කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පැරකුම්බා වීදියේදී පාර හරහා මාරුවීමට ගිය කාන්තාවක් අද (14 දා ) පස්වරුවේ බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් වූවාය.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කුරුණෑගල පහළ ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන කාන්තාවකි.
මෙම කාන්තාව පැරකුම්බා වීදිය හරහා ඇවිද ගොස් බස්නැවතුම්පොළ දෙසට යාමට උත්සහ කිරීමේදී එම මාර්ගයේ අධික වේගයකින් පැමිණි පුද්ගලික බස් රථයක් ඇය යටකරගෙන ඉදිරියට ධාවනය වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ. බස් රථයේ රෝදයකට යටවීම නිසා බරපතල තුවාල ලබා සිටි මෙම කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
අනතුර සිදු වූ පැරකුම්බා වීදිය කුරුණෑගල බස්නැවතුම්පොළෙහි ප්‍රධාන ප්‍රවේශ මාර්ගය ලෙස භාවිතා කෙරෙන අතර, මෙම මාරාන්තික අනතුර සිදුවූයේ එම මාර්ගයේ වාහන ධානවය එක් දිශාවකට පමණක් සිදුකිරීමට සහ වේගය සීමාකිරීමට පොලිසිය විසින් කටයුතු කර තිබියදීවීම විශේෂත්වයකි. මගීන්ට පාර මාරුවීම සදහා මෙම මාර්ගයේ සළකුණු කර ඇති කහ ඉරිද මේ වන විට මැකී ගොස් ඇති අයුරු දැකගත හැකිය.
අනතුරට ලක් වූ බස් රථය වයඹ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශාන් සම්පත් වර්ණපුර මහතාට අයත් එකක් වන අතර එහි රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.