මනාප ප්‍රතිඵල නිකුත්කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වී සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙන්නටවීම නිසා ඇති වූ තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බලඇණි එහි ගෙන්වීමට මනාප ප්‍රතිඵල නිකුත් කෙරුණු පෙරේදා රාත්රියේදී (18 දා ) සිදු විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරගකළ එක්සත් ජාතික පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ අවසන් මනාප ගණනය කිරීම් එම අපේක්ෂක අපේක්ෂිකාවන්ගේද සහභාගීත්වයෙන් පෙරේදා දහවල් කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී ආරම්භ කෙරිණි.
මනාප ගණනය කිරීම් එලෙස සිදුවෙද්දී, තමන් සහාය දැක් වූ අපේක්ෂකයා ජයග්‍රහණය කර ඇතිදැයි දැනගැනීමේ අරමුණින් දහසකට ආසන්න ආධාරකරුවන් පිරිසක් පෙරේදා දහවල් කාලයේ සිටම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වී සිටියහ. එම ආධාරකරුවන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවසර නොලැබුනු අතර, ඔවුහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටින් දිවෙන මාර්ගයට වී මනාප ප්‍රතිඵල නිකුත්වනතුරු දැඩි නොඉවසිල්ලෙන් පසු වූ අයුරු දැකගත හැකි විය.
රාත්‍රී 7 පසුවනතුරුත් කුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵල නිකුත් නොවූ අතර ඒ වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල මනාප ප්‍රතිඵල නිකුත් කර අවසන් වී තිබිණි. මේ හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි ආධාරකරුවෝ ක්‍රම ක්‍රමයෙන් නොසන්සුන්වෙමින් සිටින බව වටහාගත් උසස් පොලිස් නිලධාරීහු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර සෙබළ බලඇණියක් එහි ගෙන්වා ගැනීමට කටයුතු කළහ. පොලිස් විශේෂ කාර්ය බලකා සෙබඵන් වළල්ලක ආකාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට රැකවල් ලාගෙන සිටි අතර මනාප ගණනය කිරීම්වලදී වංචාවක් සිදුවන බවත්, මනාප ප්‍රතිඵල නිකුත්කිරීම පමාවන්නේ ඒ නිසා බවත් කියමින් ආධාරකරුවන් පිරිසක් රාත්‍රී 7.10 පමණ වන විට කෑ කෝ ගසමින් කලබලකරන්නට වූහ. මෙම පිරිස අපේක්ෂයින් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් “පැරදුනා නම් ගෙදර යන්න. මනාප හොර එපා.” කෑ ගසන්නටවීමත්, හූ හඩ නගන්නටවීමත් නිසා ඒ අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
ආධාරකරුවන්ගේ මේ විරෝධතාවය මධ්‍යයේම රාත්‍රී 7.30 ට පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්කෙරුණු අතර , ඒ සමග එතෙක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ රැදී සිටි අපේක්ෂකයින් පිටතට පැමිණිමත් සමග ආධාරකරුවන්ගේ විරෝධතාවයද අවසන් වී ගියේය.
අදාළ කලබලය අවස්ථාවේ වීඩියෝව පහත දැක්වෙයි.