වයඹ පළාත තුළ පිහිටි දුෂ්කර පාසල්වල පහසුකම් දියුණු කිරීම සදහා මහා භාණ්ඩාගාරය විසින් වයඹ පළාත් සභාව වෙත ලබා දී තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැය කරමින් වයඹ හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන සදහා පුටු, රෙදි හට් සහ සාස්පාන් වැනි උපකරණ බෙදාදී ඇති බව පෙරේදා (04 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී අනාවරණය විය.
මේ බව අනාවරණය වූයේ වයඹ පළාත් සභා මන්ත්‍රී සමන්ප්රිය හේරත් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වයඹ ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමුකර තිබූ ප්‍රශ්නයකට වත්මන් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා විසින් ලබා දුන් පිළිතුරකිනි.
සමන්ප්රිය හේරත් මහතාගේ ප්‍රශ්නයෙන් , වයඹ ප්‍රධාන අමාත්‍යංශය විසින් 2014 සහ 2015 වර්ෂයන්හි කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් දෙකෙහි ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා යම් උපකරණ බෙදාදීමක් සිදු කරනු ලැබුවේද, එලෙස උපකරණ බෙදා හැරුණු සමිති මොනවාද සහ ඒ සදහා වැය වූ සම්පූර්ණ මුදල කොපමණදැයි විමසා තිබිණි.
ඊට පිළිතුරු ලබා දුන් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක අදාල මුදල වැයකරමින් උපකරණ සහ භාණ්ඩ බෙදා දුන් බව කියන කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි ස්වේච්ඡා සංවිධාන 1576 ක ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. එමෙන්ම අදාළ භාණ්ඩ බෙදාදීම සදහා වැයකර ඇති සම්පූර්ණ මුදල රුපියල් 40356703. 26 (හාර කෝටි තුන්ලක්ෂ පනස් හයදහස් හත්සිය තුනයි ශත විසිපහක් )වන බවද හෙතෙම අනාවරණය කළේය.
එහිදී සමන්ප්රිය හේරත් මහතා විසින් යොමු කළ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු දුන් ධර්මසිරි දසනායක මහතා මෙසේ පැවසීය.
” හිටපු ප්‍රධාන අමාත්‍යතුමා ( දයාසිරි ජයසේකර මහතා ) 2014 වසරේදී මහා භාණ්ඩාගාර ලේකම් සමග පවත්වනු ලැබූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මහා භාණ්ඩාගාරය විසින් සෘජුවම ලබා දුන් ප්‍රතිපාදන සහ 2014 සහ 2015 වර්ෂවල උපමාන පාදක සංවර්ධන සදහා ප්‍රදාන මේ සදහා භාවිතා කරන ලද අතර පළාතේ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් කරනු ලැබූ ඉල්ලීම් පදනම්
කරගනිමින් මෙම භාණ්ඩ බෙදා හැර තිබෙනවා. මහා භාණ්ඩාගාරය විසින් එලෙස මුදල් ලබා දි ඇත්තේ පහත සදහන් කරුණු සදහායි. ”
” පාසල්වල පොල් අතු වහළ ගොඩනැගිලි ඉවත්කර උඵ සහ සෙවිලි තහඩු කිරීම, ගුරු විවේකාගාර ඉදිකිරීම , ජල පිරිපහදු පද්ධතිය දියුණු කිරීම, පාසල්වල පානීය ජලය සහ සනීපාරක්ෂක කටයුතු දියුණු කිරීම කියන කාරණා යටතේ තමයි මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ලබාදීලා තියෙන්නේ. ඒ කාරණාත් එක්ක තමයි මේ ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ බෙදාදීම සදහා මුදල් ඇතුල් කරලා තියෙන්නේ. මේකට විතරක් පුද්ගලිකව ලැබුණු මුදලකුත් නෙවෙයි. මේ සියලූම කරුණු කාරණාවලට ලැබුණු මුදල් තමයි මේ. ”
මෙහිදී අදහස් දැක් වූ සමන්ප්රිය හේරත් මහතා මෙසේ පැවැසීය.
”මේ පිළිතුරේ හැටියට නම් පාසල්වල තාවකාලික ගොඩනැගිලිවලට ස්ථිර ගොඩනැගිලි ලබාදීම සහ පොල් අතු වහළ වෙනුවට උඵ සහ සෙවිලි තහඩු කිරීම වගේ දෙයක් නම් සිද්ධ වෙලා නෑ. මෙතැන බෙදලා තියෙන්නේ ප්ලාස්ටික් පුටුයි, ජෙනරේටර්, සාස්පාන් කට්ටල, රෙදි හට් වගේ දේවල් තමයි බෙදලා තියෙන්නේ. මම හිතන්නේ මේ මුදල මීට වඩා ප්‍රයෝජනවත් දේකට
යොදාගන්න තිබුණා. මේ මුදල බෙදීම සම්බන්ධයෙන් ලොකු ගැටඵවක් තියෙනවා. මේ පිළිබදව ආණ්ඩු පක්ෂයේවත්, විපක්ෂයේවත් කිසිම මන්ත්‍රීවරයෙක් දැනුවත් වෙලා හිටියා කියලා මම හිතන්නේ නෑ. හිටපු මහ ඇමැතිතුමා කිසිම හොයාබැලීමක් නැතිව කරලා තියෙන්නේ පුටු බෙදීමයි, රෙදි හට් බෙදීමයි, සාස්පාන් බෙදීමයි පමණයි. මේවා ගැන මහජනතාව දැනගන්නත් ඕනෑ. පළාත් සභා මන්ත්‍රීවරු විදිහට අපි දැනගන්නත් ඕනෑ. මේ ප්රශ්නය දැම්මෙත් ඒකයි. මේක සම්පූර්ණයෙන්ම මැතිවරණය ඉලක්ක කරගෙන කරපු වැඩක් .”
මෙහිදී අදහස් දැක් වූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ශමල් ප්‍රසන්න සෙනරත් මහතා මෙසේ පැවසීය.
”මේක මුදල් හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේක සෘජුවම සභාවට අදාළ නැති වුණාට වයඹ පළාත් සභාවේ මහ ඇමැතිවරයෙක් විසින් ගෙන ගිය වැඩපිළිවෙලක්. මේ පිළිබදව සොයාබැලීමක් විය යුතුමයි. මේ පිළිබදව සොයාබැලීමක් නොකෙරුවත් එය අපි කරන ලොකු වරදක්. ඒ නිසා මේ කාරණාව පිළිබදව බැරෑරූම්ව කල්පනා කරලා ඒ පිළිබදව සොයාබලලා සභාව දැනුවත් කිරීම සුදුසුයි කියලා මම යෝජනා කරනාව. කිසිකෙනෙකුට අයිතියක් නෑ මහජනතාවගේ මුදල් මේ විදිහට විනිවිද භාවයකින් තොරව වියදම් කරන්න. ඒ නිසා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා මම යෝජනා කරනවා. ”
මේ පිළිබදව හිටපු වයඹ ප්‍රධාන අමාත්‍ය සහ වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ පාසල් සදහා වෙන් කළ මුදලින් සමිති සදහා භාණ්ඩ ප්රදානය කළ බව කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි. ස්වේච්ඡා සමිතිවලට භාණ්ඩ බෙදාදීම සදහා වැයකරනු ලැබුවේ දැයට කිරුළ සංවර්ධන වැඩසටහන යටතේ නිමා නොවූ වැඩසටහන් සදහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් මුදල් බවත්, ඒ සදහා පාසල් සංවර්ධනය කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ලබාදුන් කිසිදු මුදලක් වැය නොකළ බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.