ලොව වටා කිතුනුවෝ ඊයේ දිනයේ දී මහත් බැතියෙන් යුක්තව පාස්කු මංගල්‍යය සැමරූහ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීමත්, පසුව උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීමත් සිහිපත් කරමින් පාස්කුව සමරනු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ තබා ඇණ ගසා මරණයට පත් කරන ලද්දේ සිකුරාදා දිනයක යැයි සැලකෙන අතර ඒ නිසා එම සිකුරාදා දිනය මහ සිකුරාදාව ලෙස සැමරෙන අතර මරණයෙන් උත්ථානය වූ ඉරිදා දිනය පාස්කු ඉරිදා ලෙස සමරනු ලබයි. ඉංග්‍රීසි බසින් මෙය Easter යනුවෙන් හඳුන්වනු ලබන අතර ඇරමික්, ග්‍රීක් සහ ලතින් භාෂාවන්ගෙන් මෙය ‘පැස්කා’ (Pascha) යනුවෙන් හඳුන්වනු ලබයි. සිංහලයන් අතර ප්‍රචලිත ‘පාස්කු’ යන්න බිඳී ඇත්තේ මෙම පැස්කා යන වදනින් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එයට හේතුව අප රටේ මුල් කාලයේ දේව මෙහෙයන් පවත්වන ලද්දේ ලතින් බසින් වීම නිසාය.
අප රටේ තවමත් දැඩි ලෙස ප්‍රචලිත වී ඇති බවක් නොපෙනුනත් ලොව වටා බොහෝ රටවල කිතුනු ප්‍රජාව අතර පාස්කුව හා බැඳුණු තවත් සම්ප්‍රදායන් දෙකක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. ඒ ‘පාස්කු හාවා’ (Easter Bunny) සහ ‘පාස්කු බිත්තර’ (Easter Eggs) ය. පාස්කු මංගල්‍යය පිළිබඳ අප තුළ යම් වැටහීමක් ඇතත් පාස්කු හාවා සහ පාස්කු බිත්තර යනු කුමක්ද, මේ සම්ප්‍රදායේ උපත කුමනාකාරයෙන් සිදුවන්නට ඇත්ද කියා කිතුනුවන් කිහිප දෙනෙකුගෙන් විමසනු ලැබුව ද සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොලැබුණෙන් මේ ප්‍රශ්නාර්ථයම ඇති බොහෝ දෙනෙකුගේ දැනගැන්ම පිණිස ඒ පිළිබඳ යමක් සඳහන් කිරීම වැදගත් වන්නට පුළුවන.
අපේ රටේ ඇතැම් අයවලුන් විසිනුත් ලෝකයේ බොහෝ රටවලත් පාස්කු දිනයේ දී හාවකු ලෙස ඇඳුම් ඇඳ බිත්තර රැගෙන එන ආකාරය රඟ දක්වන දරුවන් දැකිය හැකිය. මේ පාස්කු හාවා ජර්මනියේ ජර්මානු ලුදරුන්වරුන් අතරින් උපත ලද සම්ප්‍රදායයක් ලෙස සැලකේ. ලුදරුන්වරුන් යනු ප්‍රොතෙස්තන්ත කිතුනු සභාවේ ප්‍රධාන ශාඛාවකි. ප්‍රොතෙස්තන්තවරුන් ප්‍රතිශෝධනයකට ලක් කිරීමේ අරමුණින් මාටින් ලූදර් විසින් අරඹන ලද්දකි. පාස්කු සමය ආරම්භ වන විට දරුවන් වඩාත් හොඳින් හැසිරෙනවාදැයි පරීක්ෂා කිරීම සඳහා පාස්කු හාවා නිර්මාණය කරන ලදැයි සැලකේ. මෙය නත්තල් සමයේ දී නත්තල් සීයාගේ භූමිකාවට යම් සමානතාවක් දක්වයි. පුරාවෘත්තයට අනුව පාස්කු හාවා දරුවන් බලන්නට නිවෙස්වලට එන්නේ සිය කූඩයේ බිත්තර, රසකැවිලි සහ ඇතැම් විට සෙල්ලම්බඩු ද රැගෙනය. මේ සම්ප්‍රදාය පිළිබඳ මුල්ම ලිඛිත සාධක හමුවන්නේ ජර්මානු භෞතික සහ උද්භිද විද්‍යාඥයකු වූ ජෝර්ජ් ෆ්‍රෑන්ක් වොන් ෆ්‍රැන්කෙනෝගේ De ovis paschalibus (පාස්කු බිත්තර ගැන) නම් කෘතියේය. මේ සඳහා හාවා යොදා ගන්නට හේතු වී ඇත්තේ මධ්‍යතන යුගයේ දී දේවස්ථාන චිත්‍ර අතර හාවාට විශේෂ ස්ථානයක් හිමිව තිබීම නිසාය. එකල විශ්වාසය වූයේ හාවා යනු ද්විලිංගික සත්ත්වයකු ලෙසය. මේ නිසා ඔවුන්ට සිය කන්‍යාභාවය තිබියදීම පැටවුන් ලැබීමේ හැකියාව තිබෙන බවට විශ්වාසයක් පැවතිනි. එම විශ්වාසය කන්‍යා මරියතුමිය සමග සම්බන්ධ කරනු ලැබිණි.
පාස්කුව සහ බිත්තර අතර සම්බන්ධය ඇති වී තිබෙන්නේ ද අපූරු ආකාරයකටය. මිනිසුන් ලේඛන කලාව ආරම්භ කළ ඉතා පැරණි ඉතිහාසයේ දී බිත්තර යනු සරු බවේ සංකේතයක් ලෙස සලකනු ලැබිණි. බිත්තර යනු නැවත උපත ලැබීමේ සංකේතයක් ලෙස පළමු සියවසේ දී කිතුනුවන් අතර ප්‍රචලිතව තිබිණි. එයට වඩාත් හේතුවක් වූයේ ෆිනික්ස් නම් කල්පිත පක්ෂියාගේ බිත්තර පිළිබඳ විශ්වසයන් එකල දැඩිව පිළිගෙන තිබීම නිසාය. එමෙන්ම මධ්‍යතන යුගයේ යුරෝපයේ දී පාස්කු උපවාසය සමයේ දී බිත්තර කෑමට ගැනීම තහනම් දෙයක් විය. මේ සමයේ එංගලන්තයේ දරුවෝ පාස්කු උපවාසය ආරම්භ කරන්නට පෙර ගෙයින් ගෙට ගොස් බිත්තර ඉල්ලා සිටීමේ සිරිතක් පැවතිණි. දරුවන්ට කෙරෙන විශේෂ සැලකිල්ලක් ලෙස පිළිගනිමින් බිත්තර දීම සියලු දෙනා අතර පුරුද්දක් විය.
පාස්කුව අවසන් වූ පසු ඔවුහු බිත්තර විවිධාකාරයෙන් අලංකාර කොට කෑමට ගන්නට පුරුදුව සිටියහ. මේ බිත්තර පුරුද්ද පසුව ජර්මනියට සංක්‍රමණය වූ නමුත් උපවාස සමයේ බිත්තර නොකා සිටීමේ සම්ප්‍රදාය ඔවුන් අනුගමනය කළේ නැත. ඒ වෙනුවට බිත්තර අලංකාර කිරීමේ සිරිතක් ඔවුන් අතර ඇතිවිය. පෙරදිග සාම්ප්‍රදායික කිතුනු දේවස්ථානවල පැවති සිරිතක් වූයේ බිත්තර රතෙන් පැහැ ගැන්වීමේ පුරුද්දක් ඇති විය. රතු පැහැයෙන් ඔවුන් නිරූපණය කළේ කුරුසිය මත දිවි පිදූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය ය.
බිත්තර සම්ප්‍රදාය ඇමරිකාවට සංක්‍රමණය වූයේ 18 වැනි සියවසේදීය.
මේ අනුව පැහැදිලි වන්නේ පාස්කු හාවා හෝ පාස්කු බිත්තර මූලික කිතුනු ලියවිලි කිසිවක සටහන් වී නොමැති බවය. මේ සම්ප්‍රදාය තවමත් අපේ රටේ ප්‍රචලිතව වී ඇති බවක් පෙනෙන්නේ නැත. බටහිර රටවල පාස්කු සමයේ දී හාවුන් සේ ඇඳගත් දරුවන් ඕනෑ තරම් දැකිය හැකිය. කෙසේ වෙතත් සතුන් සහ සොබා දහම සහිත සම්ප්‍රදායයන් ආගමික විශ්වාසයන් තුළ සක්‍රියව පැවතීම සතුටට කරුණකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක
උපුටා ගැනීම – www.vinivida.lk