රජයේ මුදල් වැයකරමින් ඉදිකළ පානීය ජල ව්‍යාපෘතියකට අයත් නල ළිදක් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ කම්කරුවෙකු විසින් වැටවල් ගසා අවහිර කිරීමට විරෝධය පළකරමින් දහසකට ආසන්න ප්‍රදේශවාසීහු පිරිසක් අද දහවල් (18 දා) කුඹුක්ගැටේ නගරයේදී උද්ඝෝෂණයක යෙදුණහ.
නල ළිද වහා නිදහස් කරන ලෙසට බල කරමින්, කුඹුක්ගැටේ නිල් දියවර ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් කුඹුක්ගැටේ නගරයේ මධ්‍යයේ උද්ඝෝෂණයේ යෙදුණු විරෝධතාකරුවන් පිරිස එතැන් සිට මීටර් පන්සියයක පමණ දුරකින් පිහිටි අදාල නල ළිද ඉදිරිපිටට පෙළපාලියකින් ගොස් එහිදීත් විරෝධතාවය දැක්වූහ. කුඹුක්ගැටේ නගරයේ ව්‍යාපාරිකයින් විසින් සිය ව්‍යාපාරික ආයතන වසා දමමින් මෙම විරෝධතාවයට සහය පළකරන අයුරු ද එහිදී දැකගත හැකිවිය.
ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ජල ව්‍යාපෘති නඩත්තු කම්කරුවෙකු ලෙස සේවයේ නියුතු පුද්ගලයෙකුට අයත් මෙම ඉඩම යොදාගනිමින් 1994 වර්ෂයේදී පමණ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව මගින් මෙම නල ළිද ඉදිකර ඇති අතර, නිල් දියවර ප්‍රජා මූල සංවිධානය නමින් ජල ව්‍යාපෘතියක් පිහිටුවාගෙන ප්‍රදේශවාසීන් එයින් ජලය ලබාගෙන තිබේ. පසුව මෙම නල ළිද , ප්‍රාදේශීය සභාව විසින් තම පුද්ගලික ප්‍රයෝජනයට ඉදිකර දුන් බව පවසමින් ඉඩම් හිමි කම්කරුවා විසින් නල ළිද වටා කම්බි වැටක් ගසා ප්‍රජා ජල ව්‍යාපෘතියට ජලය ලබාගැනීම අවහිර කර තිබේ. මේ හේතුවෙන් කුඹුක්ගැටේ නගරය තුළ පිහිටි පාසල්, බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ආයතන මෙන්ම ප්‍රතිලාභී පවුල් 258 කට පමණ අයත් ජනතාව ජලය ලබාගැනීමට නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයකට පත් වී සිටිති. ප්‍රජා ජල ව්‍යාපෘතියේ වියදමින් නල ළිද අසල ඉදිකර ඇති විදුලි මෝටරයට සම්බන්ධ කර තිබූ ජල නල පද්ධතිය කපා දමා , ඒ වෙනුවට වෙනත් නල පද්ධතියක් සම්බන්ධ කර සිය ඉඩමේ ඇති වගාවන් සදහා ජලය ලබාගැනීමට අදාල කම්කරුවා විසින් මේ වනවිට කටයුතු කරමින් සිටින බවටද ජනතාව මෙහිදී චෝදනා කළහ.
නල ළිද අසල උද්ඝෝෂණයේ යෙදුණු විරෝධතාකරුවන් ඒ වටා සවිකර තිබූ කම්බි වැට බිදගෙන අදාල ඉඩමට බලහත්කාරයෙන් ඇතුලු වූ අතර එහිදී පොලිසිය විසින් ඔවුන් ඉඩමෙන් පිටතට පළවාහැරීම හේතුවෙන් සහ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්ද ඇතිවිය. නළ ලිද පිහිටි ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයා සහ ඔහුගේ ඥාතීන් පිරිසක් විරෝධතාවය පැවැති ස්ථානයට පැමිණ විරෝධතාවයේ යෙදුණු පිරිස් ඡායාරූප ගතකිරීම හේතුවෙන් දෙපිරිස අතර ද වචන හුවමාරුවක් ඇතිවිය. පසුව පොලිසියේ ඉල්ලීම මත එහි පැමිණි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා විසින් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කර ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ කළ නමුත් ඉඩම් හිමියාගේ පවුලේ අය විසින් ජල ව්‍යාපෘතිය සදහා නල ළිදෙන් ජලය ලබාදීම දැඩිව ප්‍රතික්ෂේප කිරීම නිසා එය ද අසාර්ථක විය. ඒ ලබන සදුදා (21 දා) දිනයේදී මෙම තත්වය පිළිබදව අධිකරණයට කරුණු වාර්තාකර, නල ළිදෙන් ජලය නිකුත් කරන ලෙසට අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරන බවටත්, ඉන් අනතුරුව නල ළිද පිහිටි අදාල ඉඩම සභාවට පවරාගැනීම පිළිබදව කටයුතු කරන බවටත් සභාපතිවරයා විරෝධතාකරුවන් හමුවේ පොරොන්දු විය. පසුව සභාපතිවරයා සහ පොලිසිය ඉදිරිපිටදීම ඉඩම් හිමි කම්කරුවා විසින් නල ළිදේ මෝටරයට සවිකර තිබූ බව කියන නල පද්ධතිය සහ විදුලි සැපයුමද ගලවා ඉවත් කිරීමට විරෝධතාකරුවෝ කටයුතු කළහ. ඉන් අනතුරුව විරෝධතාවය අවසන් කළ පිරිස සාමකාමීව විසිරී ගියහ.
අදාල උද්ඝෝෂණයේ වීඩියෝ දර්ශණ පහත දැක්වෙයි.