කාන්ති පඬුවස්නුවර ප‍්‍රදේශයේ ජීවත්වන කාන්තාවකි. ඇය රැකියාවක් නොකරන අතර ඇගේ සැමියාටද ස්ථිර රැකියාවක් නොමැත. දෛනිකව ලැබෙන කුමක් හෝ කුලී වැඩක් කරමින් ඔවුන් තම ජීවිකාව ගෙනයයි. ඔවුන් දෙදෙනාට සිටිනුයේ ගැහැණු දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය විවාහ වන වයසේ පසුවන අතර බාල දියණිය තවමත් පාසල් අධ්‍යාපනය හදාරනු ලබයි. ස්ථිර රැකියාවක් නොතිබුනද ඔවුන් තුන් වේලම හොඳින් කා බී සතුටින් සමගියෙන් කල් ගෙවූහ.
මේ අතර රැකියාවක නිරත නොවූ කාන්ති තම අසල්වැසි කාන්තාවකගේ ඉල්ලීම පරිදි එම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක වන එක්තරා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් කණ්ඩායම් ඇප මත සතිපතා ගෙවීමේ ක‍්‍රමය යටතේ රුපියල් 25000 ක මුදලක් ලබා ගනුයේ බුලත් වගා කිරීම ආරම්භ කොට තම පවුලේ ආර්ථිකයට තවත් ශක්තියක් වීමේ අරමුනෙනි. පළමු ණය මුදල ලබා ගන්නා ඇය එම මුදලින් බුලත් වගාව ආරම්භ කළාය. බුලත් කඩා ගන්නා කාලය වන තුරු ඇගේ සැම්යා කුලී වැඩ කර උපයා ගන්නා මුදලින් සති වාරිකය ගෙවීමට සිදුවිය. බුලත් වගාව සාර්ථක විය. බුලත් කඩන කාලය ආරම්භ වීමෙන් පසුව කාන්ති විසින් බුලත් විකුණා ලබා ගත් මුදලින් සති වාරිකය ගෙවීමට පටන් ගත්තාය. පළමු ණය මුදල අවසානයේ මධ්‍යස්ථානය භාර නිළධාරියාගේ බලවත් ඉල්ලීම පිට දෙවන ණය මුදලද ලබා ගන්නේ එම ණය මුදල ඇයට අවශ්‍යම වූ නිසා නොව ණය ලබා ගැනීම දැන් ඇයට විනෝදයක් බවට පත් වූ නිසාය. පළමු ණය මුදල මෙන් මෙම ණය මුදල ව්‍යාපාරය දියුණු සඳහා නොයෙද වූ කාන්ති අනවශ්‍ය දෑ සඳහා මුළු ණය මුදලම වියදම් කළාය. කාලයාගේ ඇවෑමෙන් රෝගයක් වැළදී මුළු බුලත් වගාවම විනාශ වී ගියේ කාන්ති සහ ඇගේ පවුලේ අයගේ ජීවිතයද විනාශ මුඛයට ඇද දමමිනි.
පළමු ණය මුදලට වඩා දෙගුණයක ණය මුදලක් සති වාරික ලෙස ගෙවීමට සිදුවීම නිසා සැමියා කුලී වැඩ කර උපයා ගන්නා මුදල නිවසේ සියලූ අගහිගකම් පිරිමසා වාරික මුදලත් ගෙවීම සඳහා ප‍්‍රමාණවත් නොවීය.ටිකෙන් ටික වාරික මුදල් ගෙවීම ඇය අතින් පැහැර හැරින. මුදල් ගෙවීම පැහැර හැරිම නිසා ඇගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකාවන් ඇය සමඟ රණ්ඩු සරුවල් ඇති කරගන්නා තත්වයට පත්විය. මධ්‍යස්ථානයේ නිළධාරියා නිවස ඉදිරිපිටට පැමිණ බැන වදින්නට විය. එම ආයතනයේ ණය මුදල ගෙවීම සඳහා ඇයට තවත් ආයතනයනකින් ණය ලබා ගැනීමට සිදුවිය. මෙසේ ඇය ආයතය කිහිපයකින්ම ණය මුදල් ලබාගත් අතර එම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකි වන අවස්ථා වලදී දෛනික ක‍්‍රමයට මුදල් ලබා දෙන පුද්ගලයෙකුගෙන් අධික පොලියකට මුදල් ලබාගෙන සති වාරික ගෙවීමට කටයුතු කළාය. දිනෙන් දින ඇය ලෝකයටම ණයකාරියක බවට පත්විය. ක‍්‍රමක‍්‍රමයෙන් ඇගේ සහ පවුලේ අයගේ ජීවිත අපායක් බවට පත්විය. කිසිම දිනක මත්පැන් නොබිව් ඇගේ සැමියා මෑතක සිට මත්පැනින් හොඳට සප්පායම් වී නිතර අඬදබර ඇති කර ගන්නා අතර කාන්තිට පහර දීමටත් බැන වැදීමටත් පටන්ගෙන තිබේ. ඇගේ දියණිය විවාහ කර ගැනීම සඳහා තරුණයෙකු නිවසට පැමිණියද මෑතක සිට ඔහුද ඇයව මගහැර යන තත්වයක් දක්නට ලැබේ.ඉගෙනීමෙහි විශේෂ දක්ෂතාවයක් දැක්වූ කුඩා දියණියගේද අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර වෙනදා මෙන් අධ්‍යාපන කටයුතු සඳහා අවධානය යොමු කිරීමක් නොපෙනේ. නිවසේ ආර්ථිකයද කඩා වැටී ඇති අතර මේ සියලූ ප‍්‍රශ්න දරා ගැනීමට නොහැකි වන තැන කාන්ති වත්තේ එළවලූ සඳහා ඉසීමට ගෙනා කෘමිනාශක පානය කර සියදිවි නසා ගැනීමටද තැත් කළාය.
මෙය විවිධ ආයතන සහ පුද්ගලයන්ගෙන් අධික පොලියකට ණය ලබාගෙන තමා සතු සියලූ දේ අහිමි කරගත් පඬුවස්නුවර ප‍්‍රදේශයේ ජීවත් වන තවත් එක් කාන්තාවකගේ කතාවක් පමණි. මෙවැනි කතා තවත් සිය ගණනක් වුවද මෙම ප‍්‍රදේශයෙන් සොයා ගත හැකිවාට නොඅනුමානය.
පඬුවස්නුවර ප‍්‍රදේශයේ මෙලෙස ණය ලබාදෙන ආයතන 10ත් 15ත් අතර ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වන අතර දෛනික පොලියට ණය ලබාදෙන පුද්ගලයන්ද ව්ශාල ප‍්‍රමාණයක් සිටිති. විවිධ සිත්ගන්නා සුළු තේමා පාඨ යොදා ගනිමින් චතුර ලෙස කතා කරමින් කාන්තාවන් ඉදිරියේ සුරංගනා ලෝක මවා පාන ක්‍ෂුද්‍ර මූල්‍ය නිළධාරින් ඔවුන්ට තම ආයතනයෙන් ලබාදෙන ඉලක්කය අකුරටම ඉටුකිරීම සඳහා ණය මුදල් නිකුත්කරනුයේ ණය ලබා ගන්නා කාන්තාව පිළිබඳව කිසිදු සොයා බැලීමක් හෝ සිදු නොකරමිනි.
ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ණය මුදල් නිකුත්කරනුයේ සති වාරික, දෙසති වාරික, සහ මාසික වාරික ලෙස ගෙවීමේ ක‍්‍රමය යටතේය.ණය ලබාදෙනුයේ කාන්තාවන් සඳහා පමණක් වන අතර කාන්තාවන් ඉතාමත් පහසුවෙන් රවටා ගත හැකි නිසා පිරිමින් ඇප අත්සන් කිරීමේ කාර්යයේදී හැර වෙනත් කිසිදු අවස්ථාවක ණය ගණුදෙනු සඳහා සම්බන්ධ කර ගන්නේ නැත. කණ්ඩායම් ක‍්‍රමය යටතේ ණය ලබාදීම සිදුකරයි. එක් මධ්‍යස්ථානයකට කණ්ඩායම් පහක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් තිබිය යුතු අතර එවැනි එක් කණ්ඩායමකට සාමාජිකාවන් තුනත් පහත් අතර සංඛ්‍යාවක් සිටිය යුතුය. බොහෝදුරට ගම් මට්ටමන් පිහිටුවන මෙම මධ්‍යස්ථාන සඳහා සාමාජිකාවන් 30 ත් 50 ත් අතර සංඛ්‍යාවක් සිටින අතර සෑම සතියකම ඔවුන් මධ්‍යස්ථානය වෙත පැමිණීම අනිවාර්ය වේ.ණය ලබාගැනීම සඳහා කණ්ඩායමේ අනෙකුත් සාමාජිකාවන් සහ ස්වාමිපුරුෂයා හෝ පිරිමි භාරකරුවෙකු අනිවාර්යෙන්ම අත්සන් කළ යුතුය. ණය ලබා ගන්නා අවස්ථාවේ ආයතනය තුළදී අත්සන් ලබාගන්නා ණය අයදුම් පත‍්‍රය ඉංග‍්‍රීසි භාෂාවෙන් තිබෙන නිසා එය කියවා බැලීමට නොලැබෙන අතර තමන් අත්සන් කරන්නේ කුමන ගිවිසුම් වලටද යන්න පවා ඇය නොදනී.පළමු ණය මුදල ලෙස රුපියල 25000 ත් 50000 ත් අතර මුදලක්ද ඉන් අනතුරුව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි වී ලක්ෂ 5 – 10 දක්වා ණය මුදල් ලබාගත හැකිය.
විවිධ ආයතන සහ විවිධ පුද්ගලයන්ගෙන් ණය මුදල් ලබාගත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් ඒ පිළබදව විවිධ අදහස් දැක්වූ අතර එහිදී පඬුවස්නුවර ප‍්‍රදේශයේ ජීවත්වන නන්දා ශි‍්‍රයාණි මහත්මිය මෙසේ පැවසුවාය.
” මේ ප‍්‍රදේශයේ ණය දෙන ආයතන දහයකට වැඩිය තියනවා.කිසිම වැඩක් පලක් කරන්නෙ නැති ගැහැණු අය ගොඩක් මේ සති සමිති වලින් ණය අරගන තියනවා.බැංකු වලින් ගන්නකොට වගේ නෙවෙයි මේවගේ පොලිය ගොඩක් වැඩියි. 25% ත් 30% ත් අතර පොලියක් අපෙන් ගන්නවා.අපි රුපියල් 25000ක් ගත්තොත් 32000ක් විතර වෙනව ගෙවල ඉවර වෙනකොට. හැම සතියකම වාරිකෙත් එක්ක රුපියල් සීයක් එකසිය පනහක් වගේ ඒ ආයතනයේම ඉතිරිකිරීමේ ගිණුමකට දාන්න ඕන.ඒක අපෙන් බලෙන් වගේ ගන්නෙ.දැම්මෙ නැතිවුනොත් සර්ල බනිනවා.ඒ සල්ලි අපිට ආපහු දෙන්නෙත් ගත්ත ණය ගෙවල ඉවර වෙලා ආය ණයක් ගන්නෙ නැත්නම් විතරයි.ඒකට සාධාරණ පොලියක්වත් දෙන්නෙ නැහැ.ණය මුදල ටිකක් ගෙවාගෙන ගිහින් ඉතිරි ටික එකසැරේ ගෙවල තව ණයක් මේ ආයතන වලින් ගන්න පුළුවන්. ණය ගන්න තියන හදිස්සියට හුගක් අය දවසේ පොලියට සල්ලි අරගෙන ඒ ණය මුදල එකපාර ගෙවල ඉවරකරනවා.මම ඒ වගේ දවසේ පොලියට දෙන කෙනෙකුගෙන් පොලියට මුදල් අරගෙන සති සමිතියේ ණය මුදල අවසන් කරල දෙවන ණය මුදලක් ඉල්ලූවා.සමිතියේ සර් කිව්වා සතියෙන් ණය දෙනවා කියලා.ඒ උනත් එක එක හේතු කියලා ණය මුදල දෙන එක කල් දැමිමා.මම ඉල්ලූවේ ලක්ෂයක ණය මුදලක්.නමුත් මාස එකහමාරකට විතර පස්සෙ හතලිස්දාහක ණය මුදලක් ලැබුනේ.ඒ වෙනකොට දවසේ පොලියට ගත්ත කෙනාට විශාල පොලි මුදලක් ගෙවන්න වෙලා තිබුනා. පොලී මුදල ගෙවන්න මම තැන් තැන් වලට ණය වෙලා තිබුනා. ගත්ත ණය මුදලත් මදිවුනා ඒ ණය ගෙවන්න.අවසානෙ මම හැමතැනටම ණයකාරියක් උන එක විතරයි උනේ.”
ණය මුදලක් ලබාගැනීමට අවශ්‍ය මූලික සුදුසුකම් හෝ නොමැතිව වුවද ග‍්‍රාම නිලධාරීවරයා ව්සින් පදිංචිය සනාථ කරන ලද ලිපියක්ද, තමාගේ සහ කණ්ඩායමේ සාමාජිකාවන්ගේ හැදුනුම්පතේ පිටපත්ද, පිරිමි භාරකරුවෙකුගේ හැදුනුම්පත් පිටපතක්ද ඇති ව්‍යාපාරයක් ඇති නැති වයස අවුරුදු 18 -– 60 ත් අතර ඕනෑම කාන්තාවකට මෙම ආයතන තුලින් ණය ලබාගත හැකිය. ව්‍යාපාරයක් තිබුණද එම ව්‍යාපාරය බැලීම සදහා කිසිදු දිනක නිලධාරින් නොපැමිනෙන නිසා විවිධ බොරු ගොතමින් ණය මුදල් ලබාගැනීමට කාන්තාවන් පෙළඹී සිටිති. පෞද්ගලික ආයතන වලින් ණය ලබා ගැනීම සදහා ග‍්‍රාමනිලධාරී සහතික ලබාදීම සීමා කිරීම නිසා ණය ලබාගන්නා කාන්තාවන් මේවන විට විශාල ගැටලූවකට මුහුණ පා ඇති අතර කෙසේ හෝ ග‍්‍රාමනිලධාරී සහතිකය ඉදිරිපත් කළ යුතුම නිසා ඔවුන් මේ සඳහා අපූරු ක‍්‍රියාමාර්ග අනුගමනය කරන අයුරු මෙම ගවේෂණයේදී අපට දැකගත හැකිවිය. ආයතන මගින් ලබාදෙන කොලයේ එක් කාන්තාවක් ග‍්‍රාමනිලධාරී වරයෙකු ලවා අත්සන් කරවාගෙන එහි ඡායාපිටපතක් ලබාගෙන සහතිකයක් ලබාගත නොහැකි කාන්තාවකගේ නම ලිපිනය එහි ලියා එහි ඡායා පිටපතක් ලබාගනී. ආයතනයේ නිලධාරියෙකුට එකවර හදුනා ගැනීමට නොහැකිවන අයුරින් ඉතා සූක්‍ෂම අයුරින් ව්‍යාජ ලෙස ග‍්‍රාමනිලධාරී සහතික සකසා මුදල් ලබා ගැනීමට කාන්තාවන් පෙළඹී සිටිති.
සති සමිති වලින් ණය ලබාගෙන අසරණ වු තවත් කාන්තාවකි නිශාන්ති මුණසිංහ මහත්මිය.ඇගේ අත්දැකීම් ඇය මෙලෙස අප සමග පැවසුවාය.
”සති සමිති වලින් ණය අරන් තියන්නෙ හුගාක් දුරට කුඹුරුවැඩ කරන, කුලීවැඩ කරන, සුළු ස්වයං රැකියාවක් කරන හුගාක් අසරණ පවුල්වල කාන්තාවො. ඉඩම් ඔප්පු, රජයේ ඇප ඉදිරිපත් කරන්න බැරි නිසා රජයේ බැංකු වලින් අපිට ණය ගන්න අමාරුයි. ඒ නිසයි අමාරුවේ වැටෙනවා කියල දැන දැනම අපිට මේවගෙන් ණය ගන්න වෙලා තියන්නෙ.හුගක් කාන්තාවො ණය ගන්නේ මහත්තයාට හොරෙන්. ණය ගන්න පිරිමි ඇපකරුවෙක් අත්සන් කරන්න ඕන.ඒ වගේ වෙලාවට සමහර අය මුදලට මහත්තයෙක් හරි සහෝදරයෙක් හරි හොයාගන්නවා.ඒ අත්සන වෙනුවෙන් මත්පැන් බෝතලයක් හරි මුදල් හරි දෙන්න වෙනවා. සමහර කාන්තාවෝ මහත්තයාගේ අත්සන අනියම් පුරුෂයාට කියලත් අත්සන් කරගන්නවා. ආයතනවල නිලධාරින්ට ඕන කොහොම හරි එයාලගෙ ටාගට් එක කවර් කරගන්න නිසා මේ කිසිදෙයක් ගැන හොයල බලන්නෙ නෑ. තියන හැම සමිතියකින්ම ණය ගත්ත අය වගේම කිහිපයකින්ම ගත්ත අයත් ඉන්නවා. සතියේ දවස් පහේම සමිති තියන නිසා දවස් පහේම වාරික දාන්න වෙලා තියනවා.සමහරවිට රුපියල් පන්දහසකට එහා සතියට වාරික දාන්න වෙනවා. කුලීවැඩ කරල සොයාගන්න මුදල වාරික දාන්නත් මදි.සර්ල හරියට යක්කු වගේ වාරිකේ දැම්මෙ නැත්නම් අපිව මරන්න හදනවා.කුනුහරපෙන් බනිනවා.අපේ දරුවන්ටත් හෙන ගහන්ඩ ඕන කියනවා.ඒ නිසා කොහොම හරි දරුවන්ගේ අධ්‍යාපනයටවත් ගෙදරට කන්න බොන්නවත් ගන්නෙ නැතුව වාරික දානවා.හුගක් ගෙවල්වල තත්වය මේකයි. සති සමිති ගොඩකින් ණය අරන් තියන නිසා ඒවා ගෙවාගන්න බැරුව ණය ගෙවීම පැහැර හරින්න ගැහැණු අය පුරුදු වෙලා.එයාට ගෙවන්න බැරුන් කණ්ඩායමේ අනිත් අය කොහොම හරි ඒක ගෙවන්න ඕන. කොහෙන් හරි සල්ලි හොයල දෙනකම් සමිතියෙ සර් ගේ ඉස්සරහට වෙලා පැය ගාණක් හරි බයික් එකට වෙලා ඉන්නවා. සමහර අය අම්ම තාත්තා මතක්කරලා බනිනවා. මට මතකයි එක සර් කෙනෙක් තමුසෙලා ඉක්මනට මැරිලවත් යනවකෝ මට මේ ණය ඉවරයක් කරගන්න කියල බැන්න ගෑණු කෙනෙක්ට. ණය ගන්න කලින්නම් මෙහෙම නෙවෙයි එයාල අපිට කතාකරන්නෙ නැති සුරංගනා ලෝක මවනවා.එක වාරිකයක් හරි ගෙවාගන්න බැරි උනොත් කුණුහරපෙන් බනිනවා.අපි අමාරුවෙ වැටෙනවා කියල දැනදැන උනත් අසරණකම නිසයි අපි මේවගෙන් ණය ගන්නෙ.”
මෙවැනි ආයතන කිහිපයකින් සහ දෛනික පොලියට මුදල් ලබාගෙන අසරණ වූ තවත් කාන්තාවකි උදේනි හේරත් මහත්මිය. ඇය අප සමග මෙසේ පැවසුවාය.
”වාරික මුදල් එකතු කරන්න ගමට එන්නේ පිරිමි නිලධාරින්. හුගක් ගැහැණු අයගෙ මහත්තයල කුලීවැඩ කරන්නෙ. සමහර අය බුලත්ව්ට කහට පෙරාගෙන ජරාවට ඉන්නවා, මත්පැන් බොනවා. ගෑණු අයට පහර දෙනවා.මේ දේවල් නිසා තමන්ගෙ මහත්තයා ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ. මේ තත්වය දැනගන්න සමහර සර්ල ඒවගේ ගැහැණු අයව අනියම් සම්භන්ධකම් ඇතිකර ගන්න තත්වයට පොළඹව ගන්නවා. ඒ විතරක් නෙවෙයි එක සර් කෙනෙක් ගැහැණු කිහිප දෙනෙක් එක්කම මේවගේ අනියම් සම්භන්ධකම් ඇතිකර ගන්න අවස්ථාත් තියනවා.මේ කාන්තාවන්ට සර්ල පිටුපෑවොත් සමහර අය සියදිවි නසා ගන්නත් උත්සාහ ගන්නවා. මේ වගේ සර්ලගෙ චාටු කතාවලට රැවටෙන කාන්තාවො ඒ යෝජනා වලට එකඟවන අවස්ථාත් තියනවා. ඒ උගුලට අසුවෙන කාන්තාවන්ගේ පවුල් මේ නිසා කැඩිල බිඳිල ගිහින් තියනවා. සමිති වලට එන කාන්තාවන්ගේ දුවලවත් ඔවුන්ගේ උගුලට අහුකරගන්න හදනවා.
හුගක් අය ණය ගන්නෙ වෙන ණය මුදලක්, සින්න වෙන්න යන රත්තරන් බඩු බේරන්න වගේ දේකටයි. ගත්ත ණය මුදල ව්‍යාපාරයකට යොදවන්නේ හුගක් කලාතුරකින්. සමහර අය ණය අරගෙන ජංගම දුරකථන, ඇදුම් වගේ අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. එහෙම නැතිනම් අනියම් පුරුෂයාට දෙනවා. කිහිප දෙනෙක්ටම කියල ණය අරගෙන ගෙවන්නෙ නැති කපටි අයත් ඉන්නවා.ණය අරගෙන දුන්න කෙනාට තමයි එතකොට ගෙවනන වෙන්නෙ. ණය අරගෙන අසරණ වෙලා ඉන්න ගෙවල්වල ස්වාමිපුරුෂයො කරන්නෙ ණය ප‍්‍රශ්න අමතක කරන්න වෙරි වෙලා වැටෙනකල්ම බොනවා. සති සමිති වලින් ගත්ත ණය ගෙවාගන්න බැරිවෙනකොට ඇතැම් ගැහැණු ගිනි පොලීකාරයන්ට අහුවෙනවා.පොලියට 10000ක් ගත්තොත් දවසට පොලිය විතරක් 250ක 300ක මුදලක් ගෙවන්න ඕන.ඒ අයගෙන් ලක්ෂ ගනන් ගත්ත සමහර අය පදිංචි වෙලා ඉන්න ඉඩමත් උගස් කරල ජීවත් වන්නට තිබූ එකම බිම් අඟලත් නැතිකරගෙන දරුවොත් එක්ක මහ පාරට වැටුනු අවස්ථා තියනවා. ණය ගෙවා ගන්න වෙන විදියක් නැතුව ගෑණු අය දැන් ගොඩක් රට යන්නත් පටන් අරගෙන. ණය ගෙවන්නෙ නැති අයට ආයතනයෙන් නඩු දානවා.මේ නඩුවක් ඉවර වෙන්න අවුරුදු 4ක් විතර යනවා. අන්තිමට අපිට ගත්ත ණය වගේ දෙගුණයකටත් වැඩිය ගෙවන්න වෙනවා. සමහර කාන්තාවෝ ණය බර උහුලගන්න බැරුව සියදිවි නසාගන්න තත්වෙටත් පත් වෙලා තියනවා.”
මේ පිලිබඳව ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනයක නිළධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ,
” මේ කියපු හැම දෙයක්ම නොවෙනවා කියන්න බැහැ. මෙතන සම්පුර්ණම වරද ආයතනයේ නෙවෙයි. විශාල පොලියක් ගන්නවා කිවුවට ඒකන් 2% ක් 3%ක් වගේ තමයි ආයතනයට යන්නෙ.අපිට ආයතනයෙන් ටාගට් එකක් දෙනවා. ඒ නිසා අපි කිසිම දෙයක් ගැන හොයන්නෙ බලන්නේ නැතුව ණය මුදල් නිකුත් කරනවා. දෙන පලියටම ණය ගන්න එක වැරදියි. ගෙවන්න බැරිනම් ණය නොගෙන ඉන්න ඕන.සමහර දේවල් අසාධාරණයි තමයි ඒත් මේ වගේ ආයතන නිසා තරුණයෝ දහස් ගණනක් ජීවත් වෙනවා.”
මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසියෙන් කළ විමසුමකදී අනාවරණය වූයේ මසකට පැමිණිලි 20 – 30 අතර ප‍්‍රමාණයක් ලැබෙන බවයි. එම පැමිණිලි වලින් සියයට අනූනමයක පමණ ප‍්‍රමාණයක් පොලිසිය තුලදීම විසඳීමට කටයුතු කරන බවත් විසඳීමට නොහැකිවන මුදල් ගෙවීම පැහැර හැරීම් වර්ෂයකට 5 – 6 පමණ ප‍්‍රමාණයක් සමථ මණ්ඩලයටද, 3 – 4 පමණ ප‍්‍රමාණයක් සිවිල් අධිකරණයටද යොමු කරන බව මෙහිදී හෙළි විය. මෙම ණය ක‍්‍රමය මෙම පවුල් වලට නොගැලපෙන අතර ඔවුන්ට ගැලපෙන ණය ක‍්‍රමවේදයක් හදුන්වාදීම අත්‍යවශ්‍ය බවත් එසේ නොමැතිනම් එක් ආයතනයක් මගින් එක් ණය ක‍්‍රමයක් ලබාදීමට මහ බැංකුවෙන් නීති ප‍්‍රතිපාදන ලබා දෙනවා නම් ඇතැම්විට මෙම ගැටළුවට යම් තරමක හෝ විසදුමක් ලැබෙනු ඇතැයි ඔවුන්ගේ අදහස විය.
ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරීවරයා මේ පිලිබදව පැවසුවේ,
”සති සමිති වලින් ණය ගැනීමට මාසෙකට ගා‍්‍රම නිළධාරී සහතික 15කට වැඩි සංඛ්‍යාවක් ඉල්ලූම් කරනවා.ණය පැහැර හැරිම් සම්භන්ධයෙන් සමථමණ්ඩලට යොමු කල ලියුම් මාසෙකට 5 වැඩි ගාණක් එනවා. මේක අපට හරිම කරදරයක්. ණය දෙන ආයතන අපෙන් කිසිම තොරතුරක් අහන්නෙ බලන්නෙ නැතුව ණය නිකුත් කරනවා.එයාල අපිත් එක්ක සම්භන්ධ වෙනවා නම් අපිට කියන්න පුළුවන් ණය දෙන්න පුළුවන් කාටද බැරි කාටද කියල.හුගක් කාන්තාවො ණය ගෙවන්න රට යනවා.මේ ප‍්‍රදේශයේ පහකට වැඩි සංඛ්‍යාවක් ණය ප‍්‍රශ්න නිසා මේ වෙනකොට රට ගිහින් ඉන්නවා.සති සමිති වලින් වෙන්නේ ආයතන පෝෂණය වීමක් විතරයි. ඉස්සර කාන්තාවො ණය ගන්න ලැජ්ජයි.ණය වෙන්න බයයි. සති සමිති ආපු එකෙන් වෙලා තියන්නේ ණයට තිබුන ලැජ්ජාව බය නැතිවෙලා ගිය එකයි. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හදුනාගෙන ණය දුන්න ආයතන ගම්වල තිබුනා.සති සමීති ආවට පස්සෙ ඒවා අඩපණ උනා. මේව ගමට රටට ගැලපෙන දේවල් නෙවෙයි.කවද හරි දවසක ඕක මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා. ”
මේ පිලිබදව අදහස් දැක්වූ හෙට්ටිපොල ලංකා බැංකුවේ කලමණාකාරතුමිය පැවසුවේ,
පෞද්ගලික ආයතන මගින් මුලික සුදුසුකම්වත් සොයා බලන්නේ නැතුව ණය ලබා දෙනවා.කාන්තාවෝ ඒ ගන්න ණය මුදල වියදම් කරන්නෙත් කිසිම අරමුණක් නැතුවයි.ඒ නිසයි අමාරුවේ වැටිලා ඉන්නේ. ඒ උනත් අපි පෞද්ගලික ආයතන වලින් හොයනවට වඩා වැඩි දේවල් හොයනවා.අපි හැමෝටම ණය දෙන්නේ නැහැ.යම් යම් නීති රීති තියනවා.ඒ නිසයි හුගක් අය රාජ්‍ය බැංකු වලින් ණය ගන්න අකමැති.ඇත්තටම හරි දැක්මක් ඇතුව ණයක් ගන්නවානම් ව්‍යාපාරයක යොදවනවානම් අසරණ කාන්තාවෝ මේ වගේ තත්වයකට වැටෙන්නෙ නැහැ.”
කිසිදු ව්‍යාපාරයක් නොකරන කාන්තාවන් ණය මුදල ව්‍යාපාරයකට නොයොදවා වෙනත් ණයක් නිදහස් කිරීම හෝ නිකරුනේ වියදම් කිරීමෙන් සිදුවනුයේ තවත් ආයතනයකට ණය වීම පමණි. එක් ආයතනයකින් නොනැවතී ආයතන කිහිපයකින්ම දිගින් දිගටම ණය මුදල් ලබාගෙන ගෙවා ගැනීමට නොහැකිවන කාන්තාවන් අවසානයේ අන්ත අසරණ තත්වයට පත්වී දෛනික ක‍්‍රමයටද මුදල් ලබාගනී. මේ නිසා කබලෙන් ලිපට වැටුනා හා සමාන වන කාන්තාවන්ට සිදුවනුයේ පොලියට දෙන පුද්ගලයන් නිවසට ඇතුළු වී නිවසේ ඇති බඩු බාහිරාදිය බලෙන් රැගෙන යනතුරු ඇස් කන් පියා බලා සිටීමට හෝ ඔවුන් එන විට නිවසේ දොර ජනෙල් අගුලූ දමා සැඟවී සිටීමට පමණි. ආයතයේ නිලධාරින් මෙන් නොව පොලී මුදලාලිලාගෙන් බේරිමට කෙසේවත් නොහැකිය. ඔවුන් බඩු බාහිරාදිය රැගෙන යයි. ගමටම ඇසෙන්නට අසභ්‍ය වචනයෙන් කෑගසයි. පහර දෙයි. දරුවෙකු හෝ පවුලේ වෙනත් අයෙකු මරණ බවට හෝ පැහැරගන්නා බවට තර්ජනය කරයි.මෙම පවුල්වල උදවිය නිතරම ජීවත් වන්නේ බියෙනි. ඔවුන්ට රාත‍්‍රියට නින්දක් නොමැත.නින්දට ගියද හීනෙන් හෝ පෙනෙන්නේ පොලී මුදලාලිවය. හරිහැටි කෑමක් බීමක් හෝ ඇඟට වැටෙන්නේද නැත. බියෙන් සැකෙන් තොරව සතුටින් නිවසේ ගත කල දිනයක් සතුටින් ගමනක් බිමනක් ගිය දිනයක් නැත. මෙවැනි තත්වයකට මුහුණපාන පවුල් වල අය කාංසාව, ආතතිය, විශාදය වැනි මානසික රෝගයන්ටද විවිධ කායික රෝගී තත්වයන්ටද ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසයි.
මෙම ගැටලූව සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයට ප‍්‍රථම මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ දින 100 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ” විවිධ මූල්‍ය ආයතන මගින් දෙන ලද පොරොන්දු ක්‍රෙඩිට් කාඞ් යෝජනා හා පිරමීඩ ක‍්‍රම මගින් රැවටීමට ලක්වීම නිසා පැටවී ඇති ණය පිට ණය කපාහැරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම.” ”දැනට කෙරීගෙන යන මූල්‍ය ආයතන හා බැංකු ඒකාබද්ධ කිරීමේ වැඩසටහන නැවත සමාලෝචනයට ලක් කිරීම.” ”ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පාලනය කිරීම හා සංවර්ධනය කිරීමට ස්වාධීන අධිකාරියක් පිහිටුවීම.” සිදුකරන බව දින 100 ඇතුලත ක‍්‍රියාවට නංවන ක්ෂණික සහන වැඩසටහනේ ඇතුලත්ව තිබුණද ඒ පිලිබදව මේවන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන කල් ඉකුත් වු ලියවිල්ලකට පමණක් සීමාවී තිබීමද ඉතාමත් කණගාටුවට කරුණකි.
හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති මෙම සති සමිති නැමැති පිළිලය මේ ප‍්‍රදේශයේ පමණක් නොව පිරමීඩ සංස්කෘතියට නොදෙවනි වෙමින් මුළු රට පුරාම පැතිර යමින් පවතී. මෙයට විකල්පයක් නොසෙව්වහොත් මෙරට ආර්ථික, සමාජයිය, සංස්කෘතිය, සාරධර්ම යන ගුණාංග සියල්ලද විනාශ වී යනවා නො අනුමානය.
දර්ශි අතපත්තු – පඬුවස්නුවර