සමූපකාර හා අභ්‍යන්තර වෙළද කටයුතු හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ ලංකා සතොස ආයතනයට අයත් ශාඛා තුනකින් රුපියල් පනස් දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ආහාර ද්‍රව්‍ය ණය පදනම මත ලබාගෙන මුදල් ගෙවීම පැහැර හැරීමෙන් මූල්‍ය වංචාවක් කළ බවට , ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුඵ තිදෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට පෙනී සිටීම සදහාය.
කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඉදිරියේ අද මෙම නඩුව විභාගයට ගැණුනු අතර එහිදී 2016 මාර්තු 28 වැනිදා දක්වා මෙම නඩුව කල්තබන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.
මෙම නඩුවෙහි පළමු සැකකරු ලෙස නම්කර සිටින අමාත්‍ය සම්බන්ධීකරණ හිටපු ලේකම් ඒ. කේ. එම්. සාකීර් සහ දෙතෙවැනි සැකකරු ලෙස නම්කර සිටින ලක් සතොස හිටපු සභාපති කේ. එම්. ආර්. ප්‍රනාන්දු යන මහත්වරුන්ද අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙනුවෙන් අද අධිකරණය හමුවේ කරුණු දැක් වූ පොලිස් සැරයන් චානක (33026 ) මහතා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙනයාම පිළිබදව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බැවින් එම උපදෙස් ලැබෙන තෙක් යම් කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පොලිසියේ ඉල්ලීම පිළිබදව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව 2016 මාර්තු 28 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.
විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුඵ විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක , නීතිඥ නිහාල් කිරින්දේ, නීතිඥ මංජුල විජේවර්ධන සහ නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චි යන මහත්වරුන් ඇතුඵ නීතිඥ මණ්ඩලයක් අධිකරණය ඉදිරියෙහි පෙනී සිටියහ.