රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණවලදී පොලිසිය මාධ්‍ය සන්දර්ශන පවත්වනවාද යන්න ගැන පරීක්ෂණ පවත්වන බවයි. පොලිසියට එවැනි සන්දර්ශන පවත්වන්න සිදුවන්නේ අපේ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමයේ පවතින ගැටලුවක් නිසාද ? මේ දිනවල කතා බහට ලක්වන පාතාල සහ මත්ද්‍රව්‍ය වැටලීම් ද අනාගතයේදී මාධ්‍ය සන්දර්ශන නොවන බවට සහතික කළ හැකි ද? එසේනම් එවැනි අත්අඩංගුවට ගැනීම් සහ ඒවා ප්‍රචාරයට ලක්වීම නිසා අසාධරණයට ලක්වන පිරිසට ඇති රැකවරණය කුමක්ද ? නිමා නොවන සංවාදයක ආරම්භය ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් නීතිඥ බැසිල් ප්‍රනාන්දු සමග ජයනි අබේසේකර සිදුකරන ලදී.
නීතිය ගැන විශ්වාසය
සාමාන්‍ය නීතිය හොඳින් ක්‍රියාත්මක වන තත්ත්වයකදි හොරෙක්ව ඇල්ලුවම මිනිස්සු හිතන්නේ වැරදිකාරයෙක් ඇල්ලුවා – අපේ නීති ක්‍රමය ගැන විශ්වාසයි ඒ නිසා අපේ සහයෝගය මේ නීති ක්‍රමයට දෙන්න ඕනි කියලයි’. නමුත් සමාජයේ නීතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන් කඩා වැටිලා තියෙන තත්ත්වයක් යටතේ මිනිස්සුන්ට හොරෙක්ව අහුවුනාම කරන්නේ අල්ලගෙන ඔහුට පහර දෙන එකයි.
මේ දෙකේ වෙනසක් තියෙනවා. පළවෙනි එක සහයෝගය, දෙවනි එක කලකිරුණ මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියා. ලංකාවේ අපි අත්දකින්නේ අපරාධ මර්දනයට මිනිස්සුන්ගේ සහයෝගීතාවය නෙවෙයි කළකිරුණ මිනිස්සුන්ගේ ප්‍රතික්‍රියායි. එක ආණ්ඩුවක් තිබියදි හිරේ යන මනුස්සයෙක් තව ආණ්ඩුවකින් නිදහස් වෙනවා නම් මේ රටේ ජනතාව තුළ ඇති වෙන විශ්වාසය මොකක්ද?
බරපතල අපරාධ සම්බන්ධයෙන් මහජනතාව දක්වන උදාසීනත්වය සහ එය අපරාධකරුවන්ට වාසිසහගත ලෙස ක්‍රියාත්මක වීම කියන එක අපි අත්දකින ඇත්තක්. විශේෂයෙන්ම ආණ්ඩු අපරාධකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා කරන දේශපාලන බලපෑම් නිසා අපරාධකරුවන්ව ආරක්ෂා වෙනවා වගේම විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ද අපරාධකරුවන් පසුපස බිය හෝ ප‍්‍රතිවිපාක නොතකා ලූහුබැඳ යාම අධෛර්යයට පත් කෙරෙනවා.
රටක අපරාධ පිළිබඳ ගැටලුව සම්පූර්ණයෙන් නැති කරන්න බැරි වුනත් මේවා මැඩ පැවැත්වීමට හැකියාව තිබෙන්නේ අපරාධ යුක්තිය පසිඳලීම පිළිබඳ පසුබිම යටතේයි.
විමර්ශනයට නොව ප්‍රචාරණයට මුල්තැන
ලංකාවේ මත්ද්‍රව්‍ය මර්දනය බන්ධනාගාර හා ඒ අවට සිද්ධ වෙන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම වගේම සංවිධානාත්මක අපරාධ මැඩලීම සම්බන්ධව විශාල කතා බහක් තිබෙනවා සහ මේ සඳහා මූලිකත්වය ගන්නේ කාර්යසාධක බලකායක් මාර්ගයෙන් බවටත් වාර්තා පළ වෙනවා. ඇත්තටම මේවා මැඩලීම හොඳයි. නමුත් දැන් සිද්ධ වෙන්නෙ තැන් තැන් වලින් මත්ද්‍රව්‍ය ටිකක් සහ වැරදිකාරයෝ ටිකක් අල්ලලා දඬුවම් දෙනවා සහ ඒකට විශාල ප්‍රචාරයක් ලැබෙනවා. ජනතාව අසමත් වෙලා තිබෙනවා මේ ප්‍රශ්නය දිහා විවේචනාත්මකව බලන්න. විශේෂයෙන්ම ප්‍රචාරයක් ලබා දීලා අල්ලන අය උසාවිය ඉදිරියේදී අවසානයේ වරදකරුවන් වෙන්නේ නැහැ.
අපරාධ කියන්නේ සිවිල් යුද්ධයක් නොවෙයි
ඕනෑම රටක අපරාධ මර්දනයේ ප්‍රධානම සංවිධානය පොලිසියයි. අපරාධ කියන්නේ සිවිල් යුද්ධයක් නෙවෙයි. නමුත් පොලිසියත් යුද්ධයකට මුහුණ දෙන විදියට අපරාධයකට මුහුණ දෙන බවකුයි අද අපිට පේන්න තිබෙන්නෙ. පොලිසියට වේගවත්ව, කාර්යක්‍ෂමතාවයෙන් යුතුව විමර්ශන සිදුකිරීමට නොහැකිකමත් අධිකරණ ඉදිරියට රැගෙන ආයුතු අපරාධකරුවන් හඳුනාගැනීමට නොහැකිකම යන්නත් අපරාධ මර්දනයේදි මුහුණ දෙන බරපතළ ගැටලුවක්.
ඉතාම පැහැදිලිව ලෝකයේ ඇතැම් රටවල් අපරාධ අවම කරල තිබෙනවා මර්දනය උපරිම නොකර. මිනිස්සුන්ට ගහල වධදීලා මරලා නෙවෙයි මෙය කරන්න පුළුවන්. සාධාරණ නීති ක්‍රමයක් යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්, පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් අධිකරණය මාර්ගයෙන් දඬුවම් පමුණුවන්න පුළුවන්. අපරාධ යුක්තියේ ප්‍රධානම මූලධර්මය තමයි දඬුවම් කළ හැක්කේ අධිකරණ විනිශ්චයකාරයෙකුට පමණයි කියන එක. නමුත් අද ලංකාවේ ඒක වලංගු නැහැ. පොලිස් නිලධාරියා පවා අධිකරණයේ විනිශ්චයකාරවරයෙකු කළ යුතු වැඩ කරන්නේ. ඒ නිසා ප්‍රශ්නේ විසඳන්න හදන්නෙම ප්‍රශ්නේ මඟ හැරලා.
සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව
අපේ රටේ අපරාධ මර්දනයට තිබෙන ලොකුම බාධාව තමයි සාක්ෂිකරුවන්ට හිංසා කිරීම. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පනතකුත් ගෙන එනු ලැබුවා. නමුත් සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුතුයි කියන අදහසම මිය ගිය අදහසක්. මොකද සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමකින් තොරව කොහොමද බරපතළ අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග පවත්වන්නේ? විශාල මූල්‍ය බලයක් දේශපාලන බලයක් තිබෙන අය තමයි මේ අපරාධ කරන්නේ. එවැනි අයට විරුද්ධව සාක්ෂි දෙන්න පුද්ගලයන් ඉදිරිපත් වෙනවාද? ඒ ඉදිරිපත් වෙන අයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය තිබෙනවා.
පොඩි එකෙක්ව අල්ලා ගැනීම
අපරාධ මර්දනය සම්බන්ධව තිබෙන අනෙක් පැතිකඩ තමයි පොලිස් නිලධාරීන්ට සිදුවෙනවා යම් නඩු ප්‍රමාණයක් අල්ලගන්න, කවුරු හරි උසාවියට ගෙන යන්න. ඒකට කිසිදු බලයක් නැති සමාජයේ එක් ස්ථරයක ඉන්න මිනිස්සුන්ව මොකක් හරි නඩුවකට පටලවලා ඒ ගැන වාර්තා යවලා උසස්වීම් ගන්න තමයි හදන්නේ. මම උසාවියේ වැඩ කරන කාලේ මෙවැනි අත්දැකීම් ගණනාවක් මට තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවන් වැටලීම සිදුවෙනවා කිව්වට මහා පරිමාණයේ ජාවාරාම්කරුවන් නෙවෙයි වැඩිපුර අල්ලනවා පේන්නේ කීයක් හරි ගාණක් හොයාගන්න මේවාට සහය දීපු ආර්ථීකව විශාල අභියෝගයන්ට මුහුණ දෙන මිනිස්සු තමයි අහුවෙන්නේ.
අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ
ඒ නිසා ඇත්ත ගැටලුව විසඳන්න නම්, පළමුවෙන්ම අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමයේ පවතින ගැටලු, අපරාධ මර්දනය කිරීමේදී බරපතළ බාධාවන් වශයෙන් තිබෙන බව රජය, ජනතාව ඉදිරියේ පිළිගත යුතුයි. 2017 වසරේ නඩු ප්‍රමාදය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවකින් වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් එය පවා මේ සමස්ත ප්‍රශ්නයට අත තැබුවේ නැහැ. ඒ නිසා රජය ඇත්තටම මේ තත්ත්වය පිළිගැනීම අවශ්‍යයි. දෙවැන්න, මේ ක්‍රියාදාමය තුළ සිටින නිලධාරීන්ට ඉඩ දිය යුතුයි බියෙන් සහ සැකෙන් තොරව නීතිය ක්‍රියාත්මක වීමට සහ එසේ කිරීමට ඉඩ දෙනවාය කියන ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට. තුන්වැන්න, මේ ක්‍රියාදාමය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා දීමට රජය පියවර ගත යුතුයි. යුද්ධය පටන් ගන්න කාලෙදි අපිට විශාල බලයක් හෝ ආයුධ ප්‍රමාණවත්ව තිබුණේ නැහැ. නමුත් බඳවා ගැනීම් වැඩි කරල, ආයුධ සහ අනෙකුත් උපකරණ ගෙන්වලා, සොල්දාදුවන්ගේ වේතන වැඩි කරල, විනය හදලා ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සම්පත විශාල පරිමාණයෙන් යොදවලා තමයි හමුදාව ඔය තත්ත්වයට ගෙන ආවේ. නමුත් පොලිසිය හදන්න ඒ වගේ විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. ඊට වඩා බොහෝ අඩු පිරිවැයක් දරල පොලිසියේ ප්‍රතිසංස්කරණය කළ හැකියි. නමුත් ගැටලුව තිබෙන්නේ එවැන්නක් කරන්න කැමැත්ත නැතිකම.
අධිකරණ පද්ධතිය වහා වහා ප්‍රතිසංස්කරණය කරල, නඩු වේගයෙන් අහලා වැරදිකරුවන්ට දඬුවම් කරන්න කටයුතු කරනවා නම්, මේ ප්‍රශ්නය ඇත්තටම විසදෙන්න පටන් ගන්නවා. අධිකරණ පද්ධතියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කියන්නේ ඉතාම සුළු දේවල්. එහි කළ යුතු ප්‍රධානම දේ නඩු කල් දැමීම්වලට ඉඩ නොදීම. දෙවැන්න ඉස්සර ජුරි සභා තිබෙන සමයේ නඩුවක් පටන් ගත්ත දවසේ ඉඳලා එක දිගට නඩුව අහනවා. නමුත් දැන් මේ ක්‍රමය නැති වෙලා. නඩු ඇසීම ඉක්මන් වෙන්න පටන් ගත්තම මේ යාන්ත්‍රණයේ අනෙක් සියලු දේවල් වේගවත් වෙන්න පටන් ගන්නවා. පොලිසියට සිද්ධ වෙන්වා සාක්ෂි හොයලා නඩුවට ඉදිරිපත් වෙන්න නැත්නම් අදාළ පුද්ගලයාව නිදහස් කරන්න. විශේෂයෙන්ම මේ නිසා සාක්ෂිකරුවන් බය ගැන්වීමට තිබෙන ඉඩකඩ විශාල වශයෙන් අඩු වෙනවා. ඇත්තටම අපරාධ නඩුවක් විභාග කරන්න අවුරුද්දක්, වැඩිම වුනොත් අවුරුදු දෙකක් හොඳමට ප්‍රමාණවත්. ප්‍රශ්නේ ඇත්තටම විසඳන්න නම් එතනිනුයි පටන් ගන්න ඕන.
උපුටා ගැනීම – www.samabima.com