අනුබල දෙමින් ඒ අනුව නර්තනයේ යෙදෙන්නට ඉදිරිපත් වූයේ මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල, නියෝජ්‍ය ඇමැති සුජිව සේනසිංහ ඇතුඵ පිරිසකි. නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහද විටින් විට පැමිණ නර්තනයට හවුල් වනු පෙණිනි. හෙක්ටර් විසින් ලබා දුන් ගැම්ම තවත් ඉදිරියට ගෙන යමින් මන්ත‍්‍රී තුෂාර ඉදුනිල්ද ගීතයක් ගයමින් සාදය රස ගැන්වීය.මන්ත‍්‍රී නලින් බණ්ඩාර සාදයේ නිවේදන භූමිකාවට පණ පොවන්නට ආවේ ඔය අතරවාරයේදීය.කාන්තා කටහඩකින් ගීතයත් අසන්නට මන්ත‍්‍රී නලින් විසින් ඇමැතිනි තලතා අතුකෝරළට ඇරයුම් කළ නමුත් තලතා විසින් එම ඇරයුම පාස් කළේ ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර වෙතය.ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාරත් එහාට මෙහාට ඇඹරෙමින් සිටියදී එජාප මන්ත‍්‍රීවරියන්ගේ ජාම බේරාදීමට ඉදිරිපත් වූයේ නවක මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්නය.මන්ත‍්‍රීනි රෝහිණීගේ ගීතය එජාප මන්ත‍්‍රී සාදයේ එතෙක් පැවැති කාන්තා හඩක අඩුව යම් තරමකින් පුරවා දමන්නට සමත් විය.

විදෙස් සංචාරයේ යන්නට හිටි ඉතිරි මන්ත‍්‍රීවරුන්ට හුළං ?

වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් සැලසුම් කර ඇති විදෙස් සංචාරය නිම කළ පළමු මන්ත‍්‍රී කණ්ඩායම පසුගිය අගහරුවාදා පෙරළා දිවයිනට පැමිණියහ.ඔවුන්ගේ පැමිණීමත් සමග සිය ගමන්මඵ පවා සූදානම් කරගෙන විදෙස් සංචාරයට පිටත්වීමට සැදී පැහැදී සිටි ඊළග මන්ත‍්‍රී කණ්ඩායමට පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් කාර්යාලය පැත්තෙන් මේ වන විට අසන්නට ලැබී ඇත්තේ එතරම් සුබදායක නොවන ආරංචියක් බව වාර්තා වෙයි.එනම් එම මන්ත‍්‍රී කණ්ඩායමට විදෙස් සංචාරය සදහා පිටත්වීමයාමට නිසි අවසරයක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙතෙක් ලබා දී නොතිබීමයි.අදාළ සංචාරයට වැය වන මුදල පිළිබදවත්,ඒ සදහා වන ගුවන් ප‍්‍රවේශපත‍්‍ර මිලදී ගැනීමේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතාවයන් පිළිබදවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලුණු ඇඹුල් සහිතව වාර්තා වී තිබීම ඉතිරි මන්ත‍්‍රීවරුන්ගේ විදෙස් ගමනට මෙලෙස වැටකැඩොඵ වැටීමට හේතු වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙයි.වයඹ පළාත් සභාව තුළ දුක්ගන්නාරාළ චරිතයට මේ වන විට පණපොවමින් සිටින ආණ්ඩුකාර අමරා පියසීලි හමු වූ විදෙස් සංචාරයට වැට බැදුණු මන්ත‍්‍රීවරුන් විසින් ඔවුන්ගේ දුක්ගැනවිල්ල ගැන කියා ඇතත් ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ ප‍්‍රශ්නයක් බැවින් තමන්ටද මෙහිදී මැදිහත්විය හැකි ප‍්‍රමාණය අවම යැයි එහිදී ආණ්ඩුකාරවරිය විසින් මන්ත‍්‍රීවරුන් වෙත දනුම් දී ඇති බවද වාර්තා වෙයි.එම නිසා දැන් එම මන්ත‍්‍රීවරුන් පිරිස දැන් උත්සාහ කරමින් සිටින්නේ හබකෙන් බැරි නම් උගුලෙන් හරි වැඩේ කරගැනීමටය.ඒ බව පසක් කරන්නටදෝ පළාත් සභාවේ සිටින වලියට බර මන්ත‍්‍රීවරයෙකු පසුගිය දිනෙක පවසා තිබුණේ ”යකෝ මේක හරි කෙළියක්නේ ?එක කට්ටියක් විතරක් රට ගිහින්, තව කට්ටියක් නොගිහින් ඉන්න. ඒක මහ ආසාධාරණ වැඩක්නේ. එහෙනම් මුලදිම තිබුණේ කාටවත් යන්න දෙන්නේ නෑ කියලා කියන්න.බලමුකෝ මට යන්න නොදුන්නොත් මොකද වෙන්නේ කියලා. මම හොද වැඩක් කරලයි නවතින්නේ ” කියාය.alu_yata_gini-dec_3

උපුටාගැනීම – මව්බිම පුවත්පත- 2015 දෙසැම්බර් 03 වැනි බ්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article