ආරක්ශිත ප්රදේශයක් ලෙස අභය භූමියක් වශයෙන් නම්කර තිබෙන පුත්තලම දිස්ත්රික්කයේ තිබෙන ප්රධාන වැව් පද්ධතියකින් සමන්විත ආනාවිලුන්දාව අභය භූමිය (Anavilundava Sanctuary)පසුව තෙත්බිම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය (Ramsar Convention) යටතේද වටිනා තෙත්බිමක් වශයෙන් නම්කරනු ලැබීය.
මේ වටිනා පරිසර පද්ධතියට ආරක්ශාව ලබාදීම ඔස්සේ ජලජ පක්ශීන් දස දහස් ගනනකගේ ප්රජනන ස්ථානයක්,තවත් දහස් ගනනකගේ පෝශන සහ ලැගුම් ස්ථානයක්,දුලබ සමනල් විශේෂ ගනනාවක වාසස්ථානයක් මෙන්ම උඩවැඩියා සහ ලයිකන ඇතුලු වටිනා ශාක රාශියක නිජබිමක් ආරක්ශාවට නතුවිය.
එසේම මෙම ආරක්ශාව නිසා ඉතා සරුසාර කුඹුරු ඉඩම් විශාල ප්රමානයක සුරක්ශිතතාවයත්,වගාබිම් ගනනාවක අඛන්ඩ පැවැත්මත්,එමඟින් ප්රදේශවාසීන් රැසකගේ ජීවනෝපායනුත් සුරක්ශිත වී තිබේ.
මේ ප්රදේශය අභය භූමියක් බවට පත්කර ගැනීමට හැකිවූයේ ලංකා කුරුලු සංගමයේ එවකට සභාපතිව සිටි නැසීගිය තිලෝ හොෆ්මාන් මහතාත්,උපාලි ඒකනායක සහ දීපාල් වරකාගොඩ යන මහතුන් යන ලංකා කුරුලු සංගමයේ (Ceylon Bird Club) තෙදෙනකු ස්වකීය ධනය යොදා ගනිමින්,වසර ගනනාවක් තම නිදහස් කාලයත් කැප කරමින් කල ස්වේච්ඡා අධ්යයනයක වාර්තාවන් පදනම් කර ගනිමිනි.මෙතෙක් ස්වේච්ඡාවෙන් කල අධ්යයනයන් නිසා ආරක්ශිත ප්රදේශ බවට පත් මෙරට දෙවන ස්ථානය වශයෙනුත් ඒ නිසා මෙහි ඉතා වටිනා සංකේතාත්මක වටිනාකමක් තිබේ.
එසේම ශ්රී ලංකාවට පැමිනෙන ඉතා දුලබ අහඹු සංක්රමනික පක්ශියෙකු ලෙස සලකන ලද ”මහ තඹ සේරුවා” (Fulvous Whistling Duck / Large Whistling Teal) 2015 දී ප්රථම වරට මෙරට ප්රජනනය කිරීම මඟින් වටිනා නව වාර්තාවක් සිදුවුනේත් මෙහිය.එය පසුකලක මුද්ද්දරයකින් පවා නිරූපනය කර තිබේ.
මෙම අභය භූමියේ එක් කෙරවලක,එනම් බටහිර මායිමට ආසන්න ප්රදේශයේ කඩොලාන පද්ධතිය බොහෝ දුරට අතීතයේදී විනාශ කර තිබුනු නිසාවෙන් පසුගිය කාලය පුරාම වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව,වයඹ විශ්ව විද්යාලයේත් සහය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්රතිස්ථාපනය කිරීමේ වැඩ සටහනක් ආරඹ්හ කර තිබේ.එය කඩොලාන පිලිබඳ ජාතික වගකිම (National Commitment on Mangrove Protection) ඉටුකිරීමේ කොටසක් ලෙස මෙන්ම කඩොලාන පිලිබඳ ජාතික ප්රතිපත්තිය (National Policy on Mangroves) සහ ක්රමෝපාය අනුවත් සිදු කෙරෙන්නෙකි.
නමුත්,මෙසේ ප්රතිස්ථාපනය කෙරෙමින් පැවති මෙන්ම තවමත් ඉතිරිව තිබෙන කඩොලාන පද්ධතියක් 2020.08.25 දින රාත්රියේදී මුලුමනින්ම වනසා තිබේ.මෙය ඉස්සන් වගාවක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බවත් මේවනවිට දන්නා තොරතුරු අතර වේ.
මෙම ප්රදේශයේ අතීතයේ තිබුනු ඉස්සන් වගාව නිසා සිදුවූ මහා පරිසර විනාශය තවමත් සමනය වී නැත.නමුත්,නැවතත් ඉස්සන් හෝ වෙනත් කිවුල්දිය ජලජීවී වගාවන් ආරඹ්හ වුවහොත්,එමඟින් ඇතුලට ඇදීඑන ලවනතාවය නිසා මෙම මුලු පද්ධතියම මෙන්ම විශේශයෙන් කුඹුරු ඉඩම් සහ ගොවිබිම් විනාශයට පත්වීම අනිවාර්යයෙන් සිදු වන්නකි.ප්රදේශවාසී ගොවීන් ජලජීවී වගාවන්ට තම දැඩි විරෝධය අතීතයේදී දක්වා තිබුනත්,මෙවර මේ පිටුපස තිබෙන දේශපාලන බලය හමුවේ අසරන වනු නියතය.
එමෙන්ම ,ජලජීවී වගාවල ඇතිකරන ඉස්සන් වැනි සතුන් සහ පොකුනුවල තිබෙන විවෘත ජල ප්රදේශ ජලජ පක්ශීන් ආකර්ශනය කරනු නියතය.එවිට මේ ජලජීවී වගාකරුවන් එම ජලජ පක්ශීන් නීතිවිරෝදීව වනසා දැමීමටත් කටයුතු කිරීම වලක්වා ලිය නොහැකි වනු ඇත.
එහි සම්ප්රයුක්ත ප්රත්ඵලය වන්නේ මේ වටිනා පරිසර පද්ධතියේ විනාශයයි.
මේ සම්ඟින් මේ ප්රදේශයට රම්සා ප්රඥප්තියෙන් ලැබීතිබෙන පිලි ගැනීම ඉවත්කර ගැනෙනු ඇත.එසේම කඩොලාන ප්රතිස්ථාපන වැඩ සටහනට මෙන්ම ලොව හමුවේ ශ්රී ලංකාව ලබාදී තිබෙන ජාතික කැපවීමත් ඉතා දැඩි ලෙස උල්ලංඝනය වනු ඇත.
මේ ප්රදේශය අන්තර්ජාතිකව සංචාරකයන් අතර ප්රචලිත නිසා මෙරට සංචාරක ව්යාපාරයටත් එයින් විශාල පසුබෑමක් වනු ඇත.
මේ සියලු හේතු නිසා මෙම විනාශය වහාම නතර කරගත යුතු වේ.
මේ සියලු හේතු නිසා මෙම විනාශය වහාම නතර කරගත යුතු වේ.
මෙහිදී ප්රධානම වගකීම පැවරෙන්නේ වයඹ පලාත් පරිසර අධිකාරියටය(North-Western Provincial Environmental Authority).තම පලාත තුල පරිසරය රැක ගැනීමේ ඒකායන බලය තමන් සතු යැයිද මධ්යම පරිසර අධිකාරියට බලතල නැතැයිද කියා කීමට නොපසුබට මේ ආයතනයට වයඹ පලාත් පරිසර ප්රඥප්තියේ (North-Western Province Environmental Statute) 51 වන වගන්තිය ප්රකාරව මෙම විනාශය නතරකර ගැනීමට විධානයක් නිකුත් කිරීමට මෙන්ම ඊට අවනතව කටයුතු නොකරන්නේ නම් එම නියාගය අධිකරනය හරහා තහනම් නියෝගයක් ලෙස ක්රියාත්මක කරවා ගැනීමටත් හැක.දෙවනුව,වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුවටත්,වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 07 වන වගන්තිය අනුව ක්රියාත්මක විය හැක.
එමෙන්ම,අතීතයේ මෙන් මීටත් ජනතා විරෝධය අනිවාර්යයෙන්ම එල්ලවිය යුතු වේ.
ජගත් ගුණවර්ධන