(2.02 pm) ඊයේ 29 වෙනිදා හලාවත -පුත්තලම මාර්ගයේ ලුණුඔය ට පෙරළී තිබූ කන්ටේනර් රථයක් ගොඩට ගැනීමට පැය 24 ක වැඩි කාලයක් ගතවිය.
පෙරළී ගොස් තිබූ ලොරියේ බිත්තර ලක්ෂයක් තිබී ඇත.මංගලඑළිය කුකුළු ගොවිපලක සිට මෙම බිත්තර තොගය වත්තල ප්රදේශය දක්වා ප්රවාහනය කරමින් තිබී ඇත. 29 වැනිදා පෙරවරු 9.00 ට පමණ බිත්තර ප්රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක ලුණුඔය පාලමේ ගැටී පෙරළී ගොස් තිබුණි.අනතුරින් ලුණුඔය පාලමටද හානි සිදුවී ඇත.අනතුරට පත්ව ඇති කන්ටේනර් රථයේ රියදුරු සහ එහි සහායකයා දිවි ගලවා ගෙන ඇත.
ලුණුඔයට පෙරළී තිබූ කන්ටේනර් රථය ගොඩට ගැනීම සදහා විශාල ප්රමාණයේ දොඹකර රථ දෙකක් උපයෝගී කර ගැනීමට සිදු විය.කන්ටේනර් රථය ගොඩ ගැනීම නිසා 30 වැනිදා පෙරවරුවේ පැයක පමණ කාලයක් හලාවත – පුත්තලම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිටින ලදි.
මෙවැනි හදිසි අනතුරක් සිදුවූ විට හලාවත – පුත්තලම මාර්ගයේ ගමන් කිරීමට විකල්ප මාර්ග නොමැතිකම ගැටළුවක් බව ප්රදේශවාසීන් කියයි.
හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.සමරවීර,උප පොලිස් පරීක්ෂක මංගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත.