අධික ලෙස බීමත්ව පොලිස් සංඥා පවා නොතකමින් අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිය පදවමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ගුරුවරයෙකුට රුපියල් දහ අටදහස් පන්සියයක දඩ මුදලක් ගෙවන ලෙසට නියමකළ කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා විත්තිකාර ගුරුවරයාගේ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
මෙලෙස දඩ මුදල් නියම වූයේ කුලියාපිටිය, ආනන්දගිරි ගාඩ්න්හි පදිංචි කදිරවේලූ මුත්තයියා රාජේන්ද්‍රන් නැමැති ගුරුවරයෙකුටය.
මෙහිදී විවෘත අධිකරණය හමුවේ විත්තිකාර ගුරුවරයා ඇමැතූ කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා දරුවන් යහමග යැවීමට කැපවී සිටින ගුරුවරයෙකු ලෙස මීට වඩා ආදර්ශමත් ලෙස කටයුතු කළ යුතු බවට විත්තිකරුට පැවසීය. උතුම් වූ ගුරු වෘත්තියට නොගැලපෙන මෙවැනි හැසිරීම්වලින් ඉදිරියේදී වැළැකී සිටීමට කටයුතු කළ යුතු බවටත්, ඉදිරියේදීත් මෙවැනි වැරැදි කර යළිත් වතාවක් අධිකරණය හමුවට පමුණුවනු ලැබුවහොත් දඩ නියම කිරීමකින් තොරව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටත් කටයුතු කරන බවටත් විත්තිකාර ගුරුවරයා වෙත තරයේ අවවාද කළේය.
කුලියාපිටිය පොලිසිය වෙනුවෙන් එහි රථවාහන අංශයේ පොලිස් සැරයන් චන්ද්‍රරත්න (14003 ) මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ චන්දන යාපා මහතා සැකකාර ගුරුවරයා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ