ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් තම බල සීමාවට අයත් නල්ලදරන්කට්ටුව ගම්මානයේ කසල අංගනයක් ඉදිකිරීමට සුදානම් විමත් සමග එයට ගම්වාසීන්ගේ විරෝධය දක්වන ලදි. කසල අංගනය ඉදිකිරීමට යෝජිත භූමිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පසුගිය 03 වැනිදා ආරච්චිකට්ටුව ප්‍රාද්ශීය ලේකම් කාර්යාලය,ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන 07 ක නිලධාරීන් එම ස්ථානයට ගියේය. ඒ අවස්ථාවේදී වෛරන්කට්ටුව වික්ශෝප මාතා දේවස්ථාන භූමියට රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් කසල අංගනයට විරෝධය පළ කරමින් පෙත්සමකට අත්සන් තැබීම සිදු කරන ලදි. අනතුරුව එම ස්ථානයට පැමිණි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති වී.චෙත්තනාමුර්ති, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත යන මහත්වරුන් සහ ගම්වාසීන් අතර උණුසුම් කථා බහක් ද ඇති විය. ගම්වාසීන් කියා සිටියේ කුමන හේතුවක් මත හෝ තම ගම්මානය තුළ කසල අංගනයක් ඉදිකිරීමට අවස්ථාව ලබා නොදෙන බවය.
දෙපාර්ශවය අතර පැවති උණූසුම් කථා බහෙන් අනතුරුව නල්ලදරන්කට්ටුව ගම්මානය තුළ කසල අංගනයක් ඉදි නොකරන බවත්,එය වෙනත් තැනක ස්ථාපනය කරන බවත් ප්‍රාදේශීය සභා නියෝජිතයින් රැස්ව සිටි පිරිස හමුවේ කියා සිටියේය. හේතුවෙන් එම ව්‍යාපෘතිය අකුලා ගැනීමට ඔවුන්ට සිදු විය.
කසල අංගනයක් ඉදිවුවහොත් පරිසරයට විය හැකි විනාශය
ආරච්චිකට්ටුව – වෛරන්කට්ටුව ගම්මානයේ පිහිට අක්කර 32 ක් වන තණ බිම නම්වූ ඉඩමෙන් අක්කර 05 ක් තුළ මෙම කසල අංගනය ඉදිකිරීමට යෝජිත වී ඇත.නල්ලදරන්කට්ටුව ගම්මානයේ පදිංචි බහුතරයක් කිරි ගොවීන් සහ ධීවරයින්ය.කිරි ගොවීන් තම සතුන්ට අවශ්‍ය තණ සපයා ගන්නේ මෙම භූමියෙන් බව කියති.
එමෙන්ම මෙම භූමියට යාබදව පිහිටා ඇත්තේ සෙංගල්ඔය සහ කලපුව වේ. වැසි කාලයේදී සගෙල්ඔය පිටාර ගැලීම නිසා මෙම භූමිය ජලයෙන් යටවීමේ අවධානමක් පවති. එම ස්ථානයේ කසල අංගනයක් ඉදිකළ හොත් වැසි කාලයේදී එහි ඇති අප ද්‍රව්‍ය සියල්ල සෙංගල්ඔයට සහ කලපුවට ගලා යාම වැළැක්විය නොහැකි බවද ප්‍රදේශවාසීන් අනතුරු අගවති. එබැවින් තත්තවය මෙකී ස්ථානයේ කසල අංගනයක් ඉදිකළහොත් ඉන් සමාජීය මෙන්ම පාරිසරික හානියක් සිදු වන බවද වෛරන්කට්ටුව ගම්වාසීන් කියා සිටියේය.