පොල්පිතිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිසියට හිතවත් පුද්ගලයින් පිරිසක් විසින් දිගින් දිගටම තමාට පහරදෙමින් හිරිහැර කරන බවටත්, තමා මරා දැමීමට උත්සාහ කරන බවටත් චෝදනා කරමින් පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු සිය දරුපවුලද සමග පැමිණ ඊයේ (25 දා ) පස්වරුවේ කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණිල්ලක් කරනු ලැබීය.
මෙලෙස කුරුණෑගල පිහිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ පැමිණිලි කරනු ලැබුවේ පොල්පිතිගම, පොතුවිල වැව අසල පදිංචි බව කියන බාලසූරිය ලේකම්ලාගේ නිමල් සුදසිංහ නැමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.
දැනට වසර කිහිපයකට පමණ පෙර සිය බිරිද දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙකු විසින් තමා ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කිරීම පිළිබදව උරණ වී තමා පදිංචි වී සිටි නිවස අවස්ථා දෙකකදී ගිනි තැබූ බව නිමල් සුදසිංහ මහතා පැවසීය. එම ව්‍යාපාරිකයාට හිතවත් පොලිස් නිලධාරීන් විසින් බොරු චෝදනා මත විටින්විට තමාව අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් විසින් අවස්ථා කිහිපයකදීම තදබල ලෙස පහරදීම නිසා රෝහල්ගත වෙන්නට සිදු වූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මීට දින කිහිපයකට පෙරදී තමාට පහරදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට පිරිසක් විසින් උත්සාහ කළ බවත් , ඔවුන්ගෙන් ගැලැවී පලාඒමට හැකි වූ නමුත් ඇති වූ තුවාල හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබන්නට සිදු වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය. රෝහලෙන් නිදහස් වූ සැණින් ජීවිතාරක්ෂාව පතා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කිරීමට පැමිණි බවද සුදසිංහ මහතා කීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවීමේ අපේක්ෂ්වෙන් පැමිණි නමුත් ඔහුව හමුවීමට අවස්ථාවක් නොලැබුණු බවද, තමාට පොල්පිතිගම පොලිසියෙන් සහ එහි නිලධාරීන්ට හිතවත් කණ්ඩායම්වලින් තමාට එල්ල වී ඇති මරණ තර්ජන පිළිබදව සවිස්තර ලෙස කුරුණෑගල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළ බවද ඉන් පිටතට පැමිණි සුදුසිංහ මහතා පැවසීය.