Saturday, September 21, 2024

Must read

ගල්ගමුවේ “ආදරණීය චණ්ඩියා” අවසන් ගමන් යයි

ඡායාරූපය උපටා ගැනීම –https://web.facebook.com/voiceforelephants.lk


ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන ලදුව ප්‍රදේශවාසීන් ගේ නොමඳ දයානුකම්පාවට ලක් වෙමින් සිටියදී ඇහැටුවැව කදුරුවැවේ දී තවත් වන ඇතකු ගේ ලක් ව මියගිය චණ්ඩි හෙවත් තනි දළයා නම් වන හස්තියාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් විශාල පිරිසක ගේ සෝ සුසුම් මැද අද(06) පෙ.ව10 ට කදුරුවැව වැව් පරිශ්‍රයේ දී සිදු කෙරිණ.මෙහි දී වන ජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව චණ්ඩි උදෙසා භික්ෂූන් වහන්සේලා උදෙසා මතක වස්ත්‍ර පූජාවක් ද සිදු කරන ලදී.තම ජීවිතයේ තරුණ වියේ දී විවිධ මුරණ්ඩුකම් පෑම නිසා චණ්ඩි නමින් ප්‍රකටව සිටි මෙම වන හස්තියා ගල්ගමුව ආශ්‍රිත මානව ජනාවාස වලින් ඉවත් කොට හොරොව්පතාන සහ මාදුරුඔය ආදී ප්‍රදේශවල වලට ගෙන ගොස් දැමීමට පසුගිය කාලයේ වන ජීවී නිලධාරීන් කටයුතු කොට තිබිණ.

එහෙත් සැවොම විස්මයට පත් කරමින් දින කිහිපයකින් චණ්ඩි තම නිජබිම වෙත ගල්ගමුවටම පැමිණ හිඳිනු දක්නා ලදී.එමෙන්ම පසුකාලීනව එම ප්‍රදේශවල චණ්ඩි විවිධ පුද්ගලයන් හොර සුරා නිෂ්පාදනය කිරීම සඳහා වනගතව සඟවා තබන ගෝඩා බැරල් සොයාගෙන ගොස් බීමට ඇබ්බැහි වීම නිසා ඔහු ප්‍රදේශයේ හොර සුරා නිෂ්පාදකයන්ට ද හිසරදයක් බවට පත් ව සිටියේ ය.නමුත් එමඟින් සීනි අධික ප්‍රමාණයක් ශරීර ගත වීම නිසා වරින් වර රෝගීව දුබල වූ චණ්ඩිට කිහිප අවස්ථාවකම ප්‍රතිකාර ලබා දෙන්නට පවා වන ජීවී නිලධාරීන්ට සිදු විය.එමෙන්ම පසු කාලීනව චණ්ඩි ගේ එක් ඇසක් අන්ධව අනෙක් ඇසේ පෙනීම ද බොහෝ දුරට දුර්වල වීම මත ඔහු කිසිවකුටත් හානියක් සිදු නොකළ අතර දිවා කාලයේ පවා නිදහසේ ගම් බිම් වල නිදැල්ලේ සැරිසරනු දක්නා ලදී.එමෙන්ම චණ්ඩි ගේ මෙම අසරණ බව වටහා ගත් ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව ද ඔහු ගේ දිවි පැවැත්ම සඳහා උපරිම සහායක් පළ කිරීම ඉතා පැහැදිලිව දැක ගත හැකි විය.මේ වන විට පනස් විය පසු කරමින් සිටි චණ්ඩි ඇහැටුවැව කදුරුවැව වන කලාපයට අලුතින් ආ ගැමියන් රට්ටා නමින් හඳුන්වන තරුණ ඇතකු ගේ ප්‍රහාරයට ලක් වනුයේ ඉකුත් 04 වන දා රාත්‍රියේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඇහැටුවැව,කදුරුගම ගැමියකු වන හිටපු ගල්ගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්ලියු.එම් අප්පුහාමි මහතා කීයේ චණ්ඩි වෙත එල්ල වී ඇති බරපතල මරණීය ප්‍රහාරයන් ඔහුගේ අන්ධ ඇස දෙසින් එල්ල වීම මත චණ්ඩිට තම සතුරා හා සටන් වදින්නට නොහැකි වන්නට ඇති බවකි.එමෙන්ම ගල්ගමුව ආශ්‍රිතව දිවි ගෙවනු ලදුව 2010 සහ 2018 යන වසර වල ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇතුන් දෙදෙනා ගේ වියෝවන් හැරුණු කොට ප්‍රදේශවාසීන් ගේ වැඩිම දු දොම්නසට හේතු වූයේ මෙම චණ්ඩි හෙවත් තනි දළයාගේ මරණය බව ප්‍රදේශ වාසීන් ගේ පොදු පිළිගැනීම වී තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ගල්ගමුව සියඹලංගමුවේ පදිංචි චිත්‍ර කලා ගුරු උපදේශක ජේ රත්නායක මහතා පවසා සිටියේ පසුගිය කාලයේ ඇතැම් උදය කාල වල දී ගල්ගමුව සියඹලංගමුව මාර්ගයේ තමන්ගේ පාඩුවේ නිසංසලේ ගමන් කරන චණ්ඩි ගේ දර්ශනය ප්‍රදේශවාසීන්ට ප්‍රිය දසුනක් වූ අතර අඩුම තරමින් එම මාර්ගයේ ගමන් කරන වාහන වල රියැදුරකු වත් නලා ශබ්දයකින් වත් ඒ අසරණ සද්දන්තයාට බාධාවක් නොකොට ඔහුට ඒ සඳහා පූර්ණ ඉඩක් ලබා දුන් බව ය.චණ්ඩි ගේ දේහය වන ජීවී නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් අද පෙරවරුවේ කදුරුවැව වැව් රක්ෂිතයේම භූමදානය කරන ලදී.

හේමන්ත රන්බණ්ඩාර
උපුටා ගැනීම – www.vinivida.lk

චන්ඩි හෙවත් ගල්ගමුවේ වමේ තනිදළයා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article