Saturday, November 23, 2024

අධිකරණය ඇමැති දෙහිගමගේ අත බදී.

Must read

dehigama - Copyතමන් විසින් දරමින් සිටින වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සේවක සභාවේ සාමාජිකත්වය අවලංගු කිරීම වළක්වන ලෙස ඉල්ලා එහි සාමාජිකයින් දෙදෙනකු විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලූ කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා , අදාළ නඩුව විභාග කර අවසන් වන තුරු වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීම වළක්වාලමින් වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වෙත අතුරු තහනම් නියෝගයක් පෙරේදා (13 දා ) නිකුත් කළේය.

වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් වන නීතිඥ ලක්මල් වික‍්‍රමාරච්චි සහ නීතිඥ තුෂාර හේරත් යන මහත්වරුන් වෙනුවෙන් නීතිඥ සංජීව විජේපාල මහතා විසින් කුරුණෑගල පළාත්බද මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සමෙන් පෙත්සම්කාර නීතිඥයින් දෙපළගේ වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකත්වය අවලංගු කිරීම සර්ටියෝරාරි රීට් ආඥාවක් මගින් බල රහිත කරන්නැයිද ඉල්ලා සිටියේය.

මෙම පෙත්සමෙන් වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම, වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් සහ වයඹ පළාත් මාර්ග, ප‍්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

පෙත්සම්කාර නීතිඥයින් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සංජීව විජේපාල මහතා , 2013 දෙසැම්බර් මස 31 වැනි දින එවකට වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව පෙත්සම්කාර නීතිඥයින් දෙදෙනා වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කරනු ලැබූ බවත්, අදාළ පත්වීම 2016 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වූ වසර තුනක කාලයක් වෙනුවෙන් බලපැවැත්වෙන බවත් පැවසීය.

සිය සේවාදායකයින් දෙදෙනාගේ කැපවීම මත එවකට කඩා වැටී තිබූ වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව උසස් තත්වයකට පත්කිරීමට හැකි වූ බවත්, සමූපකාර සේවකයින්ගේ සේවය ස්ථිර කිරීම, සමූපකාර සේවකයින්ට අදාළ පීතෲත්ව නිවාඩු අනුමත කිරීම, වැටුප් විෂමතා ඉවත් කරවීම සහ සමූපකාර සේවක වැටුප අවම වශයෙන් රුපියල් පන්දහසකින් වැඩිකිරීම වැනි වැදගත් සහ එතෙක් නොපැවැති සහන රැසක් සමූපකාර සේවකයින් වෙත ලබාදීමට හැකි වූ බවද පැවසීය.

එවැනි කාර්යභාරයක් ඉටුකරමින් සිටි සිය සේවාදායයින් දෙදෙනා 2015 ඔක්තෝම්බර් 05 වැනිදා වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙත ගිය අවස්ථාවේදී වයඹ පළාත් සමුපකාර අමාත්‍යධුරයට අභිනවයෙන් පත් වූ පළමු විත්තිකාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාගේ ලිපියක් මත ඔවුන්ගේ සාමාජිකත්වයන් අහෝසි කර ඇතැයි කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඔවුන් වෙත දැනුම් දී ඇති බවද පැවැසීය. කිසිදු හේතුදැක්වීමකින් තොරව සිදුකරනු ලැබූ මෙම ඉවත්කිරීම හේතුවෙන් පරිපාලන නීතිය මෙන්ම ස්වභාවික යුක්ති මූල ධර්මයන්ද උල්ලංඝණය වී ඇති බැවින් පෙත්සම්කාර නීතිඥයින් දෙපළ වෙනුවට වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් පළමු විත්තිකාර අමාත්‍ය ගුණදාස දෙහිගම මහතාට එරෙහිව නිකුත් කරන ලෙසටද නීතිඥ සංජීව විජේපාල මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ නඩුව විභාග කර අවසන් වන තුරු වයඹ පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීම වළක්වාලමින් වයඹ පළාත් අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article