දයාසිරිගේ පත්වීම් වැළකට – සිටිති මන්ත්‍රීවරු හරහට
22 වැනි අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීම නිමවීමෙන් පසුව ඇමැති සන්ධ්‍ය විසින් හදිසි රැස්වීමක් සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඔහුගේ අමාත්‍යංශයට කැදවා තිබිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙකු පළාත් සභා රැස්වීමෙන් කල් ඇතිව පිටවී ගොස් තිබූ බැවින් සන්ධ්‍යගේ හදිසි රැස්වීමට සහභාගී වී සිටියේ පළාත් සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අඩකටත් අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකි. සන්ධ්‍ය විසින් හදිසි රැස්වීමක් කැදවීමට හේතු වූ කරුණු පිළිබදව පැහැදිලි කළේය. ” මේ නගරබද ඉස්කෝලවල ඉන්න අතිරික්ත ගුරුවරු ටික මම ජනවාරියේ ඉදන් ගුරුවරු නැති ඉස්කෝලවලට දානවා. ඒක නිසා ඔබතුමලා කවුරුවත් ඒකට බාධා කරන්න එපා. ට්‍රාන්සර් යවන ගුරුවරුන්ව එක්කරගෙන ආපහු මා ළගට එන්න එපා. මට මේක කරගන්න උදව් කරන්න. මේක මීට කලින් විය යුතුව තිබුණු දෙයක්. නමුත් කොහොමින් කොහොමින් හරි මේ ගුරු මාරු ටික ක්‍රියාත්මක වුනේ නැහැ. ඒ නිසා අපි හැමෝම එකතුවෙලා දැන්වත් මේක කරමු. එහෙම නැතුව වයඹ අධ්‍යාපනේ ගොඩදාන්න පුඵවන් වෙයි කියලා මම හිතන්නේ නෑ. ” සන්ධ්‍ය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. මන්ත්‍රීවරුන් සියඵ දෙනාම සන්ධ්‍යගේ ඉල්ලීමට එකගතාවය පළකළේ කිසිදු විරෝධතාවයක් දැක්වීමකින් තොරවමය. මන්ත්‍රීවරුන්ගේ යහපත් ප්‍රතිචාරයෙන් දිරිමත් වූ සන්ධ්‍ය තවත් මාතෘකාවක් ඇදගත්තේය. ”දයාසිරි මහඇමැතිතුමා ඉන්න දවස්වල දෙන්න ලෑස්ති කරලා තිබුණු පත්වීම් ටිකක් තියෙනවා. ඒ පත්වීම් ටිකත් මට දීලා දාන්න වෙයි. ඒකටත් ඔබතුමාලා මට සහයෝගය දෙන්න. ” සන්ධ්‍ය යළි කීය. සන්ධ්‍යගේ පෙර ඉල්ලීමට මන්ත්‍රීවරුන් විසින් කිසිදු විවාදයකින් තොරව එකගතාවය පලකළ නමුත් සන්ධ්‍යගේ දෙවැනි ඉල්ලීම නම් මන්ත්‍රීවරුන්ගේ ලේ රත් කරවන එකක් විය. එම යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙතින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ”ඇයි එහෙම කරන්නේ , එයා දැන් පළාත් සභාවෙන් ගියානේ. තවත් මොකටද එයාගේ ලැයිස්තුවලට පත්වීම් දෙන්නේ . එහෙම කරන්න එපා. ඒ පත්වීම් ටික මන්ත්‍රීවරුන් අතරේ බෙදලා දෙන්න” මන්ත්‍රීවරු එකහෙළාම කීහ. ” එහෙම කියන්න එපා. මට මේ වෙලාවේ දයාසිරිව තරහකරගෙන බෑ. එයා දැන් රජයේ මධ්‍යම ක්‍රීඩා ඇමැති . මම පළාත් සභාවේ ක්‍රීඩා ඇමැති. ඒ නිසා ඉස්සරහට මට එයාගෙන් ගොඩක් උදව් ගන්න තියෙනවා. මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇතිකරගන්නේ නැතිව අපි මේ ටික දීලා දාමු. ” සන්ධ්‍ය ආයාචනාත්මකව ඉල්ලා සිටි නමුත් මන්ත්‍රීවරුන් එයින් නොසැලූණහ. ” බෑ. බෑ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම නම් මෙහෙම කරන්න. ඔය පත්වීම්වලින් එකක්වත් අපිට එපා. ඔය ඔක්කෝම ටිකට ඔබතුමාගේ වෙන්නප්පුවේ කට්ටිය විතරක් දාගන්න. නමුත් ඔය පත්වීම්වලට දයාසිරිගේ මිනිස්සුන්ව තවත් රිංගවන්න එපා. ” මන්ත්‍රීවරු තරයේ කීහ. පත්වීම් ගැටඵව මුල්කරගනිමින් එලෙස අදහස් උදහස් නැග එද්දී මේ හදිසි රැස්වීමද උණුසුම් මුහුණුවරකට හැරිණි. ටිකිරි අධිකාරී, නිලන්ත රාජපක්ෂ, අසංක නවරත්න ඇතුඵ මන්ත්‍රීවරුන් ගණනාවක්ම සන්ධ්‍යගේ තීරණය විවේචනය වන අයුරින් අදහස් දක්වන්නට වූහ. ” දයාසිරි ඉන්නකම් කළේ එයාගෙ මිනිස්සුන්ට රස්සා දීපු එක. අපිට රස්සා කීයද හම්බ වුණේ ? එයා පාර්ලිමේන්තු ගියාටත් පස්සෙත් එයාගේ ලැයිස්තුවලට පළාත් සභාවේ පත්වීම් දෙන එක අසාධාරණයිනේ . කරුණාකරලා ඒ අපරාදේ විතරක් කරන්න එපා. ” ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අවසන් වශයෙන්ද සන්ධ්‍යට කීහ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධතාවයත් සමග හදිසි රැස්වීමද එලෙස අවසන්වූ නමුත් මන්ත්‍රීවරුන්ගේ විරෝධය වතුරේ යවමින් අදාළ රැකියා පත්වීම් ලබාදීම සදහා මේ දිනවල ලහි ලහියේ කටයුතු කෙරෙමින් පවතින්නේ දයාසිරි මහඇමැති පදවිය හොබවමින් සිටි දිනවලදී සකසන ලද ලැයිස්තුවක් අනුව බව පළාත් සභාව පැත්තෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙයි.
සභාපති බෑණා දෙහිගම හැර යයි.
වයඹ පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තනතුර දරමින් සිටි නයනජිත් උපේන්ද්‍ර පසුගිය ජූනි මාසයේදී හදිසියේම එම තනතුරෙන් ඉල්ලා අස්විය. පසුගිය සමය තුළදී ප්‍රවාහන අධිකාරිය තුළ වැඩක් කරන්නට උත්සහ කළ බවක් පෙන් වූ නයනජිත් උපේන්ද්‍ර, ඇමැති ගුණදාස දෙහිගමගේ බෑණා හෙවත් සුජානි දෙහිගමගේ ස්වාමි පුරුෂයාය. පුද්ගලික හේතූන් මත මෙම ඉල්ලා අස්වීම සිදුවෙන බව නයනජිත් විසින් සිය ඉල්ලා අස්වීම් ලිපියෙහි සදහන් කර තිබූ නමුත් එහි සැබෑ හේතුව වන්නේ නයනජිත්ට ඇමැති දෙහිගම සමග එකට වැඩකිරීමට නොහැකිවීම බව අධිකාරිය පැත්තෙන් එන ආරංචිවලින් කියැවෙයි. නයනජිත් පුටුවේ වාඩි වූ දා සිටම ඇමැති දෙහිගමගෙන් එල්ල වූ බව කියන බලපෑම් හේතුවෙන් එම දෙපළ අතර කාලයක් තිස්සේ පැවැති ගැටුම් එළිපිට පුපුරා ගියේ පසුගිය මහමැතිවරණයේ අපේක්ෂිකාවක ලෙස සුජානි දෙහිගම ඉදිරිපත් කිරීමට ඇමැති දෙහිගම විසින් ගත් තීරණයත් සමගය. අදාළ තීරණයට නයනජිත් විසින් දැඩි ලෙස විරෝධය පළකර ඇති අතර එය නොතැකූ ඇමැති දෙහිගම සිය දියණිය මැතිවරණයට ඉදිරිපත් කළේය. අදාළ සිදුවීමෙන් කළකිරීමට පත් නයනජිත් විසින් සිය ඉල්ලා අස්වීම භාරදී විදේශගත වූ අතර සුජානිගේ මැතිවරණ ව්‍යාපාරයට පවා ඔහුගේ සහයක් නොලැබිණි. අවසානයේ නයනජිත්ගේ විරෝධය සැබෑ කරවමින් සුජානි මැතිවරණයෙන් පරාජයට පත්වූවාය. නයනජිත්ගේ හැරයාම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ හිස්ව තිබූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙහි සභාපති අසුනෙහි ඇමැති දෙහිගමගේ සමීප හිතවතෙකු වන දේශාන් සමන්ත වර්ණපුර වාඩිවූයේ ඊයේ උදෑසනය. කුරුණෑගල නගරය පුරා කටවුට් සහ පෝස්ටර් ගසා ඇමැතිවරයෙකු රාජකාරී භාරගන්නා අවස්ථාවක් තරමට උත්සවශ්‍රීයෙන් රාජකාරී ආරම්භ කළ නමුත් වර්ණපුරටද අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුවන බවට වූ පෙර ලකුණු මේ වනවිටම පහළවෙන්නට පටන්ගෙන තිබේ. වර්ණපුර යනු වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින්ම නිකුත් කළ මාර්ග බලපත්‍ර යටතේ ධාවනය කෙරෙන බස්රථ කිහිපයකම හිමිකරුවෙකි. ඒ නිසාම බස් හිමිකරුවෙකු මගී ප්‍රවාහන අධිකාරියෙහි මුල්පුටුවේ වාඩිවීම කෙතරම් සදාචාරාත්මකදැයි බොහෝ දෙනෙකු විසින් දැන් සිටම ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ. ඊට අමතරව වර්ණපුර සභාපති පුටුවේ හිදුවන්නට ගත් තීරණය යළිත් වතාවත් දෙහිගම පවුල තුළ පවා දෙදරවීමක් ඇති කරවන්නට හේතු වී ඇති බව ‘අඵ යට ගිනි’ වෙත වාර්තා වෙයි.
නගරාධිපති පුටුවට – මහ සටන් දැන් සිට
පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයලැබීමත් සමග එහි උණුසුම වඩාත් තදින් දැනුණු නගරයක් වූයේ කුරුණෑගලය. ඒ කුරුණෑගල නගරය කේන්ද්‍රකරගත් කුරුණෑගල ආසනය එජාපය විසින් ජයගැනීමටත් වඩා කුරුණෑගල මහනගර සභාවේ අනාගත නගරාධිපතිවරයා කවුරුන්දැයි විවිධ පිරිස් විසින් අනාවැකි පළකරන්නටවීම නිසාය. පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණයත් සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කුරුණෑගල මහ නගර සභාව එජාපය විසින් පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇති බවට මේ වන විට බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් සිටිති. ඒ නිසාම එජාප මහනගර සභාවක නගරාධිපතිවරයා කවුරුන්දැයි මත පළවන්නට වූයේ මැතිවරණය අවසන් වී දින දෙක තුනක් ගතවෙමින් තිබියදීය. කුරුණෑගල නගරාධිපති අපේක්ෂක සටන මේ වන විට සිව්කොන් සටනක් බවට පෙරළී ඇති බවක් දැන් දැන් දකින්නට ලැබෙයි. ඒ කුරුණෑගල හිටපු නගරාධිපති නිමල් චන්ද්‍රසිරිද සිල්වා, කුරුණෑගල එජාප කළමනාකරු ෆිලීෂියන් පෙරේරා සහ හිරියාල හිටපු සංවිධායක ආසිරි හේරත් සහ කුරුණෑගල මහනගර සභාවේ වත්මන් විපක්ෂනායක වරුණ පේ‍්‍රමරත්න අතරය. සන්ධානය පැත්තේ සිට එජාපය පැත්තට යළි කරණමක් ගැසූ නිමල් සිල්වා නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වෙන බවට ආරංචි පැතිරෙන නමුත් ඒ ගැන විමසන අයට නම් නිමල් සිල්වාගෙන් ලැබෙන්නේ තමන්ට යළි මැතිවරණයට තරගකිරීමේ අදහසක් නැති බවත්, මහනගර සභා මැතිවරණයේදී තම හිතවතෙකුට උදව් කරන බවත් යන පිළිතුරයි. කෙසේ වෙතත් කුරුණෑගල එජාප සංවිධායකධූරය හොබවන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ සිටින්නේද අසීරු අවස්ථාවේදී එජාපය හැර ගිය නිමල් සිල්වාට නාමයෝජනා ලබානොදිය යුතුය යන දැඩි ස්ථාවරයක බවද පැවසේ. එජාප කළමණාකරු ෆිලීෂියන් පෙරේරාත් ඉදිරි මැතිවරණයේදී තමන් නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවත්, ඒ සදහා පක්ෂ නායකත්වයේ ආශිර්වාදය තමන්ට හිමි වී ඇති බවත් පවසමින් ඔහුගේ හිතවතුන් සමග එක්ව ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. නගරාධිපති සටනට අඵතෙන්ම පිවිසි තරගකරුවා වූයේ කලක් තිස්සේ හිරියාල ආසන සංවිධායකධූරය දරමින් සිටි ආසිරි හේරත්ය. ජගත් මංජුල යාපා හිරියාල සංවිධායක තනතුරට පත්වීමත් තමන් එතෙක් දරමින් සිටි ආසන සංවිධායක තනතුරට තට්ටුකර ගත් අතර ආසිරි ළිං කටින් වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතු න්‍යාය අනුගමනය කරමින්දෝ නගරාධිපති අපේක්ෂක සටනට බැසීමේ බලාපොරොත්තුවෙන් සිටී. කුරුණෑගල නගර මධ්‍යයේ ස්ථිර පදිංචිකරුවෙකු මෙන්ම කුරුණෑගල නගරය තුළ පිහිටා ඇති ව්‍යාපාරික ස්ථාන ගණනාවකද හිමිකරුවෙකු වන ආසිරි කුරුණෑගල නගරයේ මුල්පුරවැසියාවීමේ සටනට දැන් පිඹුරුපත් සකස්කරමින් සිටී. නගරාධිපති අපේක්ෂක සටනේ අනෙක් තරගකරුවා වන විපක්ෂනායක වරුණ පේ‍්‍රමරත්න සිටින්නේ නගරාධිපති තනතුර තමන්ට ලැබෙන බවට වූ පිළිබද නියත විශ්වාසයෙන් යුතුවය. කවුරු මැතිවරණයට තරග කළත් ඒ කිසිවෙකුත් තමාට අභියෝගයක් නොවන බව කියන වරුණ සහතික කරන්නේ දෙවැනියාට වඩා මනාප දහසකට අධික ප්‍රමාණයක පරතරයකින් තමා නගරාධිපති තනතුරට පත්වන බවය. ජ්‍යෙෂ්ඨත්වය, පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම, ජනතාවගේ සහයෝගය සහ ආසන සංවිධායක අශෝක්ගේ ආශිර්වාදය අතිනුත් තමන් ඉදිරියෙන් සිටින බව වරුණගේ අදහසයි. කෙසේ වෙතත් ලබන මාර්තුවේ පැවැත්වීමට නියමිත බව කියන පුංචි ඡන්දයට මාස කිහිපයක් තිබියදී පවා ඒ වෙනුවෙන් කුරුණෑගල නගරය තුළ දැනටමත් නිර්මාණය වී ඇත්තේ එවැනි උණුසුමකි. කුරුණෑගල නගරාධිපති අපේක්ෂක සටන ගැන ලියන සටහනට නැවතීමේ තිත තබන්නට ලියුම්කරු ඉක්මන් නොවන්නේ මේ යන රටාව අනුව ලබන මාර්තු මාසය වෙන විට තවත් නගරාධිපති අපේක්ෂකයින් කිහිපදෙනකු වුවද කුරුණෑගලින් කළ එලි බැසීමට වැඩි ඉඩක් තිබීම හේතුවෙනි.
මාස එකහමාරකට පසු මහින්ද කුරුණෑගලට ස්තූති කරයි.
මහ මැතිවරණය නිමාවීමත් සමග කුරුණෑගලින් තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන කුරුණෑගල පැත්තෙන් හාවක් හූවක් නොඇසිණි. මැතිවරණයට දින දෙකක් තිබියදී කුරුණෑගල හැර ගිය මහින්ද මැතිවරණය නිමාවීමෙන් පසුව කුරුණෑගලට පැමිණ තිබුණේ එකම එක්වරක් පමණක් වන අතර එයද මැර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිය ආධාරකරුවෙකු බැලීම පිණිස කුරුණෑගල රෝහලට පැමිණි ගමනකට සීමා විය. මහින්ද ගැන කුරුණෑගල ජනතාවගේ මතකය දුරස්වීගෙන යමින් තිබියදී මහින්දගේ රුව යොදා සකස් කළ පෝස්ටරයක් පසුගිය සතියේදී කුරුණෑගල නගරය පුරා ඇලැවී තිබීමෙන් එම මතකය යළි අඵත් කරවන්නට සමත් විය. ”ඇතුගල්පුරට ජය කැන්දූ ඔබ සැමට ස්තූතියි” යනුවෙන් සදහන් වී තිබූ එම පෝස්ටරයෙහි මහින්ද සිනාමුසු මුහුණින් සිටින ඡායාරූපයක්ද ඇතුළත් කර තිබිණි. මහින්දගේ පෝස්ටරය දුටු හැම කෙනෙකුගේම අවධානය ඊට යොමු වූයේ කුරුණෑගල ජනතාවට ස්තූති කරන්නට මහින්දට ගත වී ඇති කාලය පිළිබදව සැලකිලිමත්වීම නිසාය. මහින්දගේ හිතවතුන්ට ස්තූති කිරීමේ පෝස්ටරයක් අලවන්නට සිහි වී තිබූ පසුගිය සතිය වන විට මහ මැතිවරණය නිම වී මාස එකහමාරකට අධික කාලයක් ගත වී තිබිණි. මහින්දගේ හිතවතුන් විසින් කුරුණෑගල ඡන්ද දායකයින්ට ස්තූති කරන්නට පාප්ප බාල්දි අතට ගන්නා විට මැතිවරණයෙන් ජය ගත් මෙන්ම පරාජිත සෙසු අපේක්ෂකයින් විසින් ඡන්ද දායකයින්ට ස්තූති කරමින් මැතිවරණය නිම වූ දිනවලම අලවා තිබූ පෝස්ටර් දිරායමින් තිබිණි. මහින්ද වෙනුවෙන් පෝස්ටර් ඇලවී තිබුණේ නිකම්ම නිකම් නොවන බව පසක් කරවමින් පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ මහින්ද වැඩි සද්ද බද්දයක් නැතිවම කුරුණෑගල ආවේය. මහින්ද වෙනදාට කුරුණෑගලට අඩිය තියද්දී ඔහු පිළිගැනීමට එන මහින්ද සුළගේ සාමාජිකයින්ගෙන් බහුතරයක් මෙවර පැමිණ නොසිටි අතර ටී. බී. ඒකනායක. ඉන්දික බණ්ඩාරනායක සහ තාරනාත් බස්නායකගේ අඩුවද කැපී පෙනිණි. කුරුණෑගලට පා තැබූ මහින්ද පිළිගන්නට පැමිණ සිටියේ මන්ත්‍රී ජොන්ස්ටන් සහ මන්ත්‍රි සාලින්ද පමණකි. කුරුණෑගලදී ජොන්ස්ටන් සහ සාලින්ද සිය ගමනට එක්කර ගත් මහින්ද මොරගොල්ලාගම බලා පිටත් විය. සිය ආරක්ෂක අංශයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකුගේ අවමගුලකට සහභාගී වූ මහින්ද ආපසු කුරුණෑගල බලා පැමිණි අතර මහින්ද කෙළින්ම ආවේ කුරුණෑගල, වැවරවුමේ පිහිටි සාලින්දගේ නිවසටය. සාලින්ද විසින් ඒ වන විට සිය නිවසේ සූදානම් කර තිබූ සුහද හමුවකට මහින්ද එහිදී එක් විය. මෙම හමුවට එක් වී සිටියේ මහින්දට පසුගිය මැතිවරණයේදී උදව් කළ වෛද්‍යවරුන් ඇතුඵ පිරිසකි. රටේ තොටේ දේශපාලනය ගැන පමණක් නොව වයඹ පළාත් සභාව ගැනද මෙම හමුවේදී මහින්ද සමග කතාබහක යෙදීමට සාදයට පැමිණ සිටි වෛද්‍යවරුන් ඇතුඵ පිරිසට අවස්ථාව උදා විය. පැය කිහිපයක් තිස්සේ ඇදී ගිය සුහද හමුව අවසන් කළ මහින්ද එදින රාත්රියේදී කුරුණෑගල නවාතැන් ගත්තේය.
මහින්ද කුඹුරු වැඩට බසී.
පසුදින උදෑසන ව්‍යායාම පිණිස කුරුණෑගල වැවරවුමේ ඇවිදින අතරේදී සාලින්ද මුණගැසුණු මහින්ද සාලින්දගෙන් ඉල්ලීමක් කළේය. ”සාලින්ද ,අර අපි මාදිවෙලදී කළා වගේ මටත් ඔය සිංහල වී වලින් කුඹුරක් හදලා දෙන්න බැරිද ? මටත් ලොකු ආසාවක් තියෙනවා ඔය පරණ වී වර්ග දාලා කුඹුරක් හදාගන්න. මගේ කුඹුරු වගයක් තියෙනවා වීරකැටියේ. ඔයා ළග තියෙන වී ටිකක් ඒ කුඹුරු ටික හදලා දෙනවද ?” මහින්ද සාලින්දගෙන් ඇසීය. ”සුඵ දෙයක්නේ සර්. මම කරලා දෙන්නම්.” සාලින්ද පිළිතුරු දුන්නේය. ”මොනවද ඔයා ගාව තියෙන වී වර්ග ?” මහින්ද යළි ඇසීය. සාලින්ද තමන් ළග ඇති වී වර්ග ගැන මෙන්ම, දේශීය වී වගාව ගැනත්, එම වී වර්ගවල ඇති ගුණ පිළිබදවත් මහින්දට කෙටි දේශණයක් දුන්නේය. ”එහෙනම් ඔයා වේලාවක එනවද ඒ පැත්තේ ? ”මහින්ද ඇසීය . ”කල්දාන්න ඕනැ නෑ, මම හෙටම එන්නම්. ” සාලින්ද කීය. ”ඒක හොදයි, එහෙනම් බණ අහන්නත් බලාගෙනම එන්න” යැයි කී මහින්ද වීරකැටිය බලාපිටත් විය. මහින්දට දුන් පොරොන්දුව ඉටුකරමින් දේශීය වී වර්ග කිහිපයක් සිය වාහනයට පටවාගත් සාලින්ද මැදමුලන බලා පිටත්වූයේ පසුගිය සෙනසුරාදාය. පසුදිනට යෙදී තිබූ පසළොස්වක පොහොය නිමිත්තෙන් මැදමුලන නිවසේ පැවැති ධර්ම දේශණයටද සාලින්ද ඇතුඵ පිරිස සහභාගි වූහ. ධර්ම දේශනය අවසන් වූ සැණින් මහින්ද සාලින්ද කැදවාගෙන ගියේ තවත් කිලෝමීටර් කිහිපයක් දුරින් වූ කුඹුරුයායකටය. හැද සිටි සරම් කැසපොට කවාගත් මහින්ද සහ සාලින්ද ඒ වන විට බිම් සකස්කර අවසන් කර තිබූ කුඹුරට බැස්සහ. මහින්ද සහ සාලින්ද දෙදෙනා එක්ව කුඹුරු කිහිපයකම වී වැපූරූ අතර දෙදෙනා කුඹුරෙන් ගොඩට ආවේ වැපුරුම් හමාර කළ පසුවය. අසල පිහිටි ඇළකින් මඩ සෝදාගත් මහින්ද සහ සාලින්ද ඇතුඵ පිරිස යළි මැදමුලන වලව්වට පැමිණ එහිදී දිවා ආහාරය ගත්හ. සාලින්ද ඇතුඵ පිරිස යළි කුරුණෑගල බලා පිටත් වූයේ මහින්ද සමග තවත් රසවත් හෝරා කිහිපයක් මැදමුලනේදී ගෙවා දැමීමෙන් පසුවය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත , ඔක්තෝම්බර් 01 වැනි බ්‍රහස්පතින්දා