ඇගේ කතාව
———————-
මගේ මිනුම් දඬුවලට අනුව පිරිමියෙකු ගැහැනුන් කෙරෙහි දක්වන ගෞරවනීය බව සහ ඇයද තම සමානයකු හා සැලකීම ඔහු මගේ ගෞරවයට ලක් විය යුතු පිරිමියෙකුද නැද්ද යන්න තීරණය කිරීමේදී බෙහෙවින් වැදගත්ය.
එහෙත් එහි තේරුම යම් පිරිමියෙකු මට ඉතා හොඳින් සලකන පමණට ඔහු හොඳ කෙනෙකු යැයි මා තීරණය කරන බව නොවේ. පිරිමියෙකුට ඒ ගෞරවය ලබා දීමට ඔහු ඔහුගේ සහකාරිය හෝ පෙම්වතියට සලකන ආකාරයද මට නම් අතිශයින් වැදගත්ය.
ඊට හේතුව, සමාජය ඉදිරියේ ඉතා ප්‍රගතිශීලී ආකල්ප දරණ ඇතැම් පිරිමින් තම සහකාරියන්ට ඉතා පීඩාකාරී අන්දමින් සලකන, දැඩි පුරුෂාධිපත්‍යයක් ඇය මත පටවන පිරිමින් ලෙස හඳුනා ගන්නට ලැබීමයි. සමහර විටෙක ඔවුන් තරම් සමාජය ඉදිරියේ සුදු චරිත ලෙස රඟ දැක්වීමක නොයෙදෙන පිරිමින් තම සහකාරිය හෝ බිරිඳ කෙරෙහි දක්වන ආකල්ප අතිශයින් ප්‍රගතිශීලීය.
මෙය විශේෂයෙන් කියන්නට සිත් වුණේ ප්‍රබන්ධ රචනයක් නිසා ලංකාවේ පළමු වතාවට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ලේඛකයා වූ ශක්තික සත්කුමාරගේ බිරින්දෑ යනුෂා ලක්මාලි කී දෙයක් සිහි වීමෙනි.
“විවාහ වෙලා දරුවො ලැබුණට පස්සෙත් එයා මාව දිගටම ලියන්න උනන්දු කළා. මට ලියන්න ඕනෑ වෙනකොට එයා ගෙදර වැඩ සහ දරුවන්ගෙ වැඩ කරමින් මට ලියන්න නිදහස හදලා දුන්නා. අපි දෙන්නා වැඩ බෙදාගෙන තමයි ගෙදරදි කළේ. එයාත් ලිව්වා. මමත් ලිව්වා. විවාහයෙන් පස්සෙ මගෙ කෘති කිහිපයක් නිකුත් වුණා. මම ඒවා ලියල ශක්තිකට දෙනව විතරයි. එයා ඒව ටයිප්සෙටින් කරවලා, සෝදුපත් බලලා, ප්‍රකාශකයට ගිහින් දීලා, සමහර විට පොත ගෙනත් මගෙ අතට දෙනකල් මං දන්නෙත් නෑ. එයා එහෙම කෙනෙක්!” යි පසුගියදා ඇය වෙබ් අඩවියක් සඳහා ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියන්නීය.
ආදරයෙන් වෙළුණු තරුණ යුවලක්, දෙදෙනාම එකට රැකියාවට ගොස්, ගෙදර වැඩපළ බෙදාගෙන, දෙදෙනාම ලියන්නට වේලාව හදා ගත් හැටි ගැන කියැවෙන ඒ කතාව තදින්ම මගේ සිත් ගත්තේය. විවාහයෙන් පසු මගේ අත්දැකීමද එයට සමාන බැවිනි.
ශක්තික කෙරෙහි විශේෂ ගෞරවයක් මගේ සිතේ ඇති වන්නේ යනූෂා කියන ලෙසට ඔහු ද නිර්මාණකරණයේ යෙදෙමින් තම බිරිඳටද, ඒ සදහා ඉඩකඩ සපයා දුන් පිරිමියෙකු වීම නිසාය.!
මා එක්තරා පුවත්පතක සාහිත්‍ය අතිරේකය සංස්කරණය කරන කාලයේ ශක්තිකගේ ඊමේල් ලිපිනයෙන් ඔහුගේ නිර්මාණ සමග යනූෂාගේ කවිද, ඇගේ අලුතෙන් එළිදැක්වූ පොතක් පිළිබඳ පුවතක්ද ලැබුණ බව මතකය. ශක්තික ඒවා පුවත්පත වෙත ඊමේල් සහ තැපැල් මගින් එව්වා විනා කිසි විටෙක කර්තෘ මණ්ඩලය වෙත දුරකථන ඇමතුමක් හෝ නොදුන් බැවින් ඔවුන්ගේ නම් සහ නිර්මාණවලට එපිටින් දෙයක් දැන නොසිටියෙමි.
යනූෂා සමග මා පළමු වතාවට කතා කරන්නේ මීට මාස තුනකට එහා දිනයකදී ඔහු රක්ෂිත බන්ධනාගාරගතවූ පුවත ඇසූ දාට පසුදාය.
එතැන් සිට අද දක්වාම ඇය විටෙන් විට මා සමග කතා කරන්නීය. ඔහු සිය ජීවිතයටත් නිර්මාණ දිවියටත් අත්වැලක් වූ හැටි කියන්නීය. සැමියා රක්ෂිත බන්ධනාගාර ගතවූ විට ගැහැනියක මුහුණ දෙන කටුක අත්දැකීම් ගැන මට ඉතා හොඳින් දැනෙන්නට පටන් ගන්නේ යනූෂා නිසාය.
විශ්වවිද්‍යාලයේදී දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වූ කාලයේ සිට ලියන කියන හැම දෙයම බෙදා හදාගත්, විවාහ සංස්ථාව ඇතුළතද ඒ සම්බන්ධය නොකැඩීම පවත්වා ගෙන ගිය අාදරවන්තයන් දෙදෙනෙකුට මේ කම්පනීය අත්දැකීම දැනෙන්නේ කෙලෙසක විය හැකිද?
ශක්තික බැලීමට බන්ධනාගාරයට ගිය දිනවලදී, ඇතැම් විට යනුෂා ගෙදර විත් මට කතා කරන්නීය. ඇගේ සැලෙන කටහඬ, ඉතා දුක්බර ලෙස දුරකථනය ඔස්සේ හදවතට කිඳා බසී. ” මට දරා ගන්න බෑ එයා ඒ විදිහට දකිනකොට. දැලකින් වෙන්වෙලා එයා එහා පැත්තෙ ඉන්නව. හරියට පේන්නෙත් නෑ. හරියට දෙයක් කතා කරගන්නත් බෑ. විනාඩි පහක් දහයක් හම්බ වෙන්නෙ. එයා කිසිම අපරාධයක් කරල නෑ. එයා ලිව්වෙ කෙටිකතාවක්! ”
යනූෂා මෙන් තම සමීපතමයන් නිසා තවත් බිරින්දෑවරුන්, පෙම්වතියන්, අම්මාවරුන් කී දෙනෙක් මේ දුක විඳිනවාදැයි මම එවිට සිතමි.
යනූෂා මෑතකදී ශක්තික වෙනුවෙන් ලියූ කවියක එක පද පෙළක් මට සිහි නැගේ.
සඳ එන මඟට තරු කඳුළැලි ඇන්දා ය
නුඹ හින්දා නො නිවෙන ගිනි උහුලාය
වැහි නැතුවත් වැව තාමත් උතුරාය
සීතල මතක නිල් දිය රැලි බින්දාය.
යනූෂාගේ කාව්‍යකරණයේ ප්‍රතිභාව ප්‍රකට කරන ඒ පද පෙළ වරින් වර දිය රැළි මෙන් සිත් ඉවුරෙහි හැපී රිදුමක් ජනිත කරවයි. ඒ, වියොවෙන්ද, සාංකාවෙන්ද, වේදනාවෙන්ද මුවහත් වූ ඇගේ කවි සිතයි. විවාහ සංස්ථාවේ වගකීම්වලින් මිරිකී බොහෝ ගැහැනු කවි සිත් මිය යද්දී අැයගේ ඒ කවි සිත මියෙන්නට නොදී රැක ගත් ආදරවන්තයා ඉතා අවාසනාවන්ත ලෙස තවමත් ඉන්නේ සිර මැදිරියකය.!
ශක්තිකට එරෙහිව නැගෙන සියලු චෝදනා මැද ඔහු වෙනුවෙන් පෙනී සිටින බොහෝ අවස්ථාවලදී “ශක්තික හඳුනවාදැ? ” යි බොහෝ දෙනෙක් මගෙන් අසති. පොතේ හැටියට ඊට උත්තරය නැත යන්නයි. එහෙත් හරි විදිහට නම් මා ඔහුව හඳුනා ගෙන අවසන්ය.! ඒ, යට කී කවිය ලියූ කිවිඳිය දෙස බැලීමෙනි.!
වෙන කිසිදු කාරණාවක් නොසලකාම වුව මට ඔහු මගේ ගෞරවය හිමි වන පිරිමින් අතර සිටින බව කිව හැකිය.!
ඔහුගේ නිදහස යනු ඇගේද නිදහසය! ඔවුන් දෙදෙනා මේ වේදනාවෙන් නිදහස් වෙන දිනයේ අපේ හිතද නිදහස් වනු ඇත. !
– කත්‍යානා අමරසිංහ