Saturday, November 23, 2024

සිංහබාහු පෙන්නන්න ගිය මහව අඹු සැමි යුවළක් වෙන නාඩගමක් නටති.

Must read

ප‍්‍රමාණය ඉක්මවා ප‍්‍රවේශපත‍්‍ර අලෙවිකර තිබිම නිසා ඊයේ (09 දා ) මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී වේදිකාගත කෙරුණු සිංහබාහු නාටකය නැරඹීමට දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ සිටි පාසැල් සිසු සිසුවියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වූ අතර එහිදී ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීම සදහා පොලිසියටද මැදිහත්වන්නට සිදු විය.

මහව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළකගේ සංවිධායකත්වයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේදී සයිමන් නවගත්තේගම රංග ශාලාවේදී ඊයේ පස්වරුවේ වේදිකාගත කිරීමට නියමිතව තිබිණි.

සයිමන් නවගත්තේගම රංග ශාලාවේ අසුන් ගත හැකි උපරිම පේ‍්‍රක්ෂක සංඛ්‍යාව 800 ක් වන අතර නාට්‍යයේ සංවිධාන කටයුතු කළ අඹු සැමි යුවළ විසින් දෙදහසකට ආසන්න ටිකට්පත් ප‍්‍රමාණයක් පාසැල් සිසුන් අතර අලෙවිකර තිබූ බව වාර්තා වෙයි. පාසැල් දර්ශණ සදහා සාමාන්‍යයෙන් එක් ටිකට් පතක් අලෙවි කෙරෙන්නේ රුපියල් සියයකට වුවත් මොවුන් විසින් පාසැල් සිසුන් වෙත එක් ටිකට් පතක් අලෙවි කර ඇත්තේ රුපියල් දෙසියයක මුදලකට බවද අනාවරණය වී තිබේ.

ටිකට්පත් අලෙවි කිරීමට අමතරව සිංහබාහු නාටකය වේදිකාගත වන බව දන්වමින් දුර බැහැර පිහිටි පාසල්වලට ලිපි යවා එම විදුහල්වල සිසු සිසුවියන් මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලය වෙත ගෙන්වා ගැනීමට එහි සංවිධායකයින් විසින් ඊයේ කටයුතු කර තිබිණි. මේ හේතුවෙන් නාට්‍යය ආරම්භ කිරීමට බොහෝ වේලාවකට පෙර සයිමන් නවගත්තේගම රංග ශාලාව සිසු සිසුවියන්ගෙන් පිරී ගිය අතර ශාලාව තුළ සිටි පිරිසට සමාන පිරිසක් ඉන් පිටතට රැදී සිටි අයුරුද දැක ගත හැකි විය.

ප‍්‍රමාණය ඉක්ම වූ සිසුන් පිරිසක් රංග ශාලාව වෙත ඇතුළත් කර සිටීම නිසා ශාලාව තුළ සිටි සිසු සිසුවියන් තෙරපෙමින්, හිරවෙමින් සහ දහදිය වගුරුවමින් දැඩි අපහසුතාවයකට පත් වී සිටිනුද පෙණිනි. පේ‍්‍රක්ෂකාගාරයෙහි ඇති වී තිබූ නොසන්සුන්තාවය සංසිදෙන තෙක් නාට්‍ය කණ්ඩායමද නාට්‍ය දර්ශණය ආරම්භ කිරීම ප‍්‍රමාද කළහ.

මේ අවස්ථාවේදී, දුර බැහැර පාසල්වල සිට බස් රථ පවා කුලියට ගෙන සිසු සිසුවියන් කැදවාගෙන පැමිණ සිටි ගුරුවරුන් විසින් නාට්‍ය සංවිධායකයින්ගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපය විවේචනය කරමින් දොස් තබන්නට වූහ. ගුරුවරුන්ගෙන් සහ සිසුන්ගෙන් නැග ආ දැඩි විරෝධය පාලනය කිරීමට මෙහිදී පොලිසියටද මැදිහත් වන්නට සිදු විය.

පසුව නාට්‍ය සංවිධායකයින් විසින් ටිකට්පත්වල මුදල් සහ බස් රථවල කුලියද ආපසු ගෙවීමට පොරොන්දුවීම නිසා දුරබැහැර සිට පැමිණි සිසු සිසුවියන් නාට්‍ය දර්ශණය නොබලාම ආපසු පිටත් වී ගියහ. කලබලය තරමක් දුරට සමනයවීමෙන් පසුව නාට්‍ය දර්ශණය ආරම්භ කෙරුණු නමුත් තමන් නාට්‍යය නැරඹුවේ දැඩි අපහසුතා මධ්‍යයේ බව එය නැරඹූ සිසු සිසුවියෝ කීහ.

මහව වීරරත්න බණ්ඩාර

sinhabahu6 sinhabahu9 sinhabahu1 sinhabahu2 sinhabahu3 sinhabahu4 sinhabahu5 sinhabahu7 sinhabahu8 sinhabahu10

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article