පසුගිය දිනක එක්තරා ප්රසිද්ධ ක්රීඩකයකුගේ අලුත්ම tattoo (පච්ච) සටහන් දැකීමෙන් මේ කතාව මට සිහිපත් විය.
අවුරුදු 50 ක් පමණ වයසැති බීමත්කම නිසාම වැහැරුණු සිරුරකින් යුතු ඔහු හොඳට ම වෙරි වී සිටි දිනක ඇඟ පුරා තිබූ පච්ච සටහන් පිළිබඳව නිධාන කතාව පැවසුවේ මෙසේය.
මම “චන්ඩියා” චිත්රපටිය බැලුවා. ගාමිණී ෆොන්සේකා මගේ ප්රියතම නළුවා, ඒ විදිහටම කොන්ඩෙ පිරුවා, වම් අතේ “ගාමිණී” කියලා කොටා ගත්තා.
මම ලව් කරපු කෙල්ලෙක් හිටියා, එයාගේ නම මාලි.ඒ හින්දා අනික් අතේ “මාලි” කියලා කොටා ගත්තා.
අම්මලා තාත්තලා ඒ සම්බන්ධයට විරුද්ධ වුණා, ඒකට ඇටෑක් එකට “හිතුවොත් හිතුවාමයි” කියලා පපුවේ පැත්තක කොටා ගත්තා.
අම්මලා තාත්තාලා දිගටම මට විවාහ යෝජනා ගෙන ආවා.
මගේ හිත කවදාවත් වෙනස් වෙන්නෙ නෑ කියලා පෙන්නන්න පපුවේ අනිත් පැත්තේ “I love Mali” කියලා ගැහුවා.
මට හොරෙන් එ්කි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා. ඒ තරහ ට “මාලි මළා” කියලා ගැහුවා.
ඒ කාලේ කරපු මෝඩකම් නිසා දැන් කමිසයක් නැතිව මට ඉන්න ලැජ්ජයි, කියලා දිග සුසුමක් හෙළමින් කමිසයේ බොත්තම් පියවා ගෙන වැනි වැනී යන්න ගියා.
එස්. ඩබ්ලිව් . වන්නිආරච්චි
මිලානෝ