මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට අණ කර තිබූ අවස්ථාවක සිය යතුරුපැදිය මාර්ගයට ඇතුලූ කර ඊට ප්රතිවිරුද්ධ දිශාවට ධාවනය කරවීමට උත්සාහ කළ බව කියන තරුණයෙකු ඉදිරියෙන් පැමිණි මගී ප්රවාහන බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් අද දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.
කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ මැල්සිරිපුර, නාමල්අංග ප්රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ ගොකරැල්ල, මැදලන්ද, කොස්වත්ත ප්රදේශයේ එච්. එම්. සුමේධ දසනායක නැමැති 23 හැවිරිදි තරුණයෙකි.
මේ දිනවල සිදුකෙරෙන කුරුණෑගල – දඹුල්ල මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමාකිරීමට අදාළ නවීකරණ කටයුතු භාර සමාගම විසින් කටයුතු කර තිබේ. එහිදී එම තනි මංතීරුව මාරුවෙන් මාරුවට විවෘත කර එක් දිශාවකට පමණක් වාහනය ධාවනය කරවීමට මාර්ග නවීකරණයේ යෙදී සිටින සේවකයින් විසින් කටයුතු කරති. ඊයේ දහවල් කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට වාහන ධාවනය කරවීම නවතා, දඹුල්ල දෙසින් කුරුණෑගල දෙසට පැමිණෙන වාහනවලට පමණක් මාර්ග මංතීරුව විවෘත කර තිබූ අවස්ථාවක කුරුණෑගල දෙස සිට පැමිණි ඇති මෙම තරුණයා මාර්ග සේවකයින්ගේ අණ නොතකා තම යතුරු පැදිය වසා තිබූ මංතීරුවට ඇතුළත් කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. එහිදී වාහන ධාවනයට විවෘතකර තිබූ නියමිත දෙසින් වේගයෙන් පැමිණි බස් රථයෙහි තරුණයා විසින් පැද වූ යතුරු පැදිය මුහුණට මුහුණලා ගැටුණු බවත්, එම ගැටීමෙන් බරපතල තුවාල තැබූ තරුණයා එම ස්ථානයේදීම මිය ගිය බවත් ඔවුහු වැඩිදුරටත් කීහ.
මියගිය තරුණයා පිළිබද හදිසි මරණ පරීක්ෂණය ඉහළ විසිදකේ බස්නාහිර කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඞී. එම්. එස්. කේ. දහනක මහතා විසින් අද පස්වරුවේ ගොකරැල්ල දිසා රෝහලේදී පැවැත් වූ අතර මෙම මරණය රිය අනතුරක් හේතුවෙන් සිදු වූ හදිසි මරණයන් බවට එහිදී තීන්දු කිරීමෙන් පසුව තරුණයාගේ මළ සිරුර ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.
මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අංගොඩ ඩිපෝවට අයත් බස් රථයක් සහ එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනතුර පිළිබදව ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මැල්සිරිපුර – මොහොමඩ් බුහාර්දීන්