අප්‍රියෙල් 21 වෙනිදා පාස්කු දින ප්‍රහාරයෙන් සතිකීපයකට පසු වෙන්නප්පුව නගරයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට සිය ව්‍යාපාර වලින් ඉවත් වෙන ලෙස ප්‍රාදේශීය සභාපතිවරයාගේ මූලිකත්වයෙන් කැඳවන ලද කමිටුවකදී ගත් තීන්දුවක් අනුව දැනුම් දෙන ලදී.
ඉන් අනතුරුව වෙන්නප්පුව සති පොළට පැමිණි මුස්ලිම් වෙළෙන්ඳන් කිසියම් පිරිසක් විසින් පලවා හැර තිබුණි.
මෙම සිදුවීමෙන් මාස දෙකකට පසු සභාපතිවරයා දංකොටුව සතිපොළට මුස්ලිම් වෙළෙඳුන්ගේ පැමිණිම නවත්වන ලෙස දංකොටුව පොලීසියෙන් ලිඛිතව ඉල්ලා තිබූ අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයේ පිහිට පතන ලදී. අධිකරණ තීන්දුව වී තිබුනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් ඇතුලු සියලුම ජාතික වෙළෙන්ඳන් හට දංකොටුව සතිපොළේ වෙළඳාම් කිරීමට අවසර තිබෙන බවයි. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය ජාතික මාධ්‍ය පවා ප්‍රසිද්ධියේ හෙලාදුටු අතර පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් නියෝජිතයින් පවා අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් මුස්ලිම් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම පාස්කු ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුව නගරයේ ආරක්ෂාවට තර්ජනයක් වන බරපතල සිදුවීමක් වාර්තා වී නැති අතර සිදුවූයේ අනවරත සැකකිරීම් මත පුද්ගලයන් විසින් සිදුකල හුදකලා සිදුවීම් පමණි.
මේ අතර වෙන්නප්පුව නගරයේ බොහෝ ස්ථාන වල ස්ටිකරයක් අලවා තිබෙනු දක්නට ලැබුනි.එය අලවා තිබුනේ වෙන්නප්පුව වෙළඳ සංගමය විසිනි.
එහි තිබෙන්නේ “හදිසි අවස්ථාවකදී දැනුම් දෙන්න” යනුවෙනි. දැනුම් දීම සඳහා සඳහන් කර ඇති දුරකථන සහ නම් වලට වෙළඳ සංගමයේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ නම් සඳහන් කර තිබුණ අතර වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා ගේ දුරකථන අංකය සඳහන් කර ඇත.
දෙවැන්න වෙළඳ සංගමය නමින් මුඳ්‍රණය කර අලවා ඇති තවත් ස්ටිකරයකි. එහි සඳහන් කර ඇත්තේ.”බුර්කාව පැළඳ ඇතුල්වීම තහනම් “යන්නය.
දෙවෙනි ලේබලයේ තිබෙන දේ රටේ පොදු නීතියක් වන අතර රජය මඟින් ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව වෙනුවෙන් පැනවූ නීතියකි.
මෙය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජයේ ආයතන වල මෙම දැන්වීම අලවා තිබුණි.
ඉහත සඳහන් කළ ප්‍රා.සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට සමාන්තරව වෙළඳ සංගමය ද ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තමන්ට නොමැති අධිකාරියක් වෙන්නප්පුව පා.සභාපතිවරයා සහ වෙන්නප්පුව වෙළඳ සංගමය විසින් පවරාගෙන ඇති බව සිදුවී ඇති ක්‍රියා වලින් පෙනී යයි.
පාස්කු ප්‍රහාරයෙන් පසු රටක් ලෙස ආරක්ෂාව පිළිබඳව යම් තීරන ගත් අතර ඒ සඳහා ප්‍රාදේශීයව වෙනම නීති පැනවීමට හෝ නීතියට බලපෑම් කිරීමට හෝ රජයෙන් කිසිවෙකුට යෝජනා කළේද නැත.
නමුත් යමි දේශපාලන උවමනාවන් උඩ ප්‍රාදේශියව මුස්ලිම් විරෝධි කටයුතු වලට උල්පන්දම් දෙමින් ගිණිතැබීමට උත්සාහ දැරෑ බව නොරහසකි. නාත්තන්ඩිය,කුලියාපිටිය,මිනුවන්ගොඩ පහරදීම් සහ දේපළ ගිණිතැබීම් සිදුවූයේ ඒ පදනමිනි.
වෙන්නප්පුව නගරයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට ශ්‍රි ලංකා පොලීසියත් අවශ්‍ය නම් ආරක්ෂකත් අංශ සිටී.
එසේ තිබියදි සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට වෙළඳ සංගමයකට හැකියාවක් ලැබෙන්නේ කෙසේද යන්න ගැටළුවකි.
ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවන ලද ” සිවිල් ආරක්ෂක කමිටු” වැනි ව්‍යුහයන් වලට අවශ්‍ය නම් පොලීසියට උදව් කළ හැකි අතර ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුවීම් නිරීක්ෂණය කළ හැක.
එසේ තිබියදී වෙන්නප්පුව වෙළඳ සංගමය මෙවැනි දැන්වීම් ඇලවීම පිටුපස ඇත්තේ මහජන ආරක්ෂාව ගැන හිතනවාට වඩා එහා ගිය දෙයක් බව පෙනී යයි. මෙතනදී ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා පරෙස්සම් වන බවක්ද පෙනී යයි.
වෙන්නප්පුවෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉවත් කිරීමට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයාගේ අන්තනෝමතික ක්‍රියාකලාපය පිටුපස වෙළඳ ඉර්ෂාවක් හා සිංහල ව්‍යාපාරිකයින්ගේ අවස්ථාවාදී උවමනාව නියෝජනය වේ. පා.සභාපති සුසන්ත පෙරේරා සහ වෙළඳ සංගමය අතර ඇති ගජ මිතුරුකම විසින් මෙම මුස්ලිම් ව්‍යාපාරික විරෝධය ක්‍රියාවට නැගුණ බව හොඳටම ඔප්පු වන්නේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පොහොට්ටුවේ සාමාජිකයින් දැක්වු විරෝධයයි.
මෙම දැන්වීම් ඇලවීම ව්‍යාපාරික සංගමයේ මෙන්ම ප්‍රාදේශීය සභාපතිවරයාගේ අරමුණු දේශපාල වශයෙන්ද සමාන එකකි. සභාපතිවරයා තමන්ගේ සිංහල කතෝලික බලය පෙන්වා ලකුණු දමාගැනීමට උත්සාහා දැරෑ අතර වෙළඳ සංගමය ව්‍යසනය මුවාවෙන් වෙන්නප්පුවේ වෙළඳ ආධිපත්‍ය තහවුරු කරගැනීමට උත්සාහ දරයි. ඒ වෙනුවෙන් වෙන්නප්පුව වෙළඳ සංගමය තමන්ට අදාළ නැති බලයක් සාමාන්‍ය ජනතාව වෙත පෙන්නුම් කරමින් සිටින බව මෙම ස්ටිකර් ඇලවීමෙන් පෙනී යයි.
වෙන්නප්පුව ජනතාවගේ නියෝජිතයන් වීමට ඔවුන්ට බලයක් පවරා ඇත්තේ කවුරුන්ද යන්න ඊලඟ ප්‍රශ්නයයි.