’මහා සංඝරත්නය’ යන ශාසනික ව්‍යවහාරය මගින් ජන සමාජය අතරේ ප්‍රචලිත ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය සම්බන්ධ අතිශය අර්බුදකාරී කාලපරිච්ඡේදයකට මේ වන විට අප රට පිවිස තිබේ. එය මෙරට ගිහි පැවිදි සියලු දෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුත්තකි.එසේ පිළිනොගන්නවුන් සමඟ මෙම සංවාදය ඉදිරියට ගෙන යා නොහැක.
මූලික බුදු සමයට අනුව ශ්‍රමණ ප්‍රතිපදා මත පදනම් විය යුතු භික්ෂු ජීවිතය සමකාලීන සමාජ ,සංස්කෘතික, දේශපාලනික සාධක මත ඉන් බැහැර වූ විචල්‍ය පූජක ස්වරූපයක් ගැනීම එදා මෙදා තුර ලක් ඉතිහාසයේ නොයෙක් කාල පරිච්ඡේදයන් හි විද්‍යමාන වූවකි. එහෙත්, කාමභෝගීත්යට පදනම් වන අධි පරිභෝජනවාදය පරමාදර්ශ කොට ගත් වත්මන් සමාජය තුළ ඉහත කී භික්ෂු චර්යාවන් වඩාත් විෂම හා විපරීත බවක් දරනු පෙනෙයි. අප මේ බව ප්‍රකාශ කරනුයේ මෙරට සියළුම භික්ෂුන් සම්බන්ධයෙන් නොවන මුත් භික්ෂු ප්‍රජාව සම්බන්ධයෙන් සමාජය හමුවේ අනාවරණය වන අනේක විධ ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් යම් හැදෑරීමකින් පසුව ය.
මිනී මැරුම් ප්‍රමුඛ කර ගත් සාපරාධී ක්‍රියාවන් කෙරෙහි අප රටේ සෙසු ආගමික පූජකයන් ගේ සේම භික්ෂුන් ගේ ද දායකත්වයන් යම් ප්‍රමාණයකින් සිදු වුව ද එවක පොදු සමාජයට ඒවා යම් අහඹු ස්වරූපයකින් යුතු හුදු හෙවත් කේවල සිදුවීම් විය.තල්දූවේ සෝමාරාම හිමි, මැතිව් පීරිස් දේව ගැති තැන මෑත ඉතිහාසයෙන් මතු වූ එවන් චරිත දෙකකි. එහෙත්, වර්තමානයේ එම තත්වය කෙතරම් ව්‍යාකූල වී තිබේද යන්න සාපරාධී, සේම සෙසු නීති සහ සදාචාර විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුන් තුළ පවත්නා ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන අයුරක් පෙනෙයි. මෙය සමාජය හමුවේ අනාවරණය වීමෙන් යම් අවාසිදායක තත්වයක් ඇති වීමට පුළුවන. එහෙත්, මෙම තත්වයන් තව දුරටත් ශාස්ත්‍රීය වශයෙන් විශ්ලේෂණයකට ලක් නොවීමෙන් ඇති විය හැකි හානිය ඊට වඩා අතිශයින් බරපතල වනු ඒකාන්ත ය. මෙම සමාජ අර්බුදය නම් ව්‍යාධියේ රෝග ලක්ෂණ විමසන අතරේ රෝග නිධානය පිළිබඳ යම් වැටහීමක් ලද යුතු කාලය දැන් ශීඝ්‍රයෙන් පසුවෙමින් තිබේ.
වර්තමාන සංඝ සමාජයේ කොටසක් නූතන සමාජ, දේශපාලන අර්බුදය හමුවේ ක්‍රියාකාරී ලෙසින් නැඟී සිටිනු පෙනෙයි. මෙම නැඟීසිටීම මතවාදී ලෙසින් මෙන්ම කලහකාරී සහ අරගලකාරී ක්‍රියා තෙක්ම දිග් ගැස්සී ඇති බවක් නිරීක්ෂණය වී තිබේ.
නූතන සමාජ, දේශපාලන අර්බුදය හමුවේ පොදු සමාජය නියෝජනය කරන භික්ෂුවට අඳ ගොලු බිහිරි වෙසින් කටයුතු කළ නොහැකිය යන්න නූතන සමාජයෙන් පැන නැගී ඇති ප්‍රබලතම තර්කයකි. ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව ගේ මෙම සමාජ, දේශපාලන නැඹුරුව මීට දශක කිහිපයක් දක්වා අතීතයට දිව යන අතර වල්පොල රාහුල හිමියන් විසින් 1946 වසරේ ලියන ලද ‘භික්ෂුවකගේ උරුමය’ නම් කෘතිය සමාජ, දේශපාලන සංසිද්ධීන් මුල් කොට ශ්‍රී ලාංකේය භික්ෂුව ඉදිරිපත් වීම සම්බන්ධ මුල් ග්‍රන්ථයක් වූ බව ප්‍රසිද්ධ මතයකි.1940 දශකයේ භික්ෂුව දේශපාලනයෙන් ඉවත් විය යුතුය යන මතය එක්සත් ජාතික පක්ෂය විසින් සමාජ ගත කරනු ලදුව එය බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා සංතෘප්ත කිරීමක් බවට විකල්ප දේශපාලන මතයක් ඉදිරිපත් විය.”මුල් කාලයේ පටන් අද දක්වා භික්ෂූන් ගෙන් සමාජයට සිදු වූ සේවය පිළිබඳ ලුහුඬු ඉතිහාසයක්” යන මැයෙන් සමාජ ගත වූ භික්ෂුවකගේ උරුමය’ කෘතිය එවක තරුණ භික්ෂු පරපුරට නව දේශපාලනික ජවයක් පන්නරයක් ගෙන දුන් උත්තේජකයක් මෙන් විය.
නමුත් ‘භික්ෂුවක ගේ උරුමය’ යනු තත්කාලීන සමාජයේ පැවැති සමාජ, දේශපාලනික පසුබිම තුළට භික්ෂු සම්ප්‍රාප්තිය සිදු විය යුතු අන්දම පිළිබඳ ඓතිහාසික සමාජමය අර්ථ කථනයක් මිස මූලික බුදු සමයට අනුව සිදු කෙරෙන ධර්ම විනයානුකූල විනිශ්චයක් නොවේ. එවක ඒ සම්බන්ධ විද්වත් මතවාද ගොඩනැඟුණු අතර හේන්පිටගෙදර ඥානාවාස හිමියන් සහ මහාචාර්ය ඩබ්ලියු. එස්. කරුණාරත්න ආදී ගිහි පැවිදි විද්වතුන් එම කෘතිය භික්ෂුවකගේ උරුමය පිළිබඳ ධර්ම විනයානුකූල අර්ථ දැක්වීමක් සේ සැළකීම බරපතල මුලාවක් බව ශාස්ත්‍රීය වශයෙන් අවධාරණය කරන ලදී. එහෙත්, එම කෘතියේ අඩංගු කරුණු සමකාලීන තරුණ භික්ෂු ප්‍රජාව අතරේ ජනප්‍රිය සංස්කෘතික පුබුදුවක් ඇති කිරීමට සමත් විය. එය 1956 වසරේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ආදී සමාජමය පෙරැළි ගණනාවක් සිදු කළ එස්.ඩබ්ලිව්.ආර් ඩී බණ්ඩාරනායකයන්ට රාජ්‍ය බලය අත් කර දීමට මහෝපකාරී වූ බව නොරහසකි.
එහෙත්, සිංහල රජ දවස රාජ්‍යත්වය හා තරඟකාරී ලෙස උච්චාවචනය වෙමින් පැවති භික්ෂු පරමාදර්ශී රාජ්‍ය සංකල්පය බණ්ඩාරනායක පාලන සමය තුළ සූක්ෂම පසුබෑමකට ලක් වූයේ සඟ,වෙද, ගුරු,ගොවි,කම්කරු යන “පංච මහා බලවේග” නමින් හඳුන්වන ලද සමාජ බලවේග වලින් පහෙන් පංගුවක් පමණක් භික්ෂුවට හිමි වීම නිසා ය.එමෙන්ම 1958 අංක 45 දරන පනත මඟින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරුවන් විශ්ව විද්‍යාල බවට පත් කිරීම, භික්ෂූන් සඳහා රජයේ ගුරු පත්වීම් ප්‍රදානය භික්ෂුව තුළ පැවැතිය යුතු ශ්‍රමණ ආකල්ප පදනම් කර ගත් විනය ප්‍රඥප්තීන් වලට යම් අයුරකින් පටහැනි ක්‍රියා සේ ද දැක්විය හැක.
1959 වසරේ සැප්තැම්බර් 26 වන දා සිදු වූ එස්.ඩබ්ලිව්.ආර් ඩී බණ්ඩාරනායකයන් ගේ අකල් මරණය “චීවරයක් යටින් මතු වූ ගිනි අවියකින් සිදු වීම” දක්වාම ශ්‍රී ලාංකේය භික්ෂුව ගේ ගමන් මඟ මූලික ධර්ම විනයෙන් පිට පැන තිබිණ. මේ සියලු තත්වයන් යටතේ”සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඒතං කාසාවං දත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය(ස්වාමීනී,සියළු දුක් සිඳ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස මේ කාෂාය වස්ත්‍රය ගෙන මා හට අනුකම්පාවෙන් මා පැවිදි කළ මැනව ) යන පැවිද්දේ මූලික අරමුණ හා සබැඳි ආයාචනා වාක්‍යයට පවා සම්බන්ධයක් නොමැති සමාජ දේශපාලන අරමුණු උදෙසා භික්ෂු ක්‍රියාකාරීත්වය මේ වන විට උච්ච තලයකට පැමිණ ඇති බව පෙනේ. එමෙන්ම “භික්ෂුවකගේ උරුමය” සමාජගත වූ යුගයට සාපේක්‍ෂව වත්මන් සමාජ, ආර්ථික,දේශපාලනික ක්‍රමයේ පවත්නා විපරීත සහ ව්‍යාකූලතා මුල් කොට සමාජ, දේශපාලන ගැටළු අර්බුද හමුවේ භික්ෂු චර්යාවන් ද විවිධ හා විෂම ස්වරූපයක් ගෙන ඇති බව ද පෙනේ. මෙය අකමැත්තෙන් වුව අප විසින් පිළිගත යුතු තත්වයකි. නමුත් “මහණෙනි, ගෝචර වූ සිය පියා(තමන් වහන්සේ) සතු විෂයයෙහි හැසිරෙව්. මහණෙනි, ගෝචර වූ සිය පියා සතු විෂයෙහි හැසිරෙන්නවුන් පිළිබඳ මාරයා අවකාශ නො ලබයි.
මාරයා අරමුණක් නො ලබයි. මහණෙනි, මහණ හට ගෝචර වූ සිය පියා සතු විෂයය කුමක්ද? මේ සතර සතිපට්ඨානයයි.”.යන බුද්ධ වචනය පදනම් කර ගත් “පෙත්තිකදායජ්ජ්ං”යන සතර සතිපට්ථානයේ පදනම පිළිබඳ සැබෑ ධර්ම ශාස්ත්‍රීය විග්‍රහයක් සහිත “භික්ෂුව ගේ පිය උරුමය” නම් මාගැඟි ධර්ම ග්‍රන්ථයක් 2009 වසරේ කොස්වත්තේ අරිය විමල හිමියන් විසින් එළි දක්වා ඇතත් එයට වල්පොල රාහුල හිමියන් විසින් 1946 වසරේ ලියන ලද ‘භික්ෂුවකගේ උරුමය’ කෘතියට හිමි වූ ජනකාන්ත බවින් අංශුමාත්‍රයක් වත් ලැබී නැත.එමෙන්ම භික්ෂුවගේ ශාසනික උරුමය පිළිබඳ ධර්ම ශාස්ත්‍රීය කරුණු පදනම් කොට මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් ලියූ “භික්ෂු සමාජය” කෘතිය වත් මෙරට භික්ෂූන් අතරේ නිසි පරිශීලනයකට ලක් වූ බවක් නොපෙනෙයි.
මෙබඳු අනේක විධ කරුණු මුල් කොට නූතන අධිපරිභෝජනවාදී සමාජමය ප්‍රවණතාවන් මුල් කර ගනිමින් බෞද්ධ ධර්ම විනය ප්‍රතිපදාවන් ගෙන් බැහැර විවිධාංගීකරණය වී ඇති ඇතැම් භික්ෂු ක්‍රියාකාරීත්වයන් ව්‍යාපාරික ද; එමතු නොව ජාවාරම් මට්ටම් දක්වා පහත වැටී ඇති බව ද ඉතා පැහැදිලිවම පෙනී යයි.මේ සඳහා වන දෘශ්‍යමාන හේතුව වනුයේ තම නෛසර්ගික ශ්‍රමණ ප්‍රතිපදා වලින් අත් මිදුණු භික්ෂුව ලෞකිකත්වය පදනම් කර ගත් කාමභෝගීත්වයකට යොමු වීම ය. කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට වෙළඳ පළ ජය ගත හැකි ක්‍රම දෙක වනුයේ තරඟකාරී පදනමකින් මිල පවත්වාගෙන යාම හෝ එසේ නොමැති නම් එම භාණ්ඩය හෝ සේවාව නවතම මුහුණුවරකින් සමාජය හමුවට ඉදිරිපත් කිරීම බව අලෙවි උපාය මාර්ග සහ සාමාජීය සාධක සාධක සම්බන්ධ ප්‍රාමාණික විද්වතකු වන ඇමරිකානු ජාතික මයිකල් ඉයුජින් පෝටර් පරිභෝජනවාදය වේගවත් ප්‍රවර්ධනයකට පත් වෙමින් පැවති 1980 වසරේ දී පවසා තිබේ.
ඔහුගේ ඒ ප්‍රකාශය කදිමට සනාථ කෙරෙන නව ප්‍රවණතා නූතන බෞද්ධ සමාජයෙන් ද කොතෙකුත් දක්නට පුළුවන “බුදුන් වහන්සේ අප රටේ පහළ වූ බව”ට මධ්‍යම පාන්තිකයන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන මිථ්‍යාව ඉන් විශේෂයෙන් කැපී පෙනෙයි.ඒ ඔස්සේ නූතනයේ වේගවත් ලෙස විපරිනාමය වෙමින් පවතින බුදු දහම පිළිබඳ අසංතෘප්තතාවයෙන් පෙළෙන මධ්‍යම පාන්තික බෞද්ධයෝ විකල්ප මංපෙතක් ඔස්සේ බුදු දහම හඳුනා ගෙන ඊට පිවිසීම පිණිස එම ව්‍යාජ ප්‍රවේශ මාර්ගය තෝරා ගනිති.
නූතන අධි පරිභෝජනවාදී සමාජය තුළ පුරුෂාර්ථ සේ සැළකෙන අලෙවිකරණ (Marketing ) සහ සන්නාමකරණ( Branding )යාන්ත්‍රණයන් මඟින් මූලික බුදු සමය හා එකඟ නොවන සේම ඉන් මුළුමනින් පරිබාහිර විෂය පථයන් ඔස්සේ ධනෝපායන යාන්ත්‍රණයේ ප්‍රමුඛ තැනක් හිමි කර ගත් ඇතැම් භික්ෂුහු බෞද්ධයන්ගේ සිත් විස්මයකට හා ප්‍රබෝධයකට පත් කරවන මූලික බුදු දහමින් අමූලික සද්ධාය හෙවත් පදනම් විරහිත භක්තිය නමින් හැඳින්වෙන අවිචාරවත් ක්‍රමෝපායන් අනුගමනය කරති.ඒ ඔස්සේ ලක්ෂ ගණන් බෞද්ධයන් ස්වේතාභිචාර (White Magic ) ලෙස හැඳින්වෙන ප්‍රාථමික ශාන්ති කර්ම ගණයේ චාරිත්‍ර වෙත යොමු කරනු පෙනේ.මූලික බුදු සමයට අනුව පුද්ගල වශයෙන් භික්ෂූන් ගේ කීර්තිය සහ ඔවුනට ලැබෙන ලාභ සත්කාර සේම පුද්ගල වශයෙන් ඔවුන් වටා පිරිස් ඒකරාශී වීම ද කරුණු බුදු සසුනේ පරිහානියට හේතු වන බව ඉතා පැහැදිලි ලෙසම අවධාරණය කොට තිබිය දී එවැනි ක්‍රියා මඟින් “ජනකාන්ත ” බවට පත් ඇතැම් භික්ෂුන් ආධ්‍යාත්මික සාපිපාසාවෙන් පෙළෙන මෙරට බෞද්ධයන්ට පැරණි දාගැබ් සහ පූජනීය ස්ථාන හමුවේ සිදු කෙරෙන බෞද්ධ ප්‍රඥා මාර්ගයෙන් ඉඳුරාම බැහැර වූ නිසරු පුද පූජා නමැති කළල දිය පෙවීම වෙනම සමාජමය ඛේදවාචකයකි.
මේවා හුදෙක් ඒවාට එක් වන්නවුන්ගේ සංච කාම සම්පත් වර්ධනය කරවීමේ අරමුනින් සිදු කරන නිසරු වත් පිළිවෙත් බව නොරහසකි.එමෙන්ම මේ වන විට මෙම නිසරු පුද පූජාවන් තුළ පවත්නා දැවැන්ත ජාවාරම් යාන්ත්‍රණය වෙනම විමසිය යුත්තකි. මේ අතර තවත් භික්ෂූන් පිරිසක් තමන් බුද්ධත්වයට හෝ රහත් බවට පත්ව ඇතැයි පවසමින් තමන් වටා අනුගාමිකයන් එක් රොක් කර ගැනීම් ද නූතනයේ කොතෙකුත් දක්නට ලැබේ.බෞද්ධ විනයට අනුව “උත්තරීතර මනුෂ්‍ය ධර්ම පාරාජිකාව” නමින් හැඳින්වෙන මෙය මෙය භික්ෂුවකගේ අධිශීලය මුළුමනින් විනාශ කොට දමන්නක් බව බෞද්ධ විනයෙහි ඉතා පැහැදිලිවම සඳහන් වෙයි.බුදු දහමට අනුව සැබැවින්ම එවන් ඉහළ ආධ්‍යාත්මික තත්වයනට පත් භික්ෂුව කිසි විටෙකත් “ප්‍රචාරක කටයුත්තක්” ලෙස තමන්ගේ එම ආධ්‍යාත්මික තත්වය යොදා නොගන්නා බව අතිශයින් පැහැදිලි ය.
මේ හැරුණු කොට නූතන ජන මාධ්‍ය හා සමාජ මගින් සමාජය හමුවට පැමිණෙන ඇතැම් භික්ෂුන් මූලික බුදු සමයෙන් ඉඳුරාම බැහැර සේම ඊට ප්‍රතිවිරුද්ධ අදහස් සහිත අනේක විධ දේශනා සේම ප්‍රාසාංගික ස්වරූපයෙන් යුතු ඉදිරිපත් කිරීම් ද සිදු කරනු දක්නට ලැබේ.මෑත අතීතයේ පවා බෞද්ධ ධර්ම දේශනා හුදු ධර්ම විනය සීමාවෙන් බැහැර නොයනු පිණිස ජාතික ගුවන් විදුලිය කටයුතු කළ ආකාරය අතිශය ප්‍රසංශා කටයුතු ය. ඒ අනුව එවක ගුවන් විදුලි ධර්ම දේශනා සහ සෙසු බෞද්ධ වැඩසටහන් වල ඇති ප්‍රමිතිගත බව හේතුවෙන් ඒවා ධර්ම ශාස්ත්‍රීය කරුණු කෙරෙහි විශේෂ අවධානයකින් යුතු විදග්ධයන් ගේ සංතීක්ෂණ අවධානයට යොමු විණි. එහෙත්, අද වන විට රූපවාහිනී වැනි ද්‍රශ්‍ය මාධ්‍යයන් හි පැවැතිය යුතු ප්‍රාසාංගික බව කේන්ද්‍ර කරගනිමින් ප්‍රචාරය කරන ඊනියා ධර්ම දේශනා සහ බෞද්ධ වැඩසටහන් වලට පෙනී සිටින ඇතැම් භික්ෂුන් ගේ ප්‍රකාශ සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ “කට ගැස්මක්” වී ඇති අයුරු හොඳින් පෙනෙයි.සැමියා විසින් බිරිඳට තේ කෝප්පයක් සාදා පිළිගැන්වීමෙන් එම බිරිඳ අපාගත වන බවට ධර්ම දේශනයක් වශයෙන් එක් භික්ෂුවක් කරන විහිළු සහගත ප්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලා තුළ වේගයෙන් සංසරණය වෙයි.
මේ සියලු තත්වයන් යටතේ භික්ෂුව ගේ නෛසර්ගික උරුමයක් වන ශ්‍රමණ බවින් පිට පැන කාමභෝගීත්වය පදනම් කර ගත් ලෞකිකත්වයෙහි අධානග්‍රාහී ලෙසින් එල්බ ගනු පිණිස ශ්‍රමණ බවට ඉඳුරාම වෙනස් පූජකත්වය වෙත ප්‍රවේශ වී හිඳින වර්තමාන බොහෝ භික්ෂූන් තමන් වටා උපභෝග පරිභෝග සම්පත් ඒකරාශී කර ගනිමින් හා තමන් ගේ වාසස්ථාන මුල් කොට භෞතික සහ ලෞකික සම්පත් වර්ධනය කර ගනිමින් ආරම්භ කොට ඇති මෙම අතීරණාත්මක ගමන් මඟට වහා නැවතුම් තිතක් තැබිය යුතු ය. නොඑසේ නම් එම අගාධයට නොවැටී තව දුරටත් ශ්‍රමණ ආකල්ප මත පිහිටා භික්ෂුත්වය ආරක්ෂා කර ගෙන හිඳින ඉතා සීමිත භික්ෂු පිරිස ද නුදුරේදීම මෙම සමාජමය අඳුරේ ගිලී යනු නියත ය.එය ශාසනික වශයෙන් සේම සමාජමය වශයෙන් ද අතිශය බරපතල ඛේදවාචකයකි.
සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු සභාපති මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර