අසාමාන්‍ය ආණ්ඩුකරණයකින් රට සාමාන්‍යකරණය කළ හැකිද ?
කෝවිඩ් 19 වසංගතය යනු ලෝකයේ පැවැති විෂම සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් ප්‍රකාශ වීමකි. මෙම විෂම ක්‍රමයට එරෙහිව ප්‍රායෝගිකව ජනතාව සංවිධානය කරමින් කටයුතු කිරීමට වාංමාශික ව්‍යාපාරයන් දිගින් දිගටම අසමත් වෙද්දී ඒ අඩුව පුරවන ලද්දේ සිවිල් සමාජ ව්‍යාපාරයන් විසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එයට අනුබද්ධ ආයතන ගෝලීය සිවිල් සමාජ ජාලයට ශක්තිය සැපයූ ආයතන විය. එහෙත් එදා මෙදා තුර ආණ්ඩු සිදුකළේ මේ සිවිල් හඬට කන්දීම වෙනුවට එම හඬ නැගු පිරිස දේශද්‍රෝහීන් බවට ලේබල් කර ඔවුන් කියන කාරණාවල බරපතළභාවය තනූක කිරීමයි. ඊට අමතරව ජාත්‍යන්තර ආයතනවල වංගුතාවය පිළිබඳ අවලාද නැගීම ද ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගයකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇරඹීමේදී සලකා බැලුන ප්‍රධාන කාරණය වන්නේ ලෝකයේ රාජ්‍යයන් අතර ඇති වන ගැටුම් වලින් මිනිසුන් ඝාතන වීම්, අවතැන් වීම්, අතුරුදහන් වීම්, වධහිංසාවට ලක්කිරීම් මෙන්ම ඒ නිසා සිදුවන ආහාර, නිවාස, අධ්‍යාපනය, රැකීරක්ෂා, සෞඛ්‍ය වැනි මූලික අයිතීන් අහිමි වීම් වලින් මනුෂ්‍ය සංහතිය බේරා ගැනීමය. නමුත් පසුව රටවල් අභ්‍යන්තරයේ වර්ධනය වන අයිතිවාසිකම් විරෝධී තත්ත්වයන්ද ගෝලීය අර්බුදයක් බිහි කරන බව වටහා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක විය. ඒ අනුව අප ස්වේච්ඡාවෙන් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සහ සම්මූතීන් පදනම් කරගත් ආයතන සිය සාමාජික රටවල වර්ධනය වන අවදානම් කලාප හඳුනාගෙන වළක්වා ගැනීමට නිර්දේශ නිකුත් කිරීමේ යාන්ත්‍රණයන් පවතී.
කෝවිඩ් 19 ගෝලීය වසංගතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පසුගිය අප්‍රේල් මස පළ කළ විශේෂ වාර්තාවේ ලෝකය කොරෝනා වසංගතයෙන් ගොඩ ඒමට කරන අරගලයේදී දී මානව හිමිකම් සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ඇයිද යන්න පෙන්වා දේ. ඔහු ඉතා වැදගත් මානව හිමිකම් පණිවිඩ හයක් එහි ඉදිරිපත් කරයි.
01. ජීවිත ආරක්ෂා කිරීම පළමු ප්‍රමුඛතාවයයි. ඒ සඳහා ජනතාවගේ ජීවිකාවන් ද ආරක්ෂා කර දීම ඉතා වැදගත්ය.
02. වෛරසය සැමට සමානව සැලකුවත් එහි ප්‍රතිඵල සැමට සමානව සලන්නේ නැති බව අප අවබෝධ කර ගත යුතුය.
03. වෛරසය සමග සටනේදී සියලු ජන කණ්ඩායම් දායක කර ගැනීම ඉතා වැදගත්ය.
04. තර්ජනය වෛරසය විනා ජනතාව නොවන බව අප කරන සෑම කටයුත්තකදීම අමතක නොකළ යුතුය.
05. අපට මෙම ගෝලීය තර්ජනයක ජය ගත හැක්කේ ගෝලීය සහයෝගිතාවයකින් මිස රටවල් හුදකලා ලෙස සැලකීමෙන් නොවේ.
06. වෛරසයෙන් ලෝකය සුවපත් විය යුත්තේ පෙර පැවැති ලෝකයේ දුර්වලතාවයන්ද සුවපත් කරගනිමින්ය. ඒ සඳහා කළ යුතු වන්නේ සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමයි.
මේ වසංගතය පිළිබඳ ගෝලීය දැක්මයි. එහෙත් මේ වසංගතය දෙස යුද සහ මැතිවරණ මානසිකත්වයකින් බලන ආණ්ඩු සිදුකරන්නේ කුමක්දැයි France 24 චැනලයේ සාකච්ඡාවකට සහභාගී වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැෂෙලේ අනතුරු අඟවා තිබුණේ, සමහර ආණ්ඩු කෝවිඩ් 19 වසංගතය නිසා භාවිතා කිරීමට සිදුවන හදිසි අවස්ථා රෙගුලාසි තමන් අකමැති අදහස්, මතවාද සහ පුද්ගලයන් මර්දනය කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කිරීමේ ගෝලීය ප්‍රවණතාවක් ඇති වීම පිළිබඳවයි.
ලංකාවේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද?
මාර්තු 12 ව්‍යාපාරය මගින් වසංගතය හමුවේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔන්ලයින් දේශපාලන සාකච්ඡාවක් පවත්වාගෙන යන අතර ඒ සඳහා සහභාගී වන්නේ මාර්තු 12 හා සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. එහි සාකච්ඡා වටයක ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් නීතිඥ ජගත් ලියනාරච්චි ඇසූවේ කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යසන කලමනාකරණ පනත ක්‍රියාත්මක නොකර මාධ්‍ය නිවේදන මගින් රට පාලනය කරන්නේ ඇයිද? යන්නය. විය යුතු පරිද්දෙන්ම එයට පිළිතුරක් නොලැබී වැඩසටහන අවසන් විය. එයට පිළිතුරක් නොලැබුනේ සහභාගී වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගේ ගැටලුවක් නිසා නොව කෝවිඩ් 19 හමුවේ රට ක්‍රියාත්මක වන ආකාරය ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් බහුතරයක් පවා නොදන්නා නිසාය.
ආණ්ඩුකරණය යනු සාමාන්‍ය කාලයේදී ව්‍යවස්ථා අනුව ක්‍රියාකර හදිසි අවස්ථාවකදී ව්‍යවස්ථාවෙන් සහ නීති රීති වළින් පරිබාහිරව කටයුතු කිරීම නොවේ. හදිසි සහ හදිසි නොවන අවස්ථාවලදී ආණ්ඩුකරණය කළ හැකි ආකාරය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව ආවරණය කර ඇත. මේ කුමන අවස්ථාවකදී වුවත් පරම වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. පරමාධිපත්‍ය බලය යනු රටේ පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයයි. එම පාලන බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක, විධායකය සහ අධිකරණය යන තුන් වැදෑරුම් ආකාරයකට ක්‍රියාත්මක වේ. දැන් රට පවතින්නේ පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය යන ත්‍රිත්වය ම හෙවත් ජනතාවගේ පරමාධිපත්‍ය අර්බුදයකට ගිය මොහොතකය. කලින් විසිරවූ පාර්ලිමේන්තුව මාස තුනකට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව රැස් නොවීම නිසා, රටේ පාලන සම්පූර්ණයෙන්ම විධායකය මගින් සිදුකරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඇ) ප්‍රකාරව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව හරහා අධිකරණය විසින් ක්‍රියාත්මක වන නිසා මේ මොහොතේ අධිකරණ සක්‍රීව පැවතුනත් අධිකරණ බලයේ මූලය අක්‍රීය තත්ත්වයට පත්ව ඇත. ඊට අමතරව රටේ මූල්‍ය බලතල ඇතුළු ව්‍යවස්ථාදායකයේ කටයුතු සම්පූර්ණයෙන් අකර්මන්‍ය වී ඇත.
අසාර්ථක පාලකයන් කරන්නේ වැරද්ද පිටට දමා තව කාට හෝ බැන වැදීමය. මේ දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප් කරමින් සිටින්නේ එයයි. ඔහුට අනුව අමෙරිකාවේ වසංගතය උත්සන්න වීමට හේතුව තමන්ගේ පාලනය නොව සෞඛ්‍ය සංවිධානයේ හෝ චීනයේ වැරදිය. ලංකාවෙද කෝවිඩ් වසංගතය සාර්ථකව මර්දනයට වුවහොත් එය ආණ්ඩුවේ දේශපාලන නායකත්වය නිසා සිදුවූ දෙයක් යැයි පැවැසෙනු ඇති අතර මේ ක්‍රියාවලියේදී සිදුවන සියලු අඩුපාඩුවල වගකීම මැතිවරණ කොමිසම, විපක්ෂයේ දේශපාලන පක්ෂ, මුස්ලිම් ජනතාව, රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත බැර වෙනු ඇත.
කෝවිඩ් 19 පමණක් නොව රටක් තුළ පවතින අනෙකුත් සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු ඉතා කෙටි කාලයකින් ගෝලීය අර්බුදයක් බවට පත්විය හැක. ඒ නිසා ලංකාවේ සෞඛ්‍ය සහ ආර්ථික ප්‍රශ්න වලදී ජාත්‍යන්තර ආයතන සමග එක්ව කටයුතු කර මානව හිමිකම් ගැටලු වලදී ඉන් පලා යාමට ආණ්ඩුවට නොහැක. ලෝක සෞඛ්‍ය සංවිධානයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් හිස් මුදුනින් පිළිගන්නා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙතරම් බිය මානව හිමිකම් කලාපයේදී ආණ්ඩුවේ අසමත්භාවය නිසාද ? ජාත්‍යන්තර කුමන්ත්‍රණ පෙන්වා ඡන්ද ගැනීමට අවශ්‍ය නිසා ද ?
ප්‍රබෝධ රත්නායක
- Advertisement -
- Advertisement -