දූෂණය කර මරා දමන ලද බවට සැකකෙරෙන 13 හැවිරිදි දැරියකගේ මළසිරුරක් මාවතගම, තල්ගස්පිටිය ප්‍රදේශයේ මුර මඩුවක් තුළ තිබියදී ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබූහ.
මෙලෙස අකාලයේ ඝාතනයට ලක්වී ඇත්තේ මාවතගම, මොරොක්වත්තේ පදිංචි වී සිටි කාලිමුත්තු විජේකුමාරි නැමැති අවිහිංසක දැරියකි.
මෙම දැරියගේ මව්පියන් මාවතගම, මොරොක්වත්තේ කුලී කම්කරුවන් ලෙස සේවය කරන අතර ඊයේ උදෑසන ඇගේ පියා විසින් දොවා දුන් එළකිරි බදුනක් තල්ගස්පිටිය ප්‍රදේශයේ පිහිටි කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානයක් වෙත ගෙන යමින් සිටියදී ඇය මෙම අපරාධයට ගොදුරුවන්නට ඇති බව පොලිසිය සැකකරයි.
කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානය වෙත කිරි රැගෙන ගිය මෙම දැරිය ඊයේ දහවල් වනතුරුත් නිවසට නොපැමිණීම පිළිබදව විමසිලිමත් වූ ඇගේ දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් ඇය සොයද්දී තල්ගස්පිටිය ප්‍රදේශයේ පිහිටි මෙම මුරමඩුව තුළ පැදුරකින් ඔතා දමා තිබූ ඇගේ මළසිරුර හමු වී තිබේ.
මිය ගිය දැරිය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ රාත්රියේදී පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යවනු ලැබීය.
මෙම මුර මඩුවේ පදිංචි වී සිටි බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලායමින් සිටියදී අයෙකු වැල්ලව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිව්දරු පියෙකු වන මෙම පුද්ගලයාගේ බිරිද දැනට විදෙස් ගත වී සිටින බවත්, සිය බාල පුතුන් දෙදෙනා සමග මෙම මුර මඩුව කුලියට ගෙන මාස කිහිපයක සිට එහි වාසය කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.