කුරුණෑගල, හිදගොල්ල, මීගොල්ල ප්රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයකට ඊයේ (17 දා ) අඵයම කිසියම් පිරිසක් විසින් ගිනිතැබීම නිසා එම වෑන් රථයට දැඩි අලාභහානි සිදු වී තිබේ.
මෙලෙස ගිනි තබා ඇත්තේ හිදගොල්ල, මීගොල්ල ප්රදේශයේ පදිංචි පී. එස්. නිශ්ශංක මහතාට අයත් මැස්ඩා, බොන්ගෝ වර්ගයේ වෑන් රථයකටය. ගිනිගැනීම නිසා වෑන් රථයේ ඉදිරිපස කොටස ඇතුඵ ස්ථාන ගණනාවක් දැවී විනාශ වී ගොස් තිබේ.
සිද්ධිය පිළිබදව ‘වයඹ ටුඩේ’ වෙබ් අඩවිය වෙත විස්තර කළ පී. එස් . නිශ්ශංක මහතා මෙසේ පැවසීය.
” අපි නිදාගෙන ඉද්දී පාන්දර එකට විතර නෝනා මට කතා කරලා කිව්වා එළියේ ගින්නක් පේනවා කියලා. මම ඇදෙන් බැහැලා ඇවිත් දොර ඇරලා බලද්දී වෑන් එක ගිනිගන්නවා. කෑගහලා වටේ පිටේ අයත් අවදිකරවගෙන ඇවිත් වතුර ගහලා ගින්න නිවලා දැම්මා. නමුත් වාහනේ ඇතුලේ එන්ජින් හෝස්වලට එහෙම ගින්න ඇවිලිලා තිබුණු නිසා පැය එකහමාරක් විතර යනකම් ගින්න නිවාගන්න බැරි වුණා. වාහනේ ඞීසල් ටැංකිය යටට පරණ ටයර් එකක් දාලා ගිනි තියලයි තිබුණේ. මම කිසිම දේශපාලන පක්ෂෙකට සම්බන්ධ නැති නිසා මේක දේශපාලන පලිගැනීමක් කියලා හිතන්න බැහැ. මගෙත් එක්ක පුද්ගලික තරහකට කවුරුහරි කරපු දෙයක් කියලයි මම හිතන්නේ. ” යැයි පැවසීය.
මාවතගම පොලිසිය මෙම ගිනිතැබීම පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.