කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට විවිධ වෘත්තීන් බිමටම කඩා වැටී ඇති බව අප මීට පෙරද කථා කර ඇත.පවතින උවදුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින වෘත්තිකයින් වෙනුවෙන් රජය විවිධ සහන ලබා දෙන බවද පසුගිය කාලයේ අසන්නට ලැබුණි.ඇතමුන්ට නම් එවන් සහනයක් ලැබුණු බවට සැකයක් නැත.
නමුත් කිසිදු සහනයක් නොමැතිව කොරෝනාවට ශාප කරන තවත් පිරිසක් අපට හමු විය.නයි සහ රිලවුන් නැටවීමෙන් බඩ වියත රැක ගන්නා ඔවුන් අහිගුණ්ඨිකයින් ලෙස අප හදුන්වමු.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයයේ ජීවත් වන තෙළිගු වරිගයට අයත් මොවුන් කුමන ආකාරයට මෙරටට පැමිණියාද යන්න තහවුරු වූ තොරතුරු නැත.නමුත් වසර ගනනාවක සිට එම ජනතාවද අපේ රටේ විවිධ ප්‍රදේශ වල ජීවත් වෙති. පවුල් 1000 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජීවත් වුනත් වර්තමානය වන විට එම ප්‍රමාණය අඩුවී ඇති බවක් දක්නට ඇත.
අතීතයේදී බූරුවෙකු පිට තවලමක් බැද පෝලිමට අහිගුණ්ඨික ජනතාව ගමින් ගම ගමන් කරන ආකාරයක් අප දැක ඇත.එසේ ගමන් කරන ඔවුන් ජලය ආශ්රිත ස්ථානයක කූඩාරම් තනාගෙන සතියක පමණ කාලයක් ජීවත් වෙති. පිරිසිදු කම සම්බන්ධයෙන් ඔවුන් කිසිදු තැකීමක් නොකිරීම හේතුවෙන් එක් ස්ථානයක සතිකට වැඩි කාලයක් වාසය කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව අතීතයේදී අප අසා ඇත.
එසේ තාවකාලිකව කූඩාරම් තුළ පදිංචි වන ඔවුන් ඒ අවට ඇති ගම්මාන වල ගමන් කරති.කාන්තාවන් අත බලා සාස්තර කියන අතර,පිරිමි සහ පොඩි දරුවන් නයින් සහ රිළවුන් නැටවීමෙන් ආදායම සරි කර ගනිති.ඇතැම් අහිගුණ්ඨිකයින් සතුව පිඹුරන්,පොළගුන් වැනි උරගයින්ද සිටින බවක් දක්නට ඇත.
උරගයින් ළග තබා ගැනීම මෙන්ම බූරුවන් පිටස්තර ප්‍රදේශ වලට රැගෙන යාම නීතියෙන් තහනම් වුවත් අහිගුණ්ඨිකයින්ට එම තහනම කිසිදු දිනක බලපා ඇති බවක් අසන්නට නැත.ඒ ඔවුන්ගේ ජීවන චක්‍රය සමග මෙම සතුන් බද්ධ වී තිබීම හේතුවෙනි.
80 දශකයේදී තඹුත්තේගම – කුඩාගම ප්‍රදේශයේ අහිගුණ්ඨිකයින් වෙනුවෙන්ම ගම්මානයක් නිර්මාණය කරන්නට දිවංගත අගමැති ආර්.ප්‍රේමදාස මහතා කටයුතු කරන්නේය.ඒ අනුව එතෙක් කූඩාරම් වල ජීවත් වූ ඔවුන්ට ස්ථීර නිවහනක උරුමය හිමි වන්නේය.නමුත් නිසි නඩත්තුවක් නොමැති කම නිසා එම ගම්මානයද පසු කාලකෙ අභාවයට යන්නේය.
එම ගම්මානයේ මෙන්ම මෙරට විවිධ පළාත් වල පදිංචිවී සිටි අහිගුණ්ඨික දරුවන් අතරින් සීමිත පිරිසක් කුමන ආකාරයට හෝ අධ්‍යාපනය සාර්ථක කර ගෙන ඇති බවක් දැන ගන්නට ඇත.ඒ අනුව ඔවුන් තමන්ගේ පෙළපත් නාමය වෙනස් කරගෙන මේ වන විට රජයේ රැකියාවන් කරන බවද වැඩිහිටි අහිගුණ්ඨිකයින් කියා සිටී.එමෙන්ම ඇතැම් අහිගුණ්ඨික තරුණියන් ඇගළුම් කර්මාන්ත වල සේවයට යාම හේතුවෙන් වරිගය අතහැර ගොස් ඇති බවද ඔවුන් කියා සිටී.තවද වර්තමානයේ ජීවත් වන අහිගුණ්ඨික තරුණයින් පාරම්පරික වෘත්තියට අකමැත්තක් දක්වමින් සිටින බවද ඔවුන් කියා සිටී.
නමුත් මෙරට 200 ක් පමණ වන ඉතාමත්ම සුළු වැඩිහිටි අහිගුණ්ඨිකයින් පිරිසක් පමණක් තවමත් පාරම්පරික වෘත්තියේ නියැලෙන බවක් දක්නට ඇත.නමුත් වර්තමානයේ ඔවුන්ට එල්ලවී ඇති ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ කොරෝනා වසංගයයි.මෙම තත්ත්වය හේතුවන් ඔවුන්ට ගමින් ගමට යාමට හැකියාවක් නැත.
එමෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරය කඩා වැටීම මොවුන්ගේ වෘත්තීය බිම වැටීමට තවත් එක් හේතුවක් වී ඇත.මන්ද අතීතයේදී රට පුරා සංචාරය කරන සංචාරකයින් මග මග සිටින අහිගුණ්ඨික ජනතාව සතුව ඇති විවිධ උරගයින් සමග ඡායාරූප ගැනීමට කටයුතු කිරීම තුළින්ද ඔවුන් හොද ආදායමක් ලබා ගත් බැවිනි.නමුත් එයම මේ වන විට කඩා වැටී ඇත.
එම වැඩිහිටියන්ට වෙනත් වෘත්තියක් කරන්නට හැකියාවක්ද නැති බව කියති. වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා වලට සහනයක් ලබා දෙන්නට කිසිදු රජයේ නිලධාරියෙකු ඉදිරිපත් නොවන බවද අහිගුණ්ඨික ජනතාව කියා සිටී. ඇතැම් පැරණි අහිගුණ්ඨිකයින්ට උප්පැන්න සහතිකයක්,ජාතික හැදුණුම්පතක් හෝ නොමැති වීම ඊට හේතුව බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය.
නමුත් ඔවුන්ද අප රටේම ජන වර්ගයක් බව අප අමතක නොකළ යුතුය.විදෙස් රටවල් වලින් පැමිණ මේ වන විට අප රට තුළ බින්න බැස ඇති සියල්ලෝම ශ්‍රී ලංකිකයින් ලෙස පිළි ගන්නා බැවින් මොවුන් සම්බන්ධයෙන්ද අවධානයක් යොමු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.
ජුඩ් සමන්ත.