මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී 2005 වසරේදී පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවෙකු ඉන් වසර එකොළහකට පසුව කුරුණෑගල නගරය තුළ සංචාරක වෙළදාමේ යෙදී සිටියදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක තිංලක බාලසූරිය මහතා විසින් අතටම අල්ලාගැනීමේ පුවතක් වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.
මෙලෙස අත්අඩංගුවට ගැණුනේ මල්කඩුවාව, බණ්ඩාරනායකපුර පදිංචි මුණසිංහලාගේ ජගත් මුණසිංහ නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
මත්කුඩු නඩුවක සැකකරුවෙකු වන මෙම පුද්ගලයා කොළඹ මාළිගාකන්ද අධිකරණයේ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී 2005 අගෝස්තු මස 28 වැනිදා ඔහු රදවා සිටි පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලාගොස් තිබේ. පලාගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සදහා පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් විසින් කලක් තිස්සේ මහත් වෙහෙසක් ගෙන ඇති නමුත් මෙම පුද්ගලයා පිළිබදව හෝඩුවාවක් හෝ නොලැබීම හේතුවෙන් එම උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
කුරුණෑගල නගරය සහ ඒ අවට ප්‍රදේශවල සිදුවන ගෙවල් බිදුම් ඉහළයාම හේතුවෙන් මේ දිනවල පොලිසිය දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඒ අනුව කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති, තිංලක බාලසූරිය මහතාද පසුගිය දිනෙක රාත්‍රියේ කුරුණෑගල වටා නිරීක්ෂණ සංචාරයක යෙදී ඇත. ඒ අතරතුර නගරය තුළ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයා දැක ඇති පොලිස් පරීක්ෂකවරයා ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනඒමෙන් පසුව ඔහුගේ අනන්‍යතාවයට පිළිබදව පරීක්ෂාකිරීමේදී ඔහු 2005 වසරේදී පල්ලේකැලේ බන්ධනාගාරයෙන් පලා ගිය සැකකරුවා බවට අනාවරණය කරගෙන තිබේ.තමන් බන්ධනාගාරයෙන් පලායාමෙන් වසර කිහිපයකට පසුව කුරුණෑගල නගරයට පැමිණ වතුර බෝතල් සහ වඩේ විකුණමින් ජීවිකාව සරිකරගත් බව වූ සැකකරු විසින් පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය කර තිබේ.
(ප්‍රවෘත්තිය සදහා යොදාගෙන ඇති ඉහත ඡායාරූපය මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල නිරූපනයක් පමණක් බව කරුණාවෙන් සලකන්න )