Saturday, November 23, 2024

තල්දෙක ඉස්කෝලෙට ඔරු දෙකක් දියෝ !

Must read

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් , තල්දෙක සාන්ත රීටා විදුහල ඉදිරිපිට ඇති මාර්ගය වර්ෂා කාලවලදී ජලයෙන් යටවීම නිසා එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් පාසැලට පැමිණිමේදි හා ඉන් පිටවීමේදි දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවට දෙමව්පියෝ චෝදනා කරති.

වයඹ පළාත් සභාවට අයත් නයිනමඩම – කොළින්ජාඩිය මාර්ගයේ ,තල්දෙක සාන්ත රීටා විදුහල ඉදිරිපිට ‍කොටස සුලු වර්ෂාවකදී පවා සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී යන බවත් ඒ හේතුවෙන් විදුහලේ ප්‍රධාන පිවිසුම් දොරටුව සහ ඒ අවට අඩි කිහිපයක් ජලයෙන් යටවී යන බවත් එහි ඉගෙනුම ලබන සිසු සිසුවියෝ කියති. මේ නිසා විදුහ‍ලට පිවිසීමේදී සහ ඉන් පිටවීමේදී තමන් පැළැද සිටින සපත්තු ගලවා ජලයට බැස ඉන් එතෙරවීම‍ට සිදු වී ඇති බවද ඔවුහු වැඩිදුරටත් කියති.

වසර කීපයක සිටම තම දරුවන් මෙම අපහසුතාවයට මුහුණදෙමින් සිටින බවත් , මේ පිළිබඳව වගකිව යුතු නිලධාරින්ට හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට පෙන්වා දුන්නත් මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු බවට එම සිසු සිසුවියන්ගේ දෙමව්පියෝ කියති. පාසැල ඉදිරිපිට මාර්ගය මෙලෙස ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවීම හේතුවෙන් වැසි කාලවලදී තම දරුවන් පාසැල් යාමට පවා අකමැත්තක් දක්වන බව එම ඔවුහු කියති.

වෙන්නප්පුව නගරය පුදුමාකාර දියුණුවක් ලබා ඇති නගරයකැයි දේශපාලන වේදිකාවලදී කෑ මොරදෙන ඇතැම් දේශපාලකයන්ට එම නගරයට කිලෝමීටරයක් දුරින් තිබෙන මෙම පාසැලේ දරුවන් විඳින අපහසුතාවය නොපෙනීම පුදුමයට කරුණක් බවද ප්‍රදේශවාසීහු කියති. මෙම මාර්ගයේම ස්ථිර පදිංචිකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රි අජිත් දබරේරා මහතාගෙන්
(ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ) කළ විමසීමකදී හෙතෙම මෙලෙස පැවසීය.
‘ මමත් වාර ගණනාවක් පළාත් සභාවේදි මෙම මාර්ගය ගැන හා එම පාසැලේ දරුවන් විඳින දුක ගැන පෙන්වලා දුන්නා. පසුගිය සතියේදීත් වයඹ පළාත් මහා මාර්ග අමාත්‍යංශයේ නිළධාරින් සමග කතා කළා. ඒ අය කීවා ඉක්මනින් මේකට විසඳුමක් ලබා දෙනවා කියලා . අපි අඩුපාඩුව පෙන්වලාදීලත් මේ මාර්ගය පිළිසකර නොකිරිම ගැන මේ පාසැල අසල හා මාර්ගයේම පදිංචි
ජනතා නියෝජිතයෙක් ලෙස මමත් ලොකු අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා. ”

මේ මාර්ගය පිළිසකර කරවීමේ අදහසක් නැතිදැයි වයඹ පළාත් මහාමාර්ග ඇමති ගුණදාස දෙහිගම මහතාගෙන් කළ විමසීමේදි හෙතෙම මෙසේ පැවසීය.

”අපි මේ වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කරලා තියෙන එක් මාර්ගයක් තමා ඔය කොළින්ජාඩිය නයිනමඩම මාර්ගය. මම නිළධාරින්ට උපදෙස් දීලා තියෙන්නේ එම මාර්ගයේ නවීකරණ කටයුතු පිළිබදව සොයලා බලලා ඉක්මනින් පියවරක් ගන්න කියලා. ” යැයි පැවසීය.

සටහන සහ ඡායාරූප
නයිනමඩම චන්දන ප්‍රනාන්දු

taldeka1 taldeka2 taldeka3 taldeka4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article