දැයට කිරුළ 2013 සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් කෝටි දෙක හමාරකට වැඩි මුදලක් වැයකරමින් ඉදිකෙරුණු කඩ කාමර 16 කින් යුත් වෙළද සංකීර්ණය සදහා යොදාගෙන ඇති ඉඩමේ අයිතිය වසර හතරක පමණ කාලයක් තිස්සේ තමන් වෙත පවරාගැනීමට රිදීගම ප්රාදේශීය සභාව මගින් කටයුතු නොකිරීම හේතුවෙන් එම වෙළද සංකීර්ණයෙන් නිසි ප්‍රයෝජන නොගන්නා තත්වයක් ඇති වී තිබෙන බව ජනතාව කියති.
වෙළද සංකීර්ණය ඉදිකර ඇති ඉඩමේ අයිතිය තවමත් රිදීගම ප්රාදේශීය සභාව සතු නොවන බැවින් එහි ඉදිකර ඇති වෙළදකුටි නීත්‍යානුකූලදැයි යන සැකය මත ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් විසින් එම කඩ කාමර ලබාගැනීමට අදිමදි කිරීම මෙම තත්වයට හේතු වී තිබේ. වෙළද සංකීර්ණයට යොදාගෙන ඇති ඉඩමේ නීත්‍යානුකූල අයිතිය මේ වනවිටත් රිදීගම ප්‍රාදේශිය ලේකම්වරයා සතු වන අතර ඒ බව ඉඩමට අදාල පිඹුරෙහිද පැහැදිලි ලෙස සටහන් වී තිබේ. රිදීගම ප්රාදේශීය සභාව විසින් 2003 වසරේ සිට මෙම ඉඩමෙහි රථගාලක් පවත්වාගෙන ගොස් ඇතත්, එහි අයිතිය රිදීගම ප්‍රාදේශිය ලේකම්වරයා වෙතින් පවරාගැනීමක් සිදු වී නොමැත. ප‍්‍රදේශයේ ඉඩම් බලධාරියා වන රිදීගම ප‍්‍රාදේශීය ලේකම් එච්. එම්. එස්. නවාස් මහතාගෙන් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ලියුම්කරු විසින් කළ විමසුමකට ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් ලබා දුන් පිළිතුරකින්ද මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ආරවුල් තත්වයක් පවතින බව අනාවරණය වෙයි. මෙම ඉඩම 2003 ජූලි මස 03 වැනිදා රජයේ මිනින්දෝරු විසින් මැනුම් කිරීමෙන් අනතුරුව රිදීගම රථගාල සදහා හෙක්ටයාර 0.097 ක් සහ රිදීගම රජයේ රෝහල සදහා හෙක්ටයාර් 3 ක් ලෙස මැන වෙන්කර දී ඇති බවත්, රිදීගම රජයේ රෝහලට පවරාදුන් බිම් කොටසින් ඉඩම් ප‍්‍රමාණයක් පිළිබදව ආරවුල් තත්වයක් ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් දන්වා ඇති බවද නවාස් මහතා එම පිළිතුරෙන් වැඩිදුරටත් කියයි.
ප‍්‍රාදේශිය ලේකම්වරයාගේ මෙම පිළිතුර හරහා රිදීගම ප‍්‍රාදේශිය සභාව අනුන්ගේ ඉඩමකට කඩා වැදී එහි බලහත්කාරී ඉදිකිරීමක් සිදුකර ඇති බව පැහැදිලිය. රිදීගම ප‍්‍රාදේශිය සභාව විසින් මීට සිව් වසරකට පෙර සිදුකළ එම චණ්ඩිකම්වල අනිටු ප‍්‍රතිඵල අද වන විට ලැබෙමින් තිබේ. රිදීගම නගරයේ ජනාකීර්ණම සහ පාරිභෝගික ආකර්ශණය වැඩිම ස්ථානයක ඉදිකර ඇති නමුත්, අදාල වෙළද සංකීර්ණයේ පිහිටි වෙළද කුටි 16න් මේ වනවිට විවෘතව ඇත්තේ වෙළද කුටි පහක් පමණි. ව්‍යාපාර සදහා කදිම තෝතැන්නක් වන මෙම කඩ කාමර උණු කැවුම් මෙන් විකිණී යා යුතු වුවත්, ඒවායේ අයිතිය නිරවුල් නොවීම හේතුවෙන් ව්‍යාපාරිකයින් විසින් මෙම කඩ කාමර බදු ලබාගැනීමට ඉදිරිපත් නොවෙති. වෙළද කුටි බදුදීමට රිදීගම ප්රාදේශීය සභාව ටෙන්ඩර් කැදවා ඇති නමුත් අදාල ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට පවා සදහා ඉදිරිපත් වී ඇත්තේ සීමිත ව්‍යාපාරිකයින් පිරිසක් පමණි.
අදාල වෙළද සංකීර්ණයෙන් කඩ කාමරයක් ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බැවින් නම් ගම් හෙළිකිරීමට අකැමැති ව්‍යාපාරිකයෙකු මෙසේ පැවැසීය.
‘‘ මේ කම්ප්ලෙක්ස් එකෙන් කඩ ගන්න බිස්නස් කරන හුග දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. නමුත් ගැටලු ගණනාවක් තියෙන නිසා ඒ කඩ ගන්නවාද නැද්ද කියලා දෙගිඩියාවෙන් තමයි හැමෝම ඉන්නේ. පළමු කාරණාව තමයි මේ එක කඩයකට ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ පහළොවක් ඉල්ලනවා. ඒකත් අවුරුදු පහළොවකට විතරයි. රිදීගම වගේ ග්‍රාමීය නගරයක තියෙන කඩයකට ඒ මුදල හොදටම වැඩියි. ණයක් වෙලා ඒ මුදල හොයාගෙන කඩයක් ගන්න සූදානම් අයත් ඉන්නවා. නමුත් ඉඩමේ අයිතිය නිරවුල් නැති නිසා අවදානමක් ගන්න ඒ අයත් බයයි. අන්තිමට ලක්ෂ පහළොවත් නැතිවෙලා, කඩෙත් නැතිවෙයිද කියලා හැමෝම කල්පනා කරනවා. ’’
රිදීගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිනි දේවිකා පල්ලමුල්ල මහත්මියගේ හිතුවක්කාරී තීරණයක් මත මෙම වෙළද සංකීර්ණය ඉදිකෙරුණු බවට රිදීගම ප්රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරු පිරිසක් ප‍්‍රකාශ කරති. ප‍්‍රියනාත් සේනපාල, නිමල් රන්ජන් සහ ලයනල් චන්ද්‍රවංශ යන රිදීගම ප්රාදේශීය සභාවේ හිටපු ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පවසන්නේ හිටපු සභාපතිනිය ක්‍රියාකළේ ඇගේ තනි මතයට බවය. ප්‍රාදේශීය සභාවට අයිතියක් නැති භූමියක මෙම වෙළද සංකීර්ණය ඉදිකිරීමට විරෝධය පළකරමින් තමන් ඇතුලු මන්ත්‍රී පිරිසක් සභා රැස්වීම්වලදී පවා අදහස් පළකළ නමුත් සභාපතිනිය ඒ කිසිදු අදහසකට ඇහුම්කන් නොදී වෙළද සංකීර්ණයේ වැඩ ආරම්භ කළ බවද ඔවුහු කියති. හිටපු සභාපතිනියගේ ක්‍රියාපිළිවෙතට එරෙහිව සභා රැස්වීම්වලදී කළ අදහස් දැක්වීම් පවා හැන්සාඩ්වලින් ඉවත්කර ඇති බවද හිටපු මන්ත්‍රිවරු කීහ. මෙම චෝදනාව පිළිබදව විමසීමට රිදීගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිනි දේවිකා පල්ලමුල්ල මහත්මිය ඇමැතීමට උත්සාහ කළ නමුත් ඇය මේ වනවිට ඔස්ට්‍රෙලියාවේ පදිංචියට ගොස් ඇති බව අනාවරණය කරගැනීමට හැකිවිය.
මෙම වෙළද සංකීර්ණයෙන් කඩ කාමරයක් බදු පදනම මත ලබාගැනීමෙන් පසුව එහි ස්වර්ණාභරණ අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු වන අබ්දුල් ෆරීඩ් මහතා පැවැසුවේ ප්‍රාදේශීය සභාවෙන් විසින් නිකුත් කළ බදු ඔප්පුවක් මගින් මෙම කඩ කාමරවල අයිතිය තමන් වෙත පවරා දී ඇති බවය. ඉඩම සම්බන්ධයෙන් යම් ආරවුලක් ඇති බව දැනගෙන සිටි නමුත් රාජ්‍ය ආයතනයක් ලෙස ප්‍රාදේශීය සභාව පිළිබදව විශ්වාසය තබා කඩ කාමර බදු ගත් බවද කීය. මෙම කඩ කාමර අලෙවි නොවීමට හේතුව ලෙස තමන් දකින්නේ එක් කඩ කාමරයක් සදහා නියම කර ඇති රුපියල් ලක්ෂ පහළොවක මුදල සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට දරාගත නොහැකිවීම බවද ඔහු පැවැසීය. මෙම කඩ කාමර ප්‍රමාණයෙන් ඉතාම කුඩාවීමත් ඒවා අලෙවි නොවීමට හේතුවක් බවද ඔහු පැවසීය.
රිදීගම වෙළද සංකීරණය සම්බන්ධයෙන් එල්ලවන මෙම චෝදනා පිළිබදව රිදීගම ප්රාදේශීය සභාවේ ලේකම් අජිත් කුමාරසිංහ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ, දිස්ත‍්‍රික් ඉඩම් බලධාරියා ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ලබාගත් අවසරක් මත අදාල ඉඩමෙහි වෙළද සංකීර්ණය ඉදිකළ බවය. මෙම වෙළද සංකීර්ණයට අයත් කඩකාමර පහක් පමණක් විවෘත වී ඇති බව පෙනෙන නමුත් මේ වනවිට කඩ කාමර අටක් පමණ බදු දී ඇති බැවින් ඉදිරි කාලයේදී එම කඩකාමරත් විවෘත වනු ඇති බවද පැවැසීය. කඩ කාමරයක් වසර පහළොවක් කාලයක් බදුදීම සදහා අයකරන රුපියල් ලක්ෂ පහළොවක මුදල තීරණය කළේ කමිටුවක් හරහා බැවින් මුදල වෙනස් කිරීමට නොහැකි බවද ලේකම්වරයා කීය. අදාල වෙළද සංකීර්ණය ඉදිකර වසර හතරකට වැඩි කාලයක් ගෙවී ඇතත්, එම ඉඩම රිදීගම ප්රාදේශීය සභාව වෙත පවරාගැනීමට මේ දක්වා කටයුතු නොකළේ මන්දැයි කළ විමසීමකට පිළිතුරු දුන් රිදීගම ප්රාදේශීය සභාවේ ලේකම්වරයා පැවැසුවේ දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් අවසර ලබා දී තිබීම නිසා එය ගැටලුවක් නොවූ බවය.කෙසේවෙතත් අදාල ඉඩම රිදීගම ප්රාදේශීය සභාව වෙත පවරාගැනීම සදහා මේ වනවිට වැඩකටයුතු කරගෙන යන බැවින් එහි නිත්‍යානුකූල බව පිළිබදව ගැටලුවක් නොමැති බවද පැවැසීය.
අදාල ඉඩම තුළ වෙළද සංකීර්ණයක් ඉදිකිරීම රිදීගම ප්රාදේශීය සභාව වෙත අවසර ලබා දී ඇතිදැයි කළ විමසීමකට පිළිතුරු දුන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතා මෙලෙස පැවසීය. ‘‘ රජය සතු ඉඩමක් ප්‍රාදේශීය සභාව වෙත පවරාදීමට හැකි ලෙසට විධිවිධාන තිබෙන නිසා මෙම ඉඩමේ නීත්‍යානුකූල බව පිළිබද ගැටලුවක් නැහැ. කෙසේ නමුත් අදාල ඉඩම හැකි ඉක්මනින් පවරා ගැනීමට කටයුතු කරන ලෙසට මම රිදීගම ප්රාදේශීය සභාවේ ලේකම්වරයා වෙත උපදෙස් දී තිබෙනවා.“
රිදීගම වෙළද සංකීර්ණය පිළිබදව විවිධ පාර්ශ්වයන් වෙතින් එවැනි අදහස් දක්වමින් සිටියදී එම වෙළද සංකීර්ණය වෙතින් අදටත් දැකගත හැකිවන්නේ ජනශුන්‍ය සහ පාලු ස්වභාවයකි. වෙළද සංකීර්ණයට අයත් කඩකාමර අටක් බදු දී ඇති බවක් රිදීගම ප්රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කියන නමුත් අද වනවිට ව්‍යාපාරික කටයුතු සදහා සැබෑ ලෙසම විවෘත වී ඇතැයි පියවි ඇසට නම් පෙනෙන්නේ කඩ කාමර පහක් පමණි. එබැවින් ඉඩමේ අයිතිය පිළිබද පැන නැග ඇති ආරවුල් කඩිනමින් විසදාගෙන, වෙළද සංකීර්ණයේ අයත් කඩ කාමර කඩිනමින් විවෘත කරවා එය ජනාකීර්ණ සහ ඵලදායී ස්ථානයක් බවට පත්කරවීම බලධාරින් සතු වගකීමකි. මන්ද ඒ සදහා වැය කර ඇති රුපියල් ලක්ෂ 250 ක මුදල යනු මෙරට මහ ජනතාවගේ දුක සේ ගෙවා දැමූ බදු මුදලින් කොටසක් මිස කජු ඇට හෝ කොස් ඇට නොවන බැවිනි.
සටහන සහ ඡායාරූප – කුරුණෑගල අජන්ත බණ්ඩාර රත්නායක.