Thursday, November 21, 2024

පුංචි ඉතාලියේ ‘ කැවිලි කඩේ ‘

Must read


පුංචි ඉතාලිය ලෙස හඳුන්වන වෙන්නප්පුව  පුරවරයේ දශකයකට වැඩි කාලයක් එනම් වසර  10 කට වැඩි කාලයක් මෙරටට ආවේණික දේශීය කැවිලි පෙවිලි නිෂ්පාදනයේ සහ අලෙවියේ පුරෝගාමී වෙළඳ ආයතනයක් වන ” රසිරස ” කැවුම් කඩේ අධිපති උපුල් සමීර මහතා සමගින් සිදුකළ කෙටි පිළිසඳරක සංක්ෂිප්ත සටහනක් පහත පල වේ.

ඔබේ මේ ව්‍යාපාරයේ ආරම්භය  සිදුවුනේ කොහොමද ?

             මුලින්ම මම මූල්‍ය ආයතනයක රැකයාව කලේ. මගේ බිරිඳ නිර්මලා කුමුදු, ඇය ඔසුසලක රැකියාවක් කලා. විවාහයෙන් පසුව ඇය රැකියාවෙන් ඉවත් වුනා.  මගේ මව ඉතා දක්ෂයි කැවුම්, කොකිස් ආස්මී වාගේ සිංහල කැවිලි පෙවිලි හදන්න. ඉතින් මගේ  මව විවිධ කෑම ජාති, විවිධ ආකාරයට අත්හදා බලන්නත් එක්ක ,විනෝදයට වගේ අපේ ගෙදරදි හදනවා.
            ඊට පසුව මගේ බිරිඳ තමයි මගේ මව සහ පියා එක්ක එකතුවෙලා මේක ව්‍යාපාරයක් විදියට  ටිකක් පොඩියට වගේ  පටන් ගත්තේ. අපි එහෙම බොහොම පොඩියට පළමුවෙන්ම මේ කැවිලි ව්‍යාපාරය  පටන් ගත්තේ මෙතන නෙමෙයි. අපි පදිංචි වෙලා ඉන්න වෙන්නප්පුව අලුත් පාරේ ශ්‍රී ලංකා හෝල් එක එහෙම නැත්නම් රමෝගා කියන හෝල් එක සමීපයේ. ඉතින් ඔහොම කාලය ගත වෙද්දී අපේ මේ කැවිලි ව්‍යාපාරයට ඉල්ලුම වැඩිවෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට ටිකක් ඉඩකඩ අවශ්‍ය  වුණා. ඒ අනුව 2020 විතර වගේ තමයි අපි වෙන්නප්පුව නගරයේ දැන් මේ  ව්‍යාපාරය කරගෙන යන තැනට  ඇවිත් මේක ටිකක් ලොකුවට ආරම්භ කලේ. එයට කලින් ඉතිං අපි අර හිටපු තැන අලුත් පාරේ අවුරුදු 10 ක වගේ කාලයක් අපි මේ ව්‍යාපාරය කරගෙන ආවා.
             පසුව මගේ බිරිඳට දරුවා ලැබුණට පස්සේ මේ ව්‍යාපාරය වැඩ කටයුතු මෙහෙයවීම වගේ දේවල් එයාට තනියම කරගෙන යන්න අපහසු වුණා. ඉන් පසුව ඉතින් මම තීරණයක් ගත්තා, ඒ අනුව මම එතෙක් කරපු රැකියාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා මේ ව්‍යාපාරය සඳහා එකතු වුණා. මොකද දැන් මගේ මවත් ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා  තමයි මම මේ තීරණය ගන්න විශේෂ හේතුවක් වුනේ. ඉතින් අද මගේ  මෙහෙයවීම යටතේ මේ ව්‍යාපාරය දැනට වසර කිහිපයක් තිස්සේ වෙන්නප්පුව නගරයේ  කරගෙන යනවා.

ඔබේ මේ ” රසිරස ” කැවුම් කඩේ මොනවද වැඩිපුරම තියෙන කැවිලි වර්ග ?

කොණ්ඩ කැවුම්, මුං කැවුම් ,කොකිස් අතිරස, ආස්මී , අළුවා  ,පැණි වළලු ඇතුළු තවත් දේශීය කැවිලි වර්ග  කිහිපයක්ම අපි අලෙවි කරනවා. ඒ වගේම මස්කට්  වර්ග  කිහිපයකුත් අපි ළඟ තියෙනවා.
           ඒ වගේම තමයි කේක් වර්ග කිහිපයකුත් අපි අලෙවි කරනවා. බටර් කේක් , පෘට් කේක්, චොක්ලට් කේක්, රිබන් කේක් සහ කප් කේක් වගේ කේක් වර්ග කීපයක්ම අපි ළඟ තියෙනවා. ඒ වගේමයි විශේෂ උත්සව අවස්ථාවලදී, ඒ කියන්නේ උපන්දින සැමරුමක් මගේ අවස්ථාවක ඒ අවශ්‍ය උපන්දින කේක් ,එක කැමති විදිහට, කැමති ප්‍රමාණයකට හදලා දෙන්න ඇනවුම් භාර ගැනීමත් අපි කරනවා. අපි අලෙවි කරන කේක් වර්ග  වගේ  තමයි මම අර  කලින් කිව්ව කැවුම් වර්ග වගේ  කැවිලි පෙවිලි  අපිම අපේ ගෙදර හදලා තමයි මෙතනට ගෙනත් අලෙවි කරන්නේ .
             මස්කට් වර්ග නම් අපි ඒවා හොඳටම හදන  දන්න කියන අයට ඇනවුම් දීල විශේෂයෙන්ම අපිට අවශ්‍ය වන

විදිහට හදාගන්නවා.

ඔබ මේ ව්‍යාපාරය පොඩියට ආරම්භ කරපු කාලයේ සිට මේ දක්වා  ගෙවී ගිය කාලයේ ඔබේ ව්‍යාපාරය තුළ මොන වගේ වෙනස් වීමක්ද සිදු වුනේ ?
  මේ ව්‍යාපාරය ආරම්භ කරපු කාලයට වඩා අපේ කැවිලි පෙවිලි වලට තිබෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ කාලෙට වඩා මේ වෙද්දි බොහෝ දෙනකු පෙලඹිලා තියෙනවා අපේ රටේ මේ කැවිලි පෙවිලි  මිලදී ගන්න. විශේෂයෙන්ම කියනවා නම් දැනට වඩා ඒ කාලේ බොහෝ දෙනෙක් නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයක හෝ පැවැත්වෙන උත්සවවලදී කේක් පමණක් මිලදීගන්න බොහෝ දෙනෙක් පෙළඹී සිටියා. නමුත් මේ වෙද්දි බොහෝ පිරිසක් තමන්ගේ උත්සවවලට මේ කැවිලි පෙවිලි අරන් යන්න පුරුදුවෙලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි අපිට එදාට වඩා, ඉල්ලුම ටිකක් වැඩිවෙලා තියෙන්නේ.

  විශේෂයෙන්ම මේ කැවිලි පෙවිලි සැදීමට ගන්නා  තත්ත්වයෙන් උසස් හොඳ පිරිසිදු අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොමද ?

          ඇත්තම කියනවා නම් අපිට අමුද්‍රව්‍ය සොයාගන්න එක එතරම් අමාරු  කාර්යයක් නෙවෙයි. මොකද මේවට ගන්න අමුද්‍රව්‍ය බොහොමයක් අපි විශේෂයෙන්ම ගත්තොත් පිටි වගේ දේවල් අපි තමයි අපේ ගෙදරම හදාගන්නේ. අපි කිසිම දවසක රසායනික ද්‍රව්‍ය මේ කැවිලි හදද්දී භාවිතා කරන්නේ  නෑ. කල් තියාගන්න, සුවඳ එන්න, එහෙම නැත්නම් රස වැඩි කරගන්න අපි කවදාක්වත් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ.
                දැන් අපිට කැවිලි හදන්න අවශ්‍ය පොල් පැණි සපයන්නේ ,මේ ව්‍යාපාරය ආරම්භ කරපු දා ඉඳලා අපිට ඒ පොල් පැණි සපයන මාදම්පේ ප්‍රදේශයේ කෙනෙක් ඉන්නවා,ඔහු තමයි අපිට තවම   තත්ත්වයෙන් ඉතා හොඳ පොල් පැණි ලබාදෙන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන පොල්තෙල් ,නියම කොප්පරා වලින් හදන ඒ පොල්තෙල් අපිට ලබා දෙන්නෙත් අපේ මේ ව්‍යාපාරය ආරම්භ කරපු දා ඉඳලා ඒ පොල්තෙල් සපයන කෙනාම තමයි. ඉතින් අපේ කැවිලි පෙවිලි වලට අපි යොදන්නේ ඉස්තරම්ම අමුද්‍රව්‍යය. ඒක නිසා අපේ කැවිලි පෙවිලි වල රසය වගේම ඒවායේ තත්ත්වය, පිරිසිදුබව සහ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන සියයට සීයක් සහතික වෙන්න පුළුවන්.
               දැන් අපේ කැවිලි වර්ග අතරින් වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ අප හදන කොණ්ඩ කැවුම් වලට. මොකද මේ වාගේ කොණ්ඩ කැවුම් වෙන තැන්වල නෑහැ. මොකද ඕක හයි වෙන්නේ නෑ. එහෙම නැත්තං ඕක ඝන වෙන්නේ නෑ ඕකේ නැවුම්  මෘදු ගතිය ඔහොම්මම තියෙනවා. ඒක ඒ විදිහට වෙන්නේ අපි ගන්න පිටි සහ ඒ පිටි මිශ්‍ර කරගන්න ක්‍රමය අනුවයි .

දැන් ඔබේ ව්‍යාපාරය සඳහා ඒ කියන්නේ මේ කැවිලි පෙවිලි හදන්න සේවක සේවිකවන්  සොයාගැනීමත් ගැටලුවක් නේද ?

          ඒක තමයි අපිට තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. සේවක සේවිකාවන් සොයා ගැනීම හරිම අමාරුයි මේ කාලේ. අපේ කැවිලි පෙවිලි යන්ත්‍ර සූත්‍ර වලින් හදන්න බෑනේ
මේවා හදන්න වෙන්නේ අතින්ම තමයි. පිටි කොටන වැඩ පෙරන වැඩ වගේ දේවල් යන්ත්‍ර සූත්‍ර වලින් කර ගන්න පුළුවන් වුනාට අමුද්‍රව්‍ය මිශ්‍ර කරන වැඩේ, සමහර වෙලාවට තෙලෙන් බදින වැඩේ ,මේවා යන්ත්‍ර සුත්‍ර වලින් කරන්න බැහැ. ඒවා අතින්ම තමයි කර ගන්න ඕනේ. ඉතින් සේවක ප්‍රශ්නය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය.
          දැන් මේ වෙන්නප්පුව ගත්තහම වැඩිපුරම ඉන්නේ කතෝලික ජනතාව නේ. ඉතින් නත්තල් ,ජනවාරි අළුත් අවුරුදු වගේ කාලයට අපිට හොඳ ඉල්ලුමක්  තියෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට ඒ කාලෙදි සමහර ඇනවුම් වලට අපිට කැවිලි පෙවිලි දෙන්නත් පුළුවන්කමක් නැහැ.මොකද මේ සේවක ප්‍රශ්නය නිසා.

දැන් වෙන්නප්පුව සහ ඒ අවට ප්‍රදේශවලින් වැඩිපුරම ඉතාලි වගේ යුරෝපා රටවලට රැකියාවන් වලට ගිහින් ඉන්න  ලාංකීකයන්ගෙන් ඔබේ ව්‍යාපාරයට මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ ?

        ඒ වගේ අයගෙනුත් හොඳ ප්‍රතිචාර අපට ලැබෙනවා. ඒ වගේ අය සමහර වෙලාවට ඒ රටවල් වලට යද්දිත් අපෙන් කැවිලි පෙවිලි අරන් යනවා.  ඒ රටවල් වලින් ඇවිල්ලා ආපහු යද්දි අපෙන් එහේ ඉන්න අයට ගිහින් දෙන්න කියලා කැවිලි පෙවිලි අරන් යන පිරිසකුත් ඉන්නවා. කවදාවත් අපිට කෙනෙක් වරදක් කියලා නැහැ අපේ කැවිලි අරන් ගිහින්.
                ලංකාවේ කොහේවත් අ⁣පේ වෙන ශාඛාවන් නැහැ. . වෙන තැන්වලට ඒ කියන්නේ වෙන වෙන කඩවල් වලට අපි අපේ කැවිලි පෙවිලි විකුණන්න තියන්නෙත් නෑ. තව ඔය පොළවල්වලට ඇවිල්ලා සමහර  අය විකුණනවා. ඉතින් අපේ ව්‍යාපාරයට ඒවා බාධාවක් නෙවෙයි.

         අපේ කැවිලි වලට අපි හොඳ අමුද්‍රව්‍ය ගන්න නිසාත්, පිරිසුදුව සහ සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කරන නිසාත්, අනෙක් විශේෂිතම කාරණාව තමයි අපේ කැවිලි වල මිල අඩුව සාධාරණව අලෙවිකරන නිසාත් , විශේෂයෙන්ම කුඩා දරුවන්ට පවා විශ්වාසයෙන් යුතුව දෙන්න පුළුවන් නිසාත් බොහෝ දෙනෙක් අපිවම සොයාගෙන එන්න මේ වෙද්දී පෙළඹිලා තියෙනවා.

ඔබේ මේ ව්‍යාපාරයට සම්බන්ධ යු-ටියුබ් (youtube) චැනල් එකක් තිබෙනවාද ?
           ඔව් ඒක කරන්නේ මගේ බිරිද විසින්. අපි මේ වගේ සිංහල කැවිලි පෙවිලි එක එක විදිහට, විවිධ වු ක්‍රමයන්ට හදලා අත්හදා බලනවා. ඉතිං අත්දැකීම් තමයි අපි ඒ යූ- ටියුබ් චැනල් එක හරහා බෙදා හදා ගන්නේ. ඉතින් ඒක ඕනම කෙනෙකුට බලලා ගැටලුවක් තියෙනවා නම් අපෙන් අහන්නත් පුළුවන්. අපි දන්න පරිදි ඒ අයව දැනුවත් කරන්න සූදානම්. ඒකෙදි අපි විසින් හුඟක් දැනුම බෙදා ගැනීමක් තමයි කරන්නේ. අපේ යූ- ටියුබ් චැනල් වල ලින්ක් එක තියෙනවා. මේක බලලා, ප්‍රශ්නයක් තිබුනොත් අපිව දැනුවත් කරන්න.

  

මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකුට ඔබ දෙන පණිවිඩය මොකද්ද ?

         ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ  කරන කෙනෙකුට බොහෝ වෙලාවට ටික කාලයක් ගතවෙනවා ව්‍යාපාරය තුළින් යම් සාර්ථකත්වයකට පැමිණෙන්න. එතකං අපි බොහෝම ඉවසිලිවන්තව ඒක අල්ලගෙන ඉන්න ඕන.  සමහර විටක යම් පාඩුවක් සිදුවෙන්නත් පුළුවන් ඒ කාලයට. ටික කාලයක් යද්දි පාරිභෝගික ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගියහම අපේ ව්‍යාපාරයට යම් සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්.

          හැබැයි අපි ව්‍යාපාරයේදී එක කරද්දි අපේ කොලිටි එක ඒ කියන්නේ අපේ  තත්වය  අපි ආරක්ෂා කරගන්න ඕන. පාරිභෝගිකයාට අපි විශ්වාසවන්ත වෙන්න ඕන. අපි අලෙවි කරන දේවල් වල හොඳ ගුණාත්මක භාවයක්. තියෙන්න ඕන. එහෙම කළොත් පාරිභෝගික ආකර්ෂණය හැමදාමත් අපිට තියෙනවා.  පාරිභෝගික ආකර්ෂණය තිබුනොත් අපේ ව්‍යාපාරය සාර්ථක වෙනවා.

   ඉතින්  ඔබේ නිවසේ, , ඔබේ වැඩ පොලේ ඔබේ කාර්යාලයේ සහ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ  පැවැත්වෙන උත්සව වලට අවශ්‍ය කැවිලි පෙවිලි සහ කේක් වර්ග ඇතුළු තවත් රස කැවිලි වර්ග ප්‍රණීත රසයෙන් සහ   ඔබට අවැසි ප්‍රමාණයන්ගෙන් කලින්ම ඇනවුම් කරන්න අවශ්‍ය නමි වෙන්නප්පුව නගරයේ “රසිරස” කැවුම් කඩේ අමතන්න.

දුරකථන අංක.- 077 9852039 / 0776240333
“රසිරස” කැවුම් කඩේ
කොළඹ පාර,
වෙන්නප්පුව. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article