වන අලියෙකු පහර දීම හේතුවෙන් ආණමඩුව – මහකුඹුක්කඩවල, කොහොඹගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් ඇත.පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇත.වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් මිය ගොස් ඇත්තේ මහකුඹුක්කඩවල – ලීකොළවැව පදිංචිව සිටි ඒ.එච්.එම්.ජිනදාස (අවු:60) නම්වූ තිදරු පියෙකි.
මිය ගොස් ඇති අය පා පැදියකින් ගමන් කරමින් සිටින විට වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.
වසර කීපයක සිට මහකුඹුක්කඩවල ප්‍රදේශයට කඩා වැදී සිටින වන අලි රංචුවක් නිසා තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව එම ප්‍රදේශවාසීන් කියයි.මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයින් 09 දෙනෙකුව වන අලි පහර දීම හේතුවෙන් මිය ගොස් ඇත.ප්‍රදේශයේ වගා බිම් රැසක්ද වන අලින් විසින් විනාශ කර ඇති බව පසුගිය කාලය තුළ අවස්ථා ගනනාවකදී මාධ්‍යයන් මගින් හෙලි කර සිටියේය.
මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක සහ වගා නොකර අතහැර දමා ඇති ඉඩම් වල දිවා කාලයේ මෙම වන අලින් වාසය කරන බව ප්‍රදේශවාසීන් කියයි.දිවා කාලයේ වනාන්තර වල ගත කරන වන අලින් රාත්‍රී කාලයේ ගම් වැදී වගාවන් විනාශ කරමින් මිනිස් ජීවිත අනතුරට පත් කරමින් සිටී.
පසුගිය කාලයේ දේශපාලන අධිකාරියේ සහ වන ජීවී නිලධාරීන්ගේ මැදිහත් වීම මත මෙම වන අලි රංචුව විල්පත්තුව දක්වා පලවා හැරීමේ මෙහෙයුම් කීපයක් ආරම්භ කළත් ඒ සියල්ල අසාර්ථක විය.ගම්වැදී සිටින වන අලින් පලවා හැරීමට පෙර ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඒ සදහා සකස් කළ යුතු බව ගම්මු සදහන් කරති.වන අලින් රැගෙන ගොස් ගාල් කිරීමට තෝරා ගන්නා ප්‍රදේශය සතුන්ට හිතකර ප්‍රදේශයක් බවට පත් නොකළහොත් වන අලින් නැවත ගම් වැදීම පාලනය කළ නොහැකි බවද ගම්මු කියා සිටිති.
පුත්තලම හදිසි මරණ පරීක්ෂක නන්දන විමලවීර මහතා විසින් මූලික විමර්ශණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මළ සිරුර පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරන ලදි.
මුන්දලම පොලීසිය විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.