නීතිවිරෝධී මැතිවරණ සංග්රහයක් පැවැත් වූ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වයඹ පළාත් සභා මන්ත්රී සමන්ප්රිය හේරත් මහතා (එ.ජ.නි.ස ) රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා අද (24) නියෝග කළේය.
මිය ගිය පියාට පින් පැමිණවීම පිණිස සමන්ප්රිය හේරත් මහතාගේ නිවසේ සිදුකළ දානමය කටයුත්තට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වී ඇති බවත්, පොලිසිය චෝදනා කරන ආකාරයේ කිසිදු නීතිවිරෝධී රැස්වීමක් සිය සේවාදායකයා විසින් සංවිධානය කර නැති බවත් වගඋත්තරකාර පළාත් සභා මන්ත්රීවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ නීතිඥයින් කියා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ල ගත් කුලියාපිටිය මහේස්ත්රාත්වරයා සමන්ප්රිය හේරත් මහතා ඇප මත මුදාහරින ලෙස නියෝග කළ අතර පැමිණිල්ලට අදාළ පරීක්ෂණ අවසන්කොට ඒ පිළිබදව මීළග නඩු දිනයේදී අධිකරණය වෙත වාර්තා කරන ලෙසටද පොලිසිය වෙත නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල කුලියාපිටිය පොලිසිය මගින් මෙහෙයවූ අතර අතුල විජේසිංහ, චන්දන යාපා, චම්පික ලසිත කුමාර, සුපුන් අධිකාරි, ධනෝජ් මීගහපොල, මායාදුන්නේ සෙනවිරත්න, චමින්ද ජයසිංහ, අනුරසිරි දිසානායක යන මහත්වරුන් සහ ජෙනී අමරසිංහ මහත්මිය ඇතුඵ නීතිඥ මණ්ඩලයක් විත්තිකාර සමන්ප්රිය හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටියහ.
නොවැම්බර් මස 16 වැනිදා මෙම නඩුව යළි කැදවීමට නියමිතය.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්ර