Saturday, November 23, 2024

ආසාදිතයින් පොකුරක් නිර්මාණය වීම වැළක්වීම පොලීසිය සතුව විශාල වගකීමක් – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියයි

Must read

07 (2) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට ඇදිරිනීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (12) වන දින පොලිස් මුලස්ථානයේ දී  ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඇඳිරිනීතියට පරිබාහිර අවස්ථාවක දී වුවත් නිරෝධායන රීතීන්ට පටහැනිව ක්‍රියා කරන්නේනම් ඔවුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා අවධාරණය කර සිටියේය.

පළවෙනි COVID-19 වෛරසය අසාදිත ශ්‍රී ලංකික රෝගියා හමුවීමෙන් පසු මහත් වෙහෙසක් දරමින් වෛරසය ව්‍යාප්තවීම මර්දනය කරමින් දින 60 ක් වැනි කාලයක් ගතව ඇති තීරණාත්මක මොහොතක මේ වන විට රට විවෘත වී ඇත. ඒ අනුව, (11) දිනයේ සිට කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක මේ වන විට ඇඳිරිනීතිය පවතිද්දීම එදිනෙදා කටයුතු කරගෙන යනු ලැබේ.

සෞඛ්‍ය බළධාරීන් ඉතාම වෙහෙස වී කටයුතු කරන අවස්ථාවක, නිතිය ක්‍රියාත්මක කෙරෙන ප්‍රධානම අවස්ථාවක ආසාදිතයින් පොකුරක් (Cluster) නිර්මාණය වීම වැළක්වීමට ශ්‍රී ලංකා පොලීසිය සතුව විශාල වගකීමක් පවතින බවත්, මහජනයා එක් රැස් වීම වැළක්වීමට, නිවසින් පිටත් වීම, ඇතුළුවීම වැනි කාරනා 19 ක් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සලසන ලෙස 1897 නිරෝධායන අඥා පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෙගුලාසියකට අනුව පොලිස්පතිවරයා වෙත බලය පවරනු ලැබුණු බවත්, එකී බලය පැවරීමට අනුව පසුගිය මාර්තු 18 වන දා සිට 83, 000 ට ආසන්න ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන් මඟින් ඒ ඒ ආදාළ කටයුතු සිදු කරනු ලැබූ බවත්, අජිත් රෝහණ මහතා කරුණු පැහැදිළි කරමින් කියා සිටියේය.

ඒ අනුව, නිරෝධායන රීතීන්ට පටහැනිව ක්‍රියාකළ පුද්ගලයින්, වාහන සහ දේපොළ අත්අඩංගුවට ගනු ලැබූ බවත්, නීතියේ නියම ක්‍රමවේදය අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම ඒ මහතා මෙසේ ද පැවසිය;

“ප්‍රථමයෙන්ම ඇදිරිනීතිය පැනවූයේ පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ පොලිස් වසමට. ඉන්පසු එය තවත් දිස්ත්‍රික්ක වලට ව්‍යාප්ත වූවා. පසුව ලංකාවටම ව්‍යාප්ත වූවා. ඇතැම් ප්‍රදේශ වසා දැමීමට කටයුතු කරනු ලැබුවා. එම පෙදෙස් වල පිරිසට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩ දුන්නේ නැහැ. පැය කිහිපයකට හෝ ඇදිරිනීතිය පැනවීම සහ ඉවත් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් පොලිස්පතිවරයා වෙත ලබා දෙන නියෝග වලට අනුවයි. මෙම නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ මත පල වුවා. නිතිය පිලිබඳ විවිධ මත පළ කරනු ලැබුවා. සමහර මානව හිමිකම් ක්‍රියාකාරීන් යැයි පවසන පිරිස් විසින් මෙම ඇදිරිනීතිය නිත්‍යානුකුල නැහැ කියා පවනු ලැබුවා. එමඟින් ඔවුන් වක්‍රව උත්සහ කළේ නිවෙස් වල සිටින අය පාරට බස්වා මේ පිලිබඳ ජනමතයක් ඇති කරලීමට. එහෙත් වාසනාවකට මෙන් එම ජනමතය ජනගත වූයේ නැහැ. එය එය ජනගත වූවානම් මිනිසුන් පාරට බහිනවා. එය එසේ වූවානම් අපිටත් වෙන්නේ ලෝකයේ දියුණුතම රාජ්‍යයන්ට වූ විනාශයමයි.”Photo by Jude Samantha

කෙසේ වුව ද, ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් දිගින් දිගටම විවිධ අදහස් මත පළ, විවිධ කරුණු ඉදිරිපත් කළ බොහෝ පිරිසකට (11) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබා දුන් නඩු තීන්දුව මඟින් පිළිතුරු ලැබුණු බවත්, ඇදිරිනීතිය පැනවීමේ බලය ඇත්තේ රටේ රාජ්‍ය නායකයාට බවත් අජිත් රෝහණ මහතා කියා සිටියේය.

ඒ අනුව, එලෙස විධ අදහස් පළ කළ පුද්ගලයින් මහජන ආරක්ෂක පනත උපයෝගී කරගනිමින් සෞඛ්‍යයට කිසිඳු සම්බන්ධකමක් නොමැති නීතියක් උපයෝගී කරගනිමින් ජනමතයක් ඇති කිරීමට කටයුතු කළ බවත්, ඊයේ ලබා දුන් නඩු තීන්දුව මඟින් අධිකරණය එය බැහැර කර ඇති බවත්, මේ රටේ කිසිඳු අයුරකින් ජාතික ආරක්ෂාව පිළිබඳ, මහජන සාමය කඩ වීම පිළිබඳව හෝ ගැටළුවක් නොමැති බවත්, ඒ අනුව ඇදිරිනීතිය පැනවීමට මහජන ආරක්ෂක පනත ඇදිරිනීතිය සඳහා උපයෝගී කර ගත නොහැකි බව අධිකරණය විසින් ලබා දුන් එම නියෝගයේ පැහැදිලිව සඳහන් කර තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම මෙම මාස 02 ක කාලය තුළ විශේෂ අවස්ථාවල දී පොලිස් ඇදිරිනීතිය ද පනවනු ලැබුණු අතර ඊට බෙහෙවින්ම හේතු වුයේ ද නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරවීම බවත්, රට ලිහිල් කළ ද පවත්නා අනතුරු සහගත තත්ත්වය තවමත් ලිහිල් වී නැති හෙයින් නැවත එවැනි තත්ත්වයක් මෙරට තුළ ඇති වීම වැළක්වීම සඳහා නිතිය ක්‍රියාත්මක කරන ආයතනය වශයෙන් මහජන සෞඛ්‍ය පිලිබඳ ක්‍රියාවලියට ඉදිරියේ දී ත් සෞඛ්‍ය අංශ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ දායකත්වය උපරිම අයුරින් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article