මලියදේව විද්‍යාලයේ හිටපු රග්බි නායක ඉන්දික දලුවත්ත මහතාට ජීවිතය අහිමි කළ අනතුරට සම්බන්ධ පොලිස් ජීප් රථයක් සහ වෑන් රථයක් අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කියයි.
කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, සාරගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරෙන් මිය යන විට රුක්මාල් ඉන්දික දලුවත්ත මහතා 31 වැනි වියෙහි පසු විය.
සාරගම වැව අයිනේ නවතා තිබූ වෑන් රථයක දොරක් එහි රියදුරා විසින් එක්වරම විවෘත කිරීම නිසා දලුවත්ත මහතා විසින් පදවමින් සිටි යතුරු පැදියක එම දොරේ වැදී බවත්, එහිදී යතුරුපැදියේ පාලනය ගිලිහීම නිසා මාර්ගය මැද ඇද වැටුණු දලුවත්ත මහතාගේ සිරුර මතින් ඊට පසුපසින් පැමිණි පොලිස් ජීප් රථය ධාවනය වී ඇති බවත් දැනට සිදු කර ඇති පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම අනතුරට සම්බන්ධ පොලිස් ජීප් රථය කොටවෙහෙර පොලිස් ස්ථානයට අයත් එකක් වන අදාළ වෑන් රථයේ දොරෙහි දලුවත්ත මහතාගේ යතුරුපැදිය ගැටුණු ස්ථානය ඇඹරී ගොස් ඇති බවද දැකගත හැකි විය.
ඉන්දික දලුවත්ත මහතාගේ දේහය පිළිබද මරණ පරීක්ෂණය කුරුණෑගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් පී ජයසේන මහතා විසින් අද උදෑසන කුරුණෑගල ශික්ෂණ රෝහල් මෘතශරීරාගාරයේදී පැවැත්වූ අතර, අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදු වී තිබූ හානි හේතුවෙන් සිරුර අභ්‍යන්තරයේ සිදුව තිබූ ලේ ගැලීම්වලීම් හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවට එහිදී නිගමනය කෙරිණි.
මෙම අනතුරින් ඉන්දික දලුවත්ත මහතාගේ අතක සිදු වී තිබූ සීරුම් තුවාලයක් හැරෙන්නට කිසිදු බාහිර තුවාලයක් සිදු වී නොතිබීම විශේෂත්වයකි.
මරණ පරීක්ෂණය නිමවීමෙන් අනතුරුව කුරුණෑගල මල්ශාලාවක් වෙත භාරදෙනු ලැබූ ඉන්දික දලුවත්ත මහතාගේ දේහය අද රාත්‍රි 7 ට පමණ ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ලැබීය.
ඉන්දික දලුවත්ත මහතාගේ දේහය තිත්තවැල්ල, ගුරුලෑපොල ප්‍රදේශයේ ඔහුගේ නිවසෙහි මේ වන විට තැන්පත් කර ඇති අතර ලබන ඒ මහතාගේ අවසන් කටයුතු ලබන සදුදා (22 දා) පස්වරු 4 ට මල්කඩුවාව පොදු සුසාන භූමියේදී පැවැත්වීම නියමිතය.
දලුවත්ත මහතාගේ ජීවිතය උදුරාගත් පොලිස් ජීප් රථය සහ වෑන් රථය පහත දැක්වෙයි.
ඡායාරූප – කුරුණෑගල පොලිස් ස්ථානයේ ෆේස් බුක් පිටුවෙනි.