ශාන්ත ආනා නායක මල්ෂාන් පෙරේරා (72) පිත්තෙන් පෑ මනරම් පිති හරඹයෙන් සහ මලියදේව කණ්ඩායමේ දමිත පෙරේරා (5/35) පන්දුවෙන් පෑ දස්කම් හේතුවෙන් පළමු දිනය වූ අද දිනය නිමා වන විට තරග ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම විවෘත තත්වයක පැවතිණි.
ඇතුගල්පුර සටන යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන , කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ ශාන්ත ආනා විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවැත්වෙන දෙදින ටෙස්ට් ක්‍රිකට් තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී අද (13 දා) උදෑසන ආරම්භ විය.
කාසිය වාසිය දිනාගත් මලියදේව නායක ප්‍රභාෂ් කැප්පෙටිපොළගේ ඇරයුමෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශාන්ත ආනා කණ්ඩායමේ සියලූ පිතිකරුවන් ලකූණු 204 ක් තුළ දවා ගැනීමට මලියදේව පන්දු යවන්නන්ගේ බලඇණියට හැකියාව ලැබිණි. ශාන්ත ආනා ඉනිම වැනසීමෙහි ලා වෙළගෙදර පිටිය පුරාවට පන්දුවෙන් සුරුවිරුකම් පෑ දමිත සිල්වා ලකුණු 35ක් පමණක් ලබා දී ආනාවන්ගේ කඩුලූ පහක් මුලිනුපුටා දැමූ අතර ඉන් නොනැවතී ඇතුගල්පුර සටනේ මෑත ඉතිහාසයේදී දැක ගත හැකි වූ විශිෂ්ටතම පන්දු රැකීම සනිටුහන් කරවමින් ලෝන් ඕෆ් කලාපයේ සිට අතිවිශිෂ්ට උඩපන්දුවක් රැකීමක නිරත වෙමින් ශාන්ත ආනා නායක මල්ෂාන් පෙරේරා ක්‍රීඩාගාරය වෙත ආපසු යැවීමට අකුරටම වග බලා ගත්තේය. දමිත පෙරේරා හැරුණු කොට ශාන්ත ආනා ඉනිම පුරාවටම මලිදෙව් ක්‍රීඩකයින් වෙතින් දැක ගත හැකි වූයේ අතිශය දුර්වල පන්දු රැකීමේ රටාවකි. ශාන්ත ආනා පිතිකරුවන් විසින් ලබා දුන් පහසු උඩ පන්දු කිහිපයක්ම අත හැරි මලියදේව ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම කොතරම් දුර්වල අඩියක තිබුණේද කිවහොත් ආනා ක්‍රීඩකයින් දුවද්දී දවාගැනීමට අවස්ථා කිහිපයකදීම කළ උත්සාහ කිරීම්වලදී කඩුල්ල වෙත දමා ගැසූ පන්දුව කිසිදු ක්‍රීඩකයෙකුගේ දෑතකට හසු නොවී හතරේ සීමාව දක්වා ඇදී ගියේ ශාන්ත ආනා ලකුණු පුවරුවේ අතිරේක ලකුණු ප්‍රමාණය තව තවත් ඉහළ දමමිනි.
ශාන්තා ආනාව වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පුබුදු ගනේගම ලකුණු 49 ක් ලබා සිටියදී අවාසානාවන්ත අයුරින් දැවී ගියේ දිනයේ වීරයා බවට පත් වූ දමිත සිල්වාගේ විශිෂ්ට පන්දු යැවීමක ගොදුරක් බවට පත්වෙමිනි. පුබුදු ගනේගම හැරුණු කොට අනෙක් සියලූම ශාන්ත ආනා පිතිකරුවන් අසාර්ථක වෙද්දී ඉනිම ගොඩනැගීමේ බර කරට ගත් නායක මල්ෂාන් පෙරේරා වෙළගෙදර පිටිය සිසාරා පන්දුව යැව්වේ මලියදේව පන්දු යවන්නන්ට මහත් හිසරදයක් බවට පත්වෙමිනි. ටෙස්ට් තරගයකට වඩා සීමිත ඕවර් තරගයක අසිරිය වෙළගෙදර පිටියට කැන්දාගෙන ආ මල්ෂාන් පෙරේරා මලියදේව නායක ප්‍රභාෂ් කැප්පෙටිපොළ විසින් දියත් කළ 36 වැනි ඕවරයේ පළමු තුනටම මිඩ් විකට් කලාපය හරහා දැවැන්ත හයේ පහරවල් තුනක් පිට පිටම එල්ල කළේ ශාන්ත ආනාවට ජය පතන්නට පිටියට රැස්ව සිටි ප්‍රීති ඝෝෂා මධ්‍ය යේය.
ප්‍රභාෂ් කැප්පෙටිපොළගේ ඕවරයේ සිව්වැනි පන්දුවට මල්ෂාන් පෙරේරා විසින් ලබා දුන් පහසු උඩපන්දුව වැඩි මහන්සියක් නොගෙනම අත් හැරි මලියදේව ක්‍රීඩකයෝ ශාන්ත ආනාව වෙනුවෙන් තවත් ලකුණු කිහිපයක් රැස්කරන්නට මල්ෂාන්ට සියතින්ම පාර කපා දුන්හ. ලකුණු 72 ක් රැස්කරගෙන සිටි මල්ෂාන් විසින් තවත් හයේ පහරක් නිර්මාණය කිරීමේ අරමුණින් ලෝන් ඕෆ් කලාපයට ඉහළින් එල්ල කළ දැවැන්ත පහර , අසීරු උඩ පන්දුවක් බවට පත් කරගත් දමිත සිල්වා හතරේ සීමාව පෙනි පෙනී තිබියදී තම දෑත් අතර සුරුකිව රදවාගත්තේ තරගය නරඹමින් සිටි ක්‍රීඩා ලෝලීන්ට හුස්ම ගැනීම පවා එක් මොහොතකට අමතක කරවමිනි. දමිතගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ ශතකයකට තවත් ලකුණු 28 ක් අඩුවෙන් රැස්කරගෙන සිටි මල්ෂාන් පෙරේරාගේ හුදෙකලා ඉනිම නිමා වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු ශාන්ත ආනා පිතිකරුවෙකුට සාර්ථකවීමට නොදුන් මලියදෙව් පන්දු යවන්නෝ එම ඉනිම ලකුණු 204 කට සීමා කළහ. පන්දු ඕවර 14 ක් යවා ලකුණු 35 ක් පමණක් ලබාදෙමින් කඩුලූ පහක් දවා ගත් දමිත සිල්වා ශාන්ත ආනා ඉනිම සුනුවිසුණු කර දැමීමට මලියදේවයන්ට පාර තනා දුන්නේය.
තේ පානයෙන් පසුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි මලියදේවයින්ගේ ලකුණු පුවරුව පළමු දිනය නිමාවෙනවිට ලකුණු 146 ලෙස දැක්වෙද්දී , මලියදේව පිතිකරුවන් පස්දෙනෙකු තරග නරඹන්නන් බවට පත්කරවීමට ශාන්ත ආනා පන්දු යවන්නෝ සමත් වී සිටියහ. අර්ධ ශතකයක් සමගින් ලකුණු 54ක් රැස් කළ සචින්ත පීරිස් මලියදේව ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.
ලකුණු 20 ක් ලබා සිටින නායක ප්‍රභාෂ් කැප්පෙටිපොළ සහ ලකුණු 18 ක්ලබා සිටින දමිත පෙරේරා පන්දුවට පහර දෙමින් සිටිති. තරගය හෙට පෙරවරු 9. 30 ට ආරම්භ කිරීමට නියමිතය.